ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ අවුරුදු විසිපහක පමණ අත්දැකීම් ඇති පරිණත ලේඛකයෙක් පරිවර්තකයෙක් වන ඔහු නමින් මනෝ ප්‍රනාන්දු. පාසල් නේවාසිකාගාරයේ රාත්‍රීන්වල ගුරුවරයෙක්ගෙන් ෂර්ලොක් හෝම්ස් කතා ඇසීමේ පුරුද්ද පටන් ගත් ඔහු සාහිත්‍ය සහ පරිවර්තන වැඩ කටයුතුවලට කෙමෙන් යොමු වී තිබෙනවා.
‘මගේ පළවෙනිම පොත රහස් පරීක්ෂක කතාවක්. ලංකාවේ ප්‍රමුඛ ප්‍රකාශකයෙක් මට මුණගැහුණ ඒ අතරතුර. Mary Stewart කියන ලේඛිකාවගේ Everyday life in Ceylon Cocoa State කෘතිය “ලක්දිව කොකෝ මන්දිරය” කියලා මම පරිවර්තනය කරා. පාඨකයන් මාව හඳුනාගත්තේ ඒ පරිවර්තන කෘතියෙන්.’
පරිවර්තන කෘතින් බොහොමයක් තියෙන ඔහුගේ Forrest life in Ceylon පරිවර්තන කෘතියේ පළවෙනි වෙළුම ‘ලක්දිව වනසැරිය’ අද ලංකාවේ පස්වෙනි ශ්‍රේණියේ සිංහල කියවීම පොතක්. ඊට අමතරව 10 ශ්‍රේණියේ සිංහල භාෂාව හා සාහිත්‍යය පොතෙත් මේ කෘතියම උපුටා දක්වලා තියෙනවා.
නවසීලන්තයේ හය මසක් ඔහුගේ නවතම කෘතියයි. එය 2024 මැයි මස හතර වනදා Newlands Community Centre හිදී ජනගත කෙරුණි.
‘ 2015 දි තමයි මම මෙහෙට ආවෙ. එම සංචාරයේ දී මට මෙහේ වාසය කරන ශ්‍රී ලාංකීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සමග සම්මුඛ සාකච්ඡාවක් කරන්න අවස්ථාව උදාවුණා. එතනදි තමයි මට හිතුනේ ලංකාවේ ජීවත් වෙන අයට සහ නවසිලන්තයේ ජීවත් වන අයට වැදගත්වෙන පොතක් රචනා කරන්න. ඒ වගේම Katherine Mansfield කියන ලෝක ප්‍රසිද්ධ සාහිත්‍යකාරිනියගේ නිවස බලන්න යන්න මට අවස්ථාවක් උදාවුණා. ඒවගේම තවත් සුවිශේෂී පුද්ගලයන් ඇසුරු කරන්න අවස්ථාව මට ලැබුණා මේ ගමනේ දී.
නවසිලන්තේ ඉතිහාසය, අධ්‍යාපන ක්‍රමය, විවාහ මංගල්‍යය, උපන්දින සාද වැනි උත්සව පැවැත්වෙන ආකාරයත් ස්වභාව සෞන්දර්ය, ප්‍රධාන ගංගාවන්, මාර්ග නීති සහ තවත් සංචාරක සටහන් තවත් වැදගත් බොහෝ තොරතුරු මෙම කෘතියෙහි අන්තර්ගත වෙලා තියෙනවා.
සාකච්ඡාව සහ ලිපිය සකස් කිරීම – අචලා නෙළුනිකා – ඕක්ලන්ඩ්