පුද පූජා සහ පරිත්‍යාග-
16 කලාපයේ පළ වූ ලිපිය ගැන තවත් අදහස් දැක්වීමක්.
අපගේ 16 කලාපයේ විභාවි නමින් ලියා පළවූ ‘පුද පූජා සහ පරිත්‍යාග’- ලිපිය ලෞකික යමක් ලබා ගැනීමට , ‘ලිපිය බෝධි වෘක්ෂයක් යට හෝ දෙවියනට පුද පූජා කර කන්නලව් කිරීම නිශ්ඵල ක්‍රියාවක් බව,’ පවසමින් අවසන් වේ. අපගේ ගියවර 18 කලාපයේ ආචාර්ය කොඩිසිංහ හේරත් මහතා, මිනිසා ජීවිත සටනේ ජය අත් කරගැනීමට කෙටි ක්‍රම ලෙස පුද පූජා කරන බව කියැවේ. පහත සදහන් ජගත් සිරි පුෂ්පකුමාර මහතාගේ ලිපියේ පාඨකයන්ට මේ ගැන බෙහෙවින් වැදගත් වන කරුණු සහිතව තම අදහස පැහැදිලි කර එවා ඇත. කෙසේ වෙතත් දන්දීම ගැන මුල් ලිපියේ සඳහන් නොවූ බව කාරුණිකව දන්වා සිටිමු.
පුද පූජා සහ පරිත්‍යාගය යන කෙටි කතාව කියවීමේදී පැහැදිලි වූයේ කතුවරයා මූලිකවම වෙහෙසෙන්නේ කතාව තුළින් යම් යම් වචනවලට තමා පිළිගත් අරුත් සහ විග්‍රහ සැපයීමට බවයි.
මුලින්ම අපි එහි සඳහන් වූ “බුද්ධාගම සහ බුද්ධ ධර්මය” යන වචන දෙක ගනිමු. “ආගම” යන වචනයට නොයෙකුත් නිර්වචන ඇතත්, Wikipedia හී දැක්වෙන පරිදි ආගමක් යනු පොදුවේ පුළුල් සමාජීය සහ සංස්කෘතික පද්ධති රාශියක එකතුවක් ලෙස සලකයි.
එසේ සලකන විට ආගමක් වශයෙන් බුද්ධාගම යනු බුදුරදුන්ගේ ඉගැන්වීම් හා උන්වහන්සේගේ දර්ශනය මත පදනම්ව ගොඩනැගුණකි. බුදුදහම හරියට නොදැන බුද්ධාගමේ එන සමහර චර්යා වැරදි ද නිවැරදි ද යන්න තෝරා ගත නොහැක.
මේ අනුව බෞද්ධයන් බහුලව සිදුකරන පුද පූජා හා පරිත්‍යාග සලකා බැලීමේදී එය බුද්ධාගමට අයත් ද බුදුදහමට එකඟ ද යන්න සලකා බැලිය යුත්තේ සූත්‍ර, විනය වශයෙන් බුදුන් වදාළ ධර්මවලට අනුකූලව ය.
බෝසතුන් පූරණය කළ දස පාරමිතාවේ දී දස පුණ්‍යක් ක්‍රියා දසරාජධර්ම ආදී නොයෙකුත් තැන්වල මුලටම කියවෙන්නේ දානයයි. පුණ්‍ය කර්ම ගැන හොඳ දැනීමකින් තොරව ප්‍රසිද්ධියේ ඒවා විවේචනය නොකළ යුතුය. මන්ද එවිට වැරදි මත සමාජ ගත විය හැකි බැවිනි.
කොටින්ම කීවොත් තමාට වඩා ගුණයෙන් උසස්, කෙනෙකුට එම ගුණ සලකාගෙන පූජා බුද්ධියෙන් දීමේදී එය පූජාවක් වෙයි. තමාට වඩා උසස් හෝ සම හෝ පහළින් සිටින කෙනෙකුට අනුග්‍රහ බුද්ධියෙන් දෙන විට එය පරිත්‍යාගය යැයි ද කියා හැඳින්වෙයි.
මේ දෙකෙන් පූජාව වඩා උසස් වන්නේ එහි දී ඇතිවන චේතනාවේ උසස් බව සහ පූජාව ලබන පුද්ගලයාගේ ගුණ මහිමය සැලකූ විට ය.
එම නිසා පූජාවක් කරන විට එය ලබන පුද්ගලයාගේ ගුණ ගැන හොඳ දැනීමකින් යුක්තව දෙන දානයෙන් මහත්ඵල ලබාගත හැක.
ශ්‍රද්ධාව නිසා ධර්ම මාර්ගයට බසින්නා පිළිගත යුතු කම්මස්ස කතා සම්මා දිට්ඨියේ දී “දීමෙහි විපාක ඇත, මහා පූජාවන්හි විපාක ඇත,” යැයි පිළිගැනීමට අපට සිදුවේ.
යම් යම් දේ පතාගෙන දීමේදී ඒවා ලබා දීමේ ශක්තියක් ඒ දානයට ඇත. මතු බුදු බව පතා නොයෙකුත් භෞතික වස්තූන්, අඹු දරුවන්, පමණක් නොව ඇස්, ඉස්, මස්, ලේ ආදිය අපමණ දන්දුන් බෝසතුන්ට ඒ දාන පාරමිතාව උපකාර වී බුදු බව ලැබුණි. ඒ බව බුදු මුවින්ම උන්වහන්සේ වදාළහ. ලෞකික දේ පතා ගෙන දෙන දානය ඒවා ලබා දුන්න ද එම පුන්‍යකර්මය තෘෂ්ණාවෙන් කිළුටු වී ඇත. එය නිවනට උපනිශ්‍රය නොවේ. නමුත් නිවන් පතා දෙන දානය, නිවන් ලබා දීම පමණක් නොව නිවන් ලබන තුරු එම දානයට අදාළව බවබෝග සම්පත් ද ලබාදීමට සමත් වේ.
එබැවින් චේතනාව කෙසේ වුවද මතු උපදින සසර නිදුකින් ජීවත්වීමට අවශ්‍ය වස්තු සම්පත් ලැබීමට නම් දානය දිය යුතුම ය. දානයට ගැරහීම කළ යුතු නැත. යථෝක්ත කතාවේ ගිහියා දෙවි මිනිස් සැප පතා ගෙන පින්කම් කරන විට එම භික්ෂුව විසින් කළ යුතුව තිබුණේ ඔහුගේ ප්‍රාර්ථනාව නිවැරදි කර ගැනීමට අනුශාසනා කිරීමයි.
ඕනෑම පින්කමකදී කළ යුතු වඩා සුදුසු පිළිවෙල වන්නේ “මේ පිනෙන් වහා සංසාරේන් මිදෙම්වා” යැයි ප්‍රාර්ථනා කිරීමයි. එවිට එම පින නිවනට උපනිශ්‍රය වන අතර ඔබ නොපැතුවත් සසර සිටිනතාක් කල් භවභෝග සම්පත් ලබා දී නිදුක්, නිරෝගිව පහසුවෙන් නිවන් මඟ යාමට අවස්ථාව උදාවේ. එය වටිනවා නොවේද? අපට මේ භවයේදී නිවන අවබෝධ නොවුනහොත් එය ලැබෙන්නේ මතු සසරේදීය. මේ නිසයි බුදුරජුන් අනුශාසනා කළේ ගිහියාටත් පැවිද්දාටත් දෙදෙනාටම පින් කර තිබීම වැදගත් බව.
වචන අල්ලාගෙන කෝලාහල කරන්නෝ “පින සසරටය, කුසලය නිවනටය” යයි අපබ්‍රන්ස දොඩති. මේ කියන “පින් කුසල් සංවාදය” අවසන් වී දැන් බොහෝ කාලයකි. අවසාන පිළිගැනීම වූයේ “පින හා කුසලය යනු එකම දෙයක් බවය.” පින යනු කුසලයට කියන තවත් නමකි. පර්යාය වචනයකි. බුදුරජුන් එය යෙදුවේ දේශනාවේ සුගම බව රැකීමටය.
By Jagath Siri Pushpakumara – Auckland