“හරි සිරිපාල එතකොට ප්‍රඥාව කියන්නෙත් බුද්ධියටම නේද?” එක මිතුරෙක් ප්‍රශ්නයක් ඇසීය. නමුත් එයට පිළිතුරු දුන්නේ ජගත්ය. “ප්‍රඥාවන්තයා අර්ථකථනය කළ යුත්තේ ඉතා ප්‍රවේශමෙන්. එවන් උතුමෙකුට ලොවක් බිහිකරීමට අවශ්‍ය නෑ. ප්‍රඥාවන්තයා ලොව අතහරින ක්‍රමය අවබෝධ කරගත් අයෙක්.” ජගත් විස්තර කළේ කෙටියෙනි. “ඒත් බුද්ධිමත් අය හා ප්‍රඥාවන්ත අය අතර ලොකු වෙනසක් මම නං දකින්නෙ නෑ.” සිරිපාල එයට තම අදහස එක් කළේය. “තමන් ඇසූපිරූ හා දැක ඇති සියලුම දැනුමෙන් ඉවත්වීමත් සමග මෙතෙක් කලක් විවිධ මති මතාන්තරවලට බැඳී වහලකු වී සමාජය විසින් බැඳ දමා තිබූ යදම් කඩා දමා නිවහල් බවට පත් වීම තමයි ප්‍රඥාව කියලා මම දකින්නේ” ජගත් තම අදහස තවත් පැහැදිලි කළේය. “ඒක හරි පැහැදිලියි. මම ඔයාගෙන් අහන්නේ බුද්ධිමත්කම කියන්නෙත් එවැනිම උසස් මානසික තත්වයක් නේද කියලා” සිරිපාලට ජගත්ගේ මතයට එකවර එකඟවන්නට බැරි ගානය. “ලිඳක් පිරිසුදු කළ පසු නැවුමි උල්පත්වලින් උනන කිසිදු රසක්,පාටක්,සුවඳක් නැති නමුත් ගත සනසන, සිසිල් පැන් පොදක් මෙන් ප්‍රඥාවන්තයාගේ සිතිවිලි ද පිරිසිදුය. එබැවින් එවන් සිතක ඇත්තේ ප්‍රඥාවමය. එසේම එවන් ප්‍රඥා සිතකට පෙනෙන්නේ පරම සත්‍යයම වෙයි. එබැවින් ලොව අතහැරීම එවන් උතුමන්ගේ සිරිතයි. නමුත් බුද්ධිමතුන් ලොව ගොඩනගමින් සංවර්ධනය කරන ඇත්තන් වෙයි.” ජගත්ගේ උදාහරණයෙන් සිරිපාල උඩු යටිකුරු විය. “එතකොට ඇල්බට් අයින්ස්ටයින්ලා වගේ මහා ප්‍රඥයන්ට ඔබ කරන්නෙ අගෞරවයක්” සිරිපාලගේ තර්කය තදබලය. “ප්‍රඥාව අත් කරගත් උත්තමයන් සංවර වෙමින් ද සංසිඳීමෙන් ද සම්මා වීමෙන් ද ලැබු ප්‍රඥාව ස්ථාවර කරගන්නවා. නමුත් බුද්ධිමතුන් ලෝකය සම්පත්වලින් හොඳින් හෝ නරකින් සන්නද්ධ කරනවා. ඒක පෘථග්ජන ලෝකවාසීන්ගේ සැපයට මෙන්ම නරකටත් වෙන්න පුළුවන්. වෛද්‍ය උපකරණ බේත්හේත් වගේම අවි ආයුධ හදන්නෙත් බුද්ධිමතුන්. නමුත් ප්‍රඥාවන්තයින් න්‍යායයන්වල වහලෙක් නොවේ. ඔවුන් ලෝකය අතහරිනවා මිස එයට ලොල් කරන්නෙක් ද නොවේ. ඔහු කිසිවෙකටත් කිසිවකට තද බැඳීමක් ඇති නොවන්නේ නැවුම් නිදහස් සිතිවිලිවලින් පමණක් පරිපුර්ණ වන නිසා.” ජගත්ගේ දිගු පිළිතුරට සිරිපාල නොවිසිලිමත්ය. “ඒ කියන්නෙ අයින්ස්ටයින්ට ප්‍රඥාවන්තයෙක් වෙන්න බැරිද?” “ඇල්බටි අයින්ස්ටයින් යනු මහා බුද්ධිමතෙක්. බුද්ධිමතුන්ගේ මනස වතුර පිරවූ කළයක් වගේ පිරිලා තියෙන්නේ. ඒක මහා දැනුම් සම්භාරයක් විතරක් නෙවෙයි නව නිර්මාණ බිහි කළ හැකි ශක්තිමත් මනසක්. ප්‍රඥාව වතුර ඉවත් කළ පිරිසුදු නැවුම් වතුර උල්පත් තිබෙන ළිඳක් වගේ” සිරිපාලගේ කතාවට ජගත් මඳක් නිහඬ විය. “ඔව් ඔව් උගත්කම යනු කියවීමෙන් ඇසීමෙන් දැකීමෙන් දැනුම සම්භාරයක් එකතු කරගත් මිනිස් වර්ගයාගේ සම්පතක්. එනමුත් බුද්ධිමතා ඊටත් වඩා ප්‍රබලයි. තමා එකතු කරගත් දැනුම් කන්දරාව උපයෝගී කරගෙන නව නිර්මාන බිහි කරමින් නව තාක්ෂණයයෙන් පෘථග්ජන සත්ත්ව වර්ගයා සුඛිත මුදිත කරන්න වෙහෙසෙන උත්තමයින් තමයි බුද්ධිමතුන් කියන්නේ. මනුෂ්‍ය සංහතියේ පැවැත්ම වෙනුවෙන් අනගිභවනීය සේවයක් මිනිසාගේ පැවැත්මෙ සිට අද දක්වා කරපු ඔවුන් ප්‍රඥාවන්තයින්ට වඩා වෙනස් තමයි” සිරිපාල එකඟ විය. “හරියට ප්‍රඥාව හා බුද්ධිය කියන්නේ එකම කාසියක්. හැබැයි එම කාසියේ එක පැත්තක් ප්‍රඥාව වන විට අනික් පැත්ත බුද්ධිය. ඒත් සම්ප්‍රදායික සාහිත්‍ය මගින් මහා බුද්ධිමතුන්ට ප්‍රඥාවන්තයින් යැයි කීමෙන් කළ ගෞරවයට අපි අගෞරව නොකළ යුතුය” ජගත් තම පැහැදිලි කිරීම අවසන් කළේ මඳ සිනහවක් සමගිණිර.
දයා ප්‍රතාපසිංහ – ඕක්ලන්ඩ්