fbpx
10.4 C
New Zealand
Thursday, September 17, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

නවසීලන්තයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය විවෘත වෙයි – දෙරටේ සබඳතා ශක්තිමත් කරන නව පියවරක් | දිමුතු විජේසූරිය | වෙලින්ටන්

Must read

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, නවසීලන්තයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය පසුගිය මැයි 28 වන දින වෙලින්ටන් නගරයේදී නිල වශයෙන් විවෘත කෙරිණි. මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගි වීම සඳහා නවසීලන්ත රජයේ නිල ආරාධනයක් මත ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා නවසීලන්තයට පැමිණි අතර, ඔහුගේ පැමිණීම මඕරි සම්ප්‍රදායානුකූල පිළිගැනීමකින් මහත් හරසරින් සනිටුහන් විය.

සර්වාගමික ආශිර්වාද මධ්‍යයේ පැවති මෙම විවෘත කිරීමේ උත්සවයට නවසීලන්තයේ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ. නවසීලන්තයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් ප්‍රසන්න ගමගේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ද, නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කරමින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

උත්සවයෙන් අනතුරුව ශ්‍රී ලංකන්ස්  සමඟ කෙටි අදහස් හුවමාරුවකට එක් වූ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ, මහා කොමසාරිස් කාර්යාලය විවෘත වීමත් සමඟ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර මිත්‍රත්වය නව පරිච්ඡේදයකට පිවිස ඇති බවයි.

“නවසීලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ලිපි ලේඛන ලබා ගැනීම, විදේශ ගමන් බලපත්‍ර සේවා ඇතුළු කොන්සියුලර් සේවා ලබා ගැනීම සඳහා මෙම කාර්යාලය වැදගත් මධ්‍යස්ථානයක් වනවා. එමෙන්ම වෙළඳ, ව්‍යාපාරික හා අධ්‍යාපනික කටයුතුවල නියැලෙන අයට තම ගැටලු ඉදිරිපත් කර අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට ද මෙය පහසුකම් සලසනු ඇත,” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

තවද, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ලිපි ලේඛන හුවමාරු කිරීම සහ අනෙකුත් රාජ්‍ය සේවා කටයුතු වඩාත් කාර්යක්ෂමව ඉටුකර ගැනීමට මෙම කාර්යාලය මඟින් අවස්ථාව සැලසෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.

මෙම නිල සංචාරයේදී නවසීලන්තයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට අවස්ථාව ලැබුණු බව සඳහන් කළ අමාත්‍යවරයා, එම සාකච්ඡාවලදී සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය, ආර්ථික සහ ආයෝජන, වෘත්තීය සංවර්ධනය සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳ අවධානය යොමු වූ බව පැවසීය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා පුහුණු හා පර්යේෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මූලික එකඟතාවකට එළඹීමට හැකි වූ බව ද ඔහු අනාවරණය කළේය. එමෙන්ම නවසීලන්තයේ පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව ලබාදීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා පැවැත්වූ බව සඳහන් කළේය.

එමෙන්ම අමාත්‍ය වින්සන්ට් පිටර්ස් මහතා ද පවසා සිටියේ වාණිජ, සංචාරක සහ ක්‍රීඩා වැනි ක්ෂේත්‍ර හරහා   දෙරට අතර මිත්‍රත්වය තව තවත් ශක්තිමත් කරගැනීමට බලාපොරොත්තු වන බවයි.

නවසීලන්තයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය විවෘත වීම, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පමණක් නොව, වෙළඳ, අධ්‍යාපනය, සංචාරක කර්මාන්තය සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරන වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත.

දිමුතු විජේසූරිය – වෙලින්ටන්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.