අප සංවාද කළ යුතු වන්නේ ඔවුනොවුන්ගේ අදහස් හා දැනුම සංදේශනය කර ගැනීමේ චේතනාවෙන් මිස තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් නොවේ. එසේ වන්නේ නම් එය ‘මාන්නයේ’ එක් අවස්ථාවක් පමණි. බුදුන් වහන්සේ ජේතවනාරාමයට යාබදව ඌරන් මරා මස්කර ජීවත් වූ චුන්දසූකර සමග ඔහුගේ මතය වෙනස් කරන්නට වාදයට නොගියහ. නමුත් වාද විවාද වලට පැමිණි සච්චක බමුණාට කරුණු පැහැදිලි කොට නිවනට යොමු කළ සේක.
මෙසේ ද්වේෂයෙන් තොරව කරන වාද විවාද තර්ක විතර්ක ‘සංවාදය’වෙයි. සංවාදය බුදු දහමට එරෙහි නැත. එබැවින් මුලු ලෝකයම බුදු දහම පිළිගත යුතු යැයි නීතියක් නැත. එහි තේරුම තම මතය අනෙකා පිළිගත යුතුය යන්න නොවේ. අනෙකාගේ මතයට හෝ විශ්වාසයට ගරු කරනු විනා ඔහුට බැන වැදීමට අපිට අයිතියක් නැත. ක්‍රිස්තියානි, මුස්ලිම් හෝ වෙනත් ලබ්දිකයන් දෙවිවරුන් අදහත් නම් ඒ අයිතිය ඔවුන් සතුය.
ලංකාවේ ගැමි පළාත්වල මෙන් අනෙක් රටවලද නවීනත්වයට හසු නොවූ පරිසරයන්හි වෙසෙන්නෝ බලි තොවිල්, යාග හෝම කරවා ගනිති. සුව වෙති. සහනයක් නොලැබුණා නම් එවැනි යාතිකර්ම, කෙම්, වත්පිළිවෙත්, අවිච්චින්නව නොපවතී. සමහර විට රෝගියාගේ තද බල විශ්වාශය නිසා රෝගයන් සමනය වූවා විය හැක. පිරිත් පැන් හා පිරිත් නූල් ගැන වුවද සමහරෙකු එසේ සිතිය හැකිය. නවීන වෛද්‍ය විද්‍යාවද එම මානසික රෝගවලට කෙරෙන සමහර ප්‍රතිකර්ම මුලුමනින්ම බැහැර කරන්නේද නැත. එබැවින් ඒවා මෝඩ මිත්‍යා විශ්වාස යයි හෙළා දැකිය යුතු නොවේ. විශ්වාසය පවතින්නේ අත්දැකීම් මතය.
පිළිගත හැකි සාක්ෂි කරුණු කාරණා දෙපාර්ශවයටම ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම හා එම මතයන් ඉවසීම සංවාදයක එක් ලක්ෂණයකි. පාසැල් විධිමත් අධ්‍යාපනය මෙන්ම ඉන් පිටත අවිධිමත් අධ්‍යාපනය ජීවත් වෙන්නට අවශ්‍යය. උපාධි මිනුම් නොමැති අවිධිමත් අධ්‍යාපනය හා ඉන් යමෙකුට ලැබෙන අත්දැකීම් සම්භාරය අවතක්සේරු කොට ගැරහීම නොකළ යුතුය.
එක් අයෙකුට තවත් අයෙකු විය නොහැක. මන්ද එකිනෙකාගේ ශරීරයේ පිහිටි ජාන වෙනස්ය. එසේම සියලු සිතුම් පැතුම් විවිධ පරිසර කරුණු කාරණා මත යැපේ. එබැවින් වෙනස් වන අනිකාගේ මතය ඉවසිය යුතුය. එයට ඇහුම්කන් දීමත් ඒ ගැන සංවාදයක යෙදීමත් මිස ඔහුට බැන වැදී වැඩක් නැත.
කෙනෙකුගේ ජානයන්හි හොඳ නරක විකෘති පැවතිය හැකිය. ජීවියෙක් යනු ජන්මයේ හා පරිසරයේ ප්‍රතිථලයකි. මෙයින් පරිසරයෙන් උකහා ගැනෙන දෑ අපට වෙනස් කර ගත හැකි වුවද ජාන වෙනස් කිරීම බලාපොරෙත්තු විය නොහැකිය. එනිසා අපි සියල්ලා්ම එකිනෙකාට වෙනස් වෙමු. රුචි අරුචිකම් වෙනස් වේ. මේ නිසාම ලොව පවතින සුහද සංවාද අන්නෝන්‍ය අවබෝධය වැඩි කරවන්නේය. අනෙකාට ගරු කරන්නට හා අනෙකාගේ මතය ඉවසන්නට හුරු කරවන්නේය. යුද හා කලි කලහ සමනය කරවන්නේය. සාමය ඇති කරවන්නේය.