බුදුන්වහන්සේ දේශනා කළ ධර්මය පිළිබඳව පෙර නොවූ විරූ ආකාරයේ කතිකාවතක් පෙරදිග මෙන්ම බටහිර ලෝකය පුරාම පාහේ වර්තමානයේ දකින්නට ලැබේ. නූතන විද්‍යාවේ විශේෂයෙන්ම ක්වොන්ටම් භෞතික විද්‍යාවේ නව සොයාගැනීම් බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය සමඟ සමීප සම්බන්ධතාවයන් පෙන්නුම් කරන හෙයින්, තථාගත ධර්මය විශ්ලේෂණාත්මකව අධ්‍යයනය කිරීමේ නැඹුරුතාවයේ සීග්‍ර වර්ධනයක් බටහිර ලෝකය තුළින් පෙන්නුම් කරයි. මීට හාත්පසින්ම වෙනස් වූ ‘උනන්දුවක්’ පෙරදිග ගතානුගතික බෞද්ධ ජනතාව කෙරෙන්ද දිස්වේ.
බුදුන් වහන්සේ දේශණා කළ ධර්මය සහ එම ධර්මය භාවිතා කිරීමෙන් ලබාගත හැකි ප්‍රථිඵල කුමක්ද යන්න පිළිබඳව විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් සඳහා මෙම ‘තත්වය’ ඉතා කාලෝචිත යයි සිතමි. මක් නිසාද යත් ‘චතුරාර්ය සත්‍යය’ තරම් විකෘති කර නොයෙක් ආකාරයෙන් විග්‍රහ කරන වෙනත් විෂයක් නොමැති තරම්ය.
බුදුන්වහන්සේ දේශනා කළ ධර්මය ආගමක්ද? දර්ශනයක්ද? නැතහොත් විද්‍යාවක්ද?
මූලධර්ම වශයෙන් සැලකූ කළ සියලුම ආගම් ඒවායේ ඉගැන්වීම්වලට අනුව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කළ හැක. මින් පළමු කොටස ට අයත් ආගම්වල ඉගැන්වීමට අනුව ශාස්තෘවරයාවරයා දේශනා කරන දහම පිළිගෙන ඒ ආකාරයට ජීවත්වී මිය ගිය පසු, සදාකාලික සැප ඇති ස්වර්ග රාජ්‍යයක උත්පත්තිය ලබයි. දහම නොපිළිගන්නා හෝ දහමට පටහැනිව ජීවත්වන මිනිසාට උරුම වන්නේ සදාකාලික දුක් ඇති අපායයි. මෙහි සඳහන් වන ස්වර්ග රාජ්‍යය සහ අපාය යනු කාලයත් සමග නොවෙනස්ව පවතින නිත්‍යය වූ ස්ථාන වන අතර එහි ජීවත්වන සත්වයා ද අමරණීයව සදාකාලිකව ජීවත් වේ.
දෙවන කණ්ඩායමට අයත් වන ඉගැන්වීම්වලට අනුව “මරණයෙන් මතු නැවත උත්පත්තියක් ඇත” යන විශ්වාසය දරයි. එලොවක් ඇත, මෙලොවක් ඇත, දෙන දෙයෙහි ඵල-විපාක ඇත ආදී වශයෙන් විශ්වාස කරන පුද්ගලයා මේ භවයේදී සැප , දුක් විඳින්නේ අතීත භවයේදී කළ පිං , පව් නිසා සකස් වූ කර්මයේ ඵල විපාක ලෙස පිළිගන්නා අතර ඊළඟ භවය යහපත් කරගැනීමේ අරමුණ සහිතවම පුණ්‍යකර්මයන් සිදු කරයි. එවැනි පිංකම් කර දෙව් මිනිස් සැප ප්‍රාර්ථනා කරයි. එසේ ලබා ගන්නා දිව්‍යය සම්පත්වලින් බොහෝ කාලයක් සැප විඳීම පරම අභිලාෂයයි.
ආගමක් යනු එවැනි ඇදහීම්,විශ්වාස ඇති එසේත් නැතිනම් ශාස්තෘවරයා දේශණා කළ ධර්මය තර්ක විතර්ක කිරීම් වලින් තොරව සත්‍යය යයි පිළිගන්නා පටිපදාවකි.ඉගැන්වීම්වලට අනුව කටයුතු කිරීමෙන් හෝ ජීවත්වීමෙන් ලබා ගත හැකියයි ධර්මයේ සඳහන්වන ප්‍රථිඵලවල සත්‍යය අසත්‍යයතාවය කිසිවෙකුටත් සාධනය කළ නොහැක. හුදෙක් විශ්වාසයක්ම පමණි. බුදුන් වහන්සේ දේශණා කළ ලෞකික සම්මා දිට්ඨිය ද අයත් වන්නේ මෙම කණ්ඩායමටයි. අනිත්‍යයභාවය ගැන නොදනී. ආර්ය මාර්ගය නොදනී. ප්‍රඥාවෙන් යුක්තව තථාගත ධර්මය නොවිමසයි. මෙසේ සංසාරයේ සැරිසරන පුද්ගලයන්ට බුදුන් වහන්සේ දෙසූ ධර්මය ආගමකි.
එසේත් නැතිනම් දර්ශණයක්ද? කාල් මාක්ස් විසින් රචිත ‘දාස් කැපිටාල්’ නම් ග්‍රන්ථය මගින් හඳුන්වා දෙනු ලැබූ සමාජවාදය, දර්ශණයකි. ‘සමාජය පුරා ව්‍යාප්තව ඇති ආර්ථික අසමානතාවය නැති කර සියලු පුරවැසියන් අතර ධනය සමසේ බෙදා හැරීම මගින් සතුටින් ජීවත් වන සමාජයක් බිහි කළ හැකිය’ යන සංකල්පය එහි අන්තර්ගතය විය. එය කාල් මාක්ස් ප්‍රායෝගිකව අධ්‍යයනය කළ ධර්මයක් නොවීය.
අවුරුදු හයක් මුළුල්ලේ කළ ආර්ය පර්යේෂණයේ ප්‍රථිඵලයක් ලෙස ජාතිය නිරෝධ කරන ධර්මය බුදුන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලදී. චතුරාර්ය සත්‍යය ධර්මය යනු ජාතිය නිරෝධ කිරීම මගින් සියලු දුක්ඛස්ඛන්ධයෙන් සදහටම මිදීම සඳහා වන විද්‍යාවකි. සත්වයා භවයේ සැරිසරන්නා වූ ධර්මය නිරෝධකරන විද්‍යාවකි. ‘විද්‍යාවක් යනු නිරීක්ෂණ මත එළඹ ගනු ලබන නිගමනයකි. එය තවත් කෙනෙකුට සාධනය කර පෙන්වා දිය හැකිවිය යුතුය. දෙවැනි පුද්ගලයාටද එම පරීක්ෂණය ඒ ආකාරයටම කර එම නිරීක්ෂණම ලබාගත හැකිවිය යුතුය. එවිට ඔහු හෝ ඇය එළඹෙන නිගමනය, ශාස්තෘවරයාගෙන් හෝ ගුරුවරයාගෙන් අසා දැනගත් නිගමනයම විය යුතුය. එවිට දෙවන පුද්ගලයාටද දැන ඉගෙනගත් ධර්මය දැකගත හැකි වේ’. බුදුන්වහන්සේ දේශනා කළේ එවැනි ධර්මයකි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිපැදීමෙන් නිර්වාණය සාක්ෂාත් කරගත හැකි බවත් නිර්වාණය අවබෝධ කරගත් පුද්ගලයා ජාති, ජරා, ව්‍යාධි, මරණ, චුති-උත්පත්ති, දුක්ඛ, දෝමනස්ස ආදී වශයෙන් විස්තර කළ කෙනෙකු විඳිය හැකි සියලුම දුක්ඛයන්ගෙන් සදහටම මිදිය හැකි බවත් දේශනා කළ සේක. බුදුන් වහන්සේ එසේ දේශනා කළේ තමන් වහන්සේ විසින්ම නිර්වාණය අවබෝධ කරගෙන ඉහත සඳහන් කළ දුක්ඛයන්ගෙන් සම්පූර්ණයෙන් සදහටම මිදීමෙන් අනතුරුවයි. බුදුන් වහන්සේගේ දේශනාව අනුගමනය කර එම ධර්මය අවබෝධ කර ගත් විශාල සංඛ්‍යාවක් ඒ ආකාරයටම සදාකාලිකව දුකින් මිදිය. නිර්වානය යනු, විද්‍යාත්මක පරීක්ෂණයක, දැකගත හැකි ප්‍රතිඵලයකි. දුකෙන් මිදුන පුද්ගලයාට මිදුන බව වෙන කෙනෙකුගෙන් අසා දැන ගතයුතු නොවේ. තමාටම දැනගත, දැකගත හැකිවේ. එයයි විද්‍යාවක ස්වභාවය.
බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ‘බෞද්ධ විද්‍යාව’ ලෙස හැඳින්වීමේදී මතුවන ගැටලුවක් ඇත. අප සියලු දෙනා දන්නා හඳුනන ‘නූතන විද්‍යාව’ සත්‍යය වන්නේ සීමිත තත්ත්වයන් යටතේ එක්තරා කාල සීමාවකට පමණි. වෙනත් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් සාවද්‍යතාවය පෙන්වා දෙන තෙක් පමණි. එම නිසා නූතන විද්‍යාව යනු කාලයෙන් කාලයට වෙනස්වන ‘සාපේක්ෂ විද්‍යාවක්’ පමණක් වේ. එහෙත් බෞද්ධ විද්‍යාව යනු කාලයෙන් කාලයට වෙනස් නොවෙන, කිසිම සීමාවකින් තොරව සමස්ත විශ්වයටම එකසේ වලංගු වන විද්‍යාවකි. වසර බිලියන ගණනකට පසුව වුව වෙනත් බුදුවරයෙකු විසින් දේශනා කරන්නේද එකම විද්‍යාවකි. සත්වයාගේ පැවැත්ම සහ පැවැත්ම නිවැරදිව පහදා දියහැකි, විස්තර කළ හැකි විශ්වයේ පැවතිය හැකි අනන්‍යය වූ නිරපේක්ෂ විද්‍යාව බෞද්ධ විද්‍යාව පමණි.
චතුරාර්ය සත්‍යය මෙන්ම එහි සාන්දෘෂ්ඨික ඵලය වන අර්හත් ඵලය හෙවත් නිර්වාණය යනු සාධනය කර පෙන්වා දිය හැකි ධර්මතාවයන් වේ. එමෙන්ම රහතන්වහන්සේ නමක් පිරිනිවන් පාන ආකාරයත් අනෙක් සෑම සත්වයෙක්ම නැවත උපදින ආකාරයත් සාධනය කර පෙන්වා දිය හැක. මේ හේතුව නිසයි, බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය විද්‍යාවක් වන්නේ.
නිර්වාණය සඳහා වන ධර්මය, චතුරාර්ය සත්‍යය තවම අප සතුව පවතී. එය සම්පූර්ණයෙන්ම විනාශ වී නොමැත. එමනිසා මෛත්‍රී බුදුන් වහන්සේ හමුවේදී මෙම චතුරාර්ය සත්‍යයම ඉගෙන ගැනීමට තවත් අවුරුදු ලක්ෂ ගනණක් දුක් විඳිය යුතුද? බොහෝ දෙනා තමන් දුකක් විඳිනවාද යන්න නොදැන සැප විඳිනවා යැයි සිතමින් දුක් විඳී. ඒ නිසාම දෙව් මිනිස් සැප කෙලවර මෛත්‍රී බුදුන් හමුවේ නිවන් අවබෝධ කරගැනීම සඳහා පුණ්‍යකර්ම සිදුකර භවයම පතයි. දුකම පතයි. දුක සහ දුක්ඛ ආර්ය සත්‍යය නොදන්නාකම, අවිද්‍යාව, නිසාම සත්වයා මෙලෙස සංසාරයේ සැරිසරයි.
‘මේ භවයේදී ක්ෂණ සම්පත්තීන් සහිත උත්පත්තියක් ලබාගැනීමට තරම් පෙර කළ පිං ඇති ඔබ මෙම මහඟු අවස්ථාව අපතේ යවනවාද?’
ඇරත්, මෛත්‍රී බුදුන් වහන්සේගේ සාසනය පවතින කළ ක්ෂණ සම්පත්තීන්ගෙන් යුතු භවයක් ඔබට ලබාගත හැකිය යන විශ්වාසය, සහතිකය කුමක්ද?
By G.S. Gunarathna – Auckland