fbpx
11.3 C
New Zealand
Wednesday, October 23, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් සිටීද? | ජී. එස්. ගුණරත්න | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

බුදුන් වහන්සේගේ දේශණාවට අනුව මෙම පැනයට දිය හැකි සරලම පිළිතුර නම් “ඇත” සහ “නැත” යන්නයි. මෙය අවබෝධ කරගන්නේ කෙසේද?

මේ සඳහා “සත්ත්වයා” යනු කවරෙක්දැයි වටහා ගැනීම අත්‍යවශ්‍යය. කරණීය මෙත්ත සූත්‍රයේ “මෛත්‍රී කළ යුතු සත්ත්වයින්” පිළිබඳ විශ්ලේෂණයක් දැක්වේ.

“යෙ කෙචි පාණභූතත‍්ථි – තසා වා ථාවරා වනවසෙසා”

භූත වූ යම් ප්‍රාණියෙක් වෙත්ද ඒ සෑම ප්‍රාණියෙක්ම ‘තසා’ හෝ ‘තාවරා’ යන කාණ්ඩ දෙකට ඉතුරු නැතිව බෙදිය හැකිය.

සූත්‍ර පිටකය – ඛුද්‌දක නිකාය පෙටකොපදෙශ – 7. සප්තම භූමි- හාරසම්පාතභූමි 

භූත (උපන්) සත්ත්වයෝ චේතනා ද සංකල්පනා ද කෙරෙයි සම්භවය සොයන සත්ත්ව නො ද සිතයි නො ද සංකල්පන කෙරෙයි. උපන් සත්ත්වයෝ කවරහ: යම් තනුබවට ගිය අණ්ඩජයෝ ද අණ්ඩකෝෂයෙන් නික්මුණාහු ද සම්භේදයට නොගිය සංසේදජයෝ ද යන මොහු භූතයෝ යි. සම්භවෙසීහු කවරහ: ගර්භගත වැ අණ්ඩකෝෂගත වැ හැසිරෙන යම් සත්ත්ව කෙනෙක් ඇද්ද මොහු චේතනා නොකෙරෙති, ප්‍රාර්ථනා නොකෙරෙති, සංකල්පනා නොකෙරෙත්. අනුසය හේතුකොට (ඔවුන්ට) පුනර්භවය උපදී යයි. 

යම් උපන් සත්ත්ව කෙනෙක් ඇද්ද යම් සම්භවෙසීහු වෙත් ද ඔහු ථාවරයෝ යැ, යම් සත්ත්ව කෙනෙක් සිතත් ද පතත් ද යම් ථාවර සත්ත්ව කෙනෙක් වෙත් ද ඔහු නො ද සිතති, නො ද පතති, නො ද සංකල්පනා කෙරෙත්. අනුසයහේතුයෙන් සංසරණය කෙරෙත්. 

අන්‍යත් පරියායයෙකි: යම් ශෛක්ෂ ආය්‍යර්‍ පුද්ගල කෙනෙක් වෙත් ද ඔහු නො ද චේතනා කෙරෙති, නො ද සංකල්පන කෙරෙති, අනුසය වශයෙන් යළි උපදිත්.

මෙහි “ථාවර” ලෙස හඳුන්වන්නේ භූත වූ සහ නැවත ඉපදීමට බලාපොරොත්තුව සිටින සියලුම පුද්ගලයින් වේ. මොවුන් සත්ත්වයින් ලෙස හැඳින්වේ. තමාගේ ජීවත්වීමට අවශ්‍ය කරන කලමනා, තමා විසින්ම සපයාගැනීම සඳහා සෑම සත්ත්වයෙක්ම චේතනා කළයුතු වේ. මෙම ධර්මතාවය සෑම ලෝකයකටම සාධාරණ වේ. ලෝකෝත්තර සම්මා ආජීවයෙන් යුතුව වැඩවාසය කරන රහතන් වහන්සේ නමක් පමණක් තම භවය පවත්වාගෙන යාම සඳහා චේතනා නොකරයි.

ඉන්පසු ථාවර ලෙස හැඳින්වූ සත්ත්වයින් පිළිබඳ විශ්ලේෂණයක් ඊළඟ ගාථාවලින් පෙන්වා දෙයි.

“දීඝා වා යෙව මහන‍්තා වා – මජ‍්ඣිමා රස‍්සකා අණුකථූලා”

දීර්ඝ, මහත, මධ්‍යම ප්‍රමාණයේ සත්ත්වයින් ආදී වශයෙන් ඔබට සිහිපත් වන්නේ ඔබ දන්නා අසා ඇති සත්ත්වයින් පමණක් නේද? ඔබ කිසිදා අසා නැති, දැක නැති කිසිම සත්ත්වයෙක් ඉහත වර්ගීකරණයේදී ඔබට සිහිපත් නොවනු ඇත. “දිට්ඨා” ලෙස හඳුන්වන්නේ එසේ ඔබ දන්නා සත්වයින් පමණි.

දිට්ඨා වා යෙව අදිට්ඨා  

එහෙත් “දිට්ඨා” වශයෙන් සඳහන් කළ සත්ත්වයින් පමණක් නොව ඔබ නොදන්නා “අදිට්ඨා” කාණ්ඩයට අයත්වන බොහෝ සත්ත්වයින් ද සිටී.

යෙ ව දූරෙ – වසන්ති අවිදූරෙ

“අදිට්ඨා” ලෙස හැඳින් වූ සත්ත්වයින් පිළිබඳව ඔබට දැන ගැනීමට නොහැකි වූයේ එම සත්ත්වයින් ඔබ සිටිනා ප්‍රදේශයෙන් බොහෝ ඈත ජීවත්වන නිසා විය හැක. උදාහරණයක් ලෙස ඝණ වනාන්තරයක මධ්‍යයේ හෝ ගැඹුරු මුහුදු පතුලේ ජීවත්වන සත්ත්වයෙක් විය හැක. එපමණක් ද නොවේ. ඔබ ආසන්නයේම ජීවත් වුවද ඔබගේ දෘෂ්ඨි පරාසයට සංවේදී නොවන සත්ත්වයෝද සිටියි. උදාහරණයක් ලෙස ඒක සෛලීය ඇමීබාවා වැනි සත්ත්වයින් මිනිසාගේ පියවි ඇසින් දැකගත නොහැක. ඒ සඳහා අන්වීක්ෂයක් භාවිතා කළ යුතුය. අන්වීක්ෂයක් තුළින් ඇමීබාවෙකු දැක ඇති පුද්ගලයෙකුට ඇමීබාවා ද “දිට්ඨා” කාණ්ඩයට ඇතුලත් කළ හැක. එහෙත් ප්‍රේතයෙක් වැනි සත්ත්වයෙක් බොහෝ දෙනෙකුට “අදිට්ඨා” වනු ඇත.

මේ දක්වා විස්තර කළේ භූත වූ හෙවත් ඉපදී සිටින සත්ත්වයින් පමණි. ඔවුන් පමණක් නොව ඉපදීමට බලාපොරොත්තුවෙන් සම්භවයක් සොයනා සත්වයෝද සිටී.

භූතා ව – සම්භවෙසී ව 

මේ ආකාරයට වැකි කිහිපයක් භාවිතා කර විශ්වය පුරා ජීවත්වන සියලුම සත්ත්වයින් පිළිබඳ මනා විශ්ලේෂණයක් බුදුන් වහන්සේ හඳුන්වා දෙයි. එමෙන්ම මෙම විශ්ලේෂණයේ විශේෂත්වය වන්නේ සෑම පුද්ගලයෙකුටම විශ්වයේ කොතනක හෝ ජීවත්වන සියලුම සත්ත්වයින් සිහිපත් කළ හැකි වීමයි.

පෙටකෝපදේශයේ සඳහන් විශ්ලේෂණයට අනුව, “තසා” යනු “අශෛක්ෂ ආර්ය පුද්ගලයා” හෙවත් නිර්වාණය සාක්සාත් කරගත් රහතන් වහන්සේ වෙයි. රහතන් වහන්සේ නමක් යනු සත්ත්වයෙක් නොවන බව මින් පැහැදිලි වෙයි. එමෙන්ම රහතන් වහන්සේ යනු භූත වූ ප්‍රාණියෙක්ම වන අතර සම්භවේසීවා හෙවත් සම්භවය සොයන්නෙක් නොවේ. මින් ගම්‍යය වන්නේ තමා විසින්ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නා සම්මා සම්බුදුවරයෙක් හෝ පසේබුදුවරයෙක් මෙන්ම සම්මා සම්බුදුවරයෙක් දේශනා කළ ධර්මාවබෝධයෙන් රහත්ඵලය සාක්ෂාත් කරගෙන පිරිනිවන් පාන රහතන්වහන්සේ නමක් (තසා) නැවත නූපදිනවා පමණක් නොව කිසිම ශක්තියක් විශ්වයට ශේෂකරන්නේ ද නැති බවයි. නිර්වාණ අවබෝධයත් සමඟ පවතින්නා වූ සියලුම ශක්තීන් ඉතුරු නැතිවම නිශේධ  හෙවත් විසර්ජනය වේ.

මෙම සත්ත්ව වර්ගීකරණය තුළින් ගම්‍යයවන තවත් ධර්මතාවයක් ඇත. තසාවරු මේ භවයේදීම පිරිනිවන් පාන අතර යළි නූපදී. ථාවර කාණ්ඩයට අයත් භූත වී ඇති ප්‍රාණියෙක් දක්ෂවන්නේ නම් මරණ අවස්ථාවේ දී කිසිවක් උපාදාන කර නොගැනීමෙන් පිරිනිවන් පෑ හැක. එවිට යළි උත්පත්තියක් නොමැත. එසේ අදක්ෂවන අනෙකුත් සියලුම ථාවරයින්, එක්කෝ මේ මොහොතේ කොතනක හෝ ජීවත්වනු ඇත. එසේ නොවන්නේ නම් ඉපදීමේ බලාපොරොත්තුවෙන් සිටී. මින් ගම්‍යයවන්නේ කුමක්ද? ඔබගේ මියගිය ඥාති මිත්‍රාදීන් විරුද්ධවාදීන් මෙන්ම අනෙක් සියලුම පුද්ගලයින්ගෙන් පිරිනිවන් පා විශ්වයෙන් ඉවත් නොවූ සියලු දෙනාම, එක්කෝ කොතනක හෝ ඉපිද ජීවත් වෙයි. නැතහොත් ඉපදීමේ බලාපොරොත්තුවෙන් කල් ගෙවයි. අතීත භවයකදී ඔබගේ ආදරණීය ඥාතියා මේ භවයේදී ඔබගේ ප්‍රබලම විරුද්ධවාදියා විය හැක. එමෙන්ම මේ භවයේ ඔබගේ ආදරය, විශ්වාසය දිනා සිටින පුද්ගලයා අතීත භවයකදී ඔබට බොහෝ දුක් කරදර ගෙනදුන්නා විය හැක.

මෛත්‍රී භාවනාව සඳහා මෙවැනි සත්තිව වර්ගීකරණයක් පනවා ඇති හේතුව ඔබට මනාව අවබෝධ වන්නේ යයි සිතමු. කිසිම පුද්ගලයෙක් විශේෂිතව නොසලකා, සෑම සත්ත්වයෙක්ම දුකෙන් පෙලෙන හෙයින් “සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා” යයි මහත්ගත වූ සිතකින් මෛත්‍රිය පැතීමේ හැකියාවක් ඔබට ලැබෙනු ඇත.

සත්ත්වයෙක් නොවන හෙයින් රහතන් වහන්සේට මෛත්‍රී පැතිය යුතු නොවේ. රහතන් වහන්සේ සත්ත්වයෙක් නොවන බව විද්‍යානුකූලව පෙන්වාදිය හැක. එහෙත් මෙම ධර්මය දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතුවන අතර මෙවැනි කෙටි ලිපියකින් සියලුම පාඨකයින්ට අවබෝධ වනසේ විස්තර කිරීම ඉතා අසීරු කාරණයකි.

 

ජී. එස්. ගුණරත්න
ඕක්ලන්ඩ්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.