Sri Lankan Dancing Academy of New Zealand දෙවැනි වරටත් නර්තන පාසලේ පුහුණුව ලැබූ දරුවන් අට දෙනකුගේ කලඑළි මංගල්‍යය වෙලින්ටන් නුවර දී සැප්තැම්බර් මාසයේදී සිදු වුණේ අපේ දරුවන්ගේ දක්ෂතා වැඩිහිටි අපට ආඩම්බරයක් උදා කරමින්ය. එය සම්ප්‍රදායික පිලිවෙත්වලට අනුව ඉතා උත්කර්ෂවත් ලෙස Chilton Saint James පාසල් ශාලාවේ දී වේදිකා ගත විය.
මෙම නාට්‍ය පුහුණු කිරීමේ ආයතනය ආරම්භ වූයේ 1975 වසරේ වන අතර දයානි ගොන්සාල්කෝරාල මහත්මිය මෙහි නිර්මාතෘවරිය වූවාය. 2009 වර්ෂයේ ලංකාවේ නර්තන කලාව විශිෂ්ට ලෙස හැදැරු මොහාන් සුදුසිංහ මහතා ගුරුවරයෙකු ලෙස මෙම ආයතනයට පැමිණීම සාම්ප්‍රදායික නැටුම් කලාව දරුවන්ට පුරුදු පුහුණු කිරීමට වඩාත් ගුණාත්මක වටිනාකමක් එක් කරන්නට හැකි විය. මෙහි අධ්‍යක්ෂිකාව ලෙස දයානි ගොන්සාල්කෝරාල මහත්මිය සහ මොහාන් සුදුසිංහ මහතා කලා අධ්‍යක්ෂක ලෙසත් කටයුතු කරති. ඉතා කැපවීමෙන් කටයුතු කරන ක්‍රියාකාරී කමිටුවේ දායකත්වය මෙහි ගමනට විශාල වශයෙන් පිටුවහල් වී ඇත.
දරුවන්ගේ වසර ගණනාවක හැදෑරීම, පුහුණුව, විෂය දැනුම, විනය සහ කැපවිමේ ප්‍රතිඵලයක් ලෙස ගුරුවරු දෙමව්පියන් සහ වෙලින්ටන් සියලු පිරිසගේ ආශිර්වාද මැද මොහාන් සුදූසිංහ මහතාගේ යටතේ නර්තනය හැදෑරු අමාලි විජේසූරිය, සෙයාරා සුරේන්ද්‍ර, නෙතාරා ළමාහේවා, දෙව්මිණි පලාතගේ, සයුනි පරණගම, නෙත්මි පරණගම, සේනුක සුදුසිංහ සහ යේනුක සුදුසිංහ යන දූදරුවෝ උඩරට නැටුම් කලාවේ අවසාන අදියර ලෙස කලඑළි රංගනයෙන් දොරට සැපත්වූහ.
මෙම විශේෂ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ප්‍රවීණ බෙරවාදන ශිල්පීන් යුවළක් වන සුසන්ත රූපතිලක සහ ප්‍රසන්න රූපතිලක සමග ඔවුන්ගේ සිසුන් වන කොශාන් මාපටුන, පසන් රූපතිලක සහ පසිඳු රූපතිලක සහභාගී වූහ.
වෙලින්ටන් ධර්ම ගවේසී භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක වන ගෞරවනීය වැලිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ ඇතුළු එහි වැඩ වසන ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් උදෑසනින්ම යොදාගෙන තිබුණු ආගමික වතාවත්වලින් මෙම කටයුත්ත අරඹන ලදී. රංගන කලාවේ ඇති ආගමික පිළිවෙත්, සම්ප්‍රදායන් සහ වතාවත්වල ගැඹුරු හරය අප දරුවන්ට වැටහෙන අයුරින් දෙමව්පියන් සහ ගුරුවරුන් කැපවී එම කටයුත්ත සංවිධානය කර තිබුණි.
මෙම දොරට වැඩීමේ උත්සවයට සමගාමීව නර්තන පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ නැටුම් හැකියාවන් ද එකතු කර ගනිමින් ‘ උරුම රංග – Heritage in Dance’ යන නාමය රැගත් නර්තන ප්‍රසංගයක් ද Victoria University Memorial Theatre හා පවත්වන ලදී. මෙහිදී ප්‍රධාන වශයෙන්ම කලඑළි මංගල්‍යයට සහභාගී වූ දරුවන් අට දෙනාගේ රංගනයට මුල් තැන දී තිබිණි.
‘Heritage in Dance’ ප්‍රසංගයේ දී වෙලින්ටන් නුවර වෙසෙන දරුවන්ගේ දක්ෂතාවයන් සාම්ප්‍රදායික උඩරට නැටුම් කලාවේ විවිධ නර්තන විලාශයන් හරහා විදහාපාන ලදී. මංගලම්, හත්පදය, ලී කෙළි, වන්නම්, පන්තේරු නැටුම් සමග අපේ සම්ප්‍රදායික බෙර වැයුම් මෙම ප්‍රසංගයට ඇතුලත් විය. විචිත්‍රවත් ඇඳුම් නිර්මාණ මෙහි කැපී පෙනෙන්නට තිබූ අතර එය ප්‍රසංගය තවත් වර්ණවත් කරන ලදි. සම්ප්‍රදායික නැටුම් සහ බෙර වාදන අපේ දරුවන් ඉතා විශිෂ්ට ලෙස ඉදිරිපත් කළ බව පැමිණ සිටි වැඩිහිටියන් ඉතාමත් ආඩම්බරයෙන් කතාබහ කරනු දකින්නට ලැබුණි.
වෙලින්ටන් නුවර දෙවනි කලඑලි මංගල්‍යයය මෙය වුවත් නවසීලන්තයේ පළමු වෙස් පැළඳවීම ඉතිහාසගත කාරණාවකි. තම පියා වන මොහාන් සුදුසිංහ යටතේ වෙස් නැට්ටුවන් ලෙස අභිෂේක ලැබූ සේනුක සුදුසිංහ සහ යේනුක සුදුසිංහ එදින පියා සමග කළ සාම්ප්‍රදායික උඩරට නර්තනයෙන් අපේ ඉතිහාසය සහ සම්ප්‍රදායේ ඇති ප්‍රෞඩත්වය තදින් හිත් තුළ සනිටුහන් කරන්නට සමත් විය.
මෙම රංග පාසලේ මෙතෙක් කළ සේවයට වටිනාකමක් දීමට එහි ආදි ශිෂ්‍යාවන් සහ වෙලින්ටන් නගරයේ ජීවත් වන වැඩිහිටි පිරිස මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ඉතා උනන්දුවෙන් සහයෝගය දක්වන අයුරු දැක ගැනීමට තිබුණි.
විදේශිය ජීවන රටාවක සිටින අපේ දරුවන්ට ශික්ෂණයකින් යුතුව නර්තන කලාව උරුම කර දෙන්න Sri Lankan Dancing Academy of New Zealand වසර හතළිස් අටක් පුරාවට කරගෙන යන සේවයට ශ්‍රි ලංකන්ස් පුවත්පතේ අපේ කෘතඥතාව පළකර සිටිමු.
අපේ දරුවන්ට උඩරට රංගන කලාව හා අපේ උරුමය හැදෑරීමට අවස්ථා උදාකර දිමට Sri Lankan Dancing Academy of New Zealand රංග පාසලට තව තවත් හැකියාව උදා වන මෙන්ද, ඒ තුළින් අපේ දරුවන්ට මානසික ශික්ෂණයකින් පිරිපුන් යහපත් පුරවැසියන් ලෙස නවසීලන්ත සමාජයට එකතු වීමට හැකියාව ලැබේවායි ද කියා ශ්‍රී ලන්කන්ස් පුවත්පතෙහි අපි ප්‍රාර්ථනා කරමු.
මෙම වැඩසටහනට මාධ්‍ය සගයන් ලෙස ශ්‍රි ලන්කන්ස් පුවත්පතට ලැබුන විශේෂ ආරාධනයට ස්තූතිය පළකරමු.
By Anu Weerakoon – Wellington