පසුගිය කලාපවල වසංගතයෙන් පසු ලෝක ආර්ථික හා දේශපාලන ප්‍රවණතාවයන් ගැන කෙටි සඳහනක් කළෙමු. ඒ ආකාරයෙන්ම වසංගතයෙන් මිදීයන දරු පරපුරේ අනාගතයට බලපාන වෙනස්කම් අධ්‍යාපන තලයේ ද විද්‍යමානවන වෙයි. මේ ඒ ගැන සටහනකි.
දැන් පංති කාමරයේ අධ්‍යයනයට අන්තර්ජාල අවකාශය ද එක් වී ඇත. ගුරු-ශිෂ්‍ය දෙපසම කෘතිම බුද්ධිය භාවිතය හා එහි ප්‍රභේද ගැන සැලකිලිමත් විය යුතුව ඇත. (බලන්න අපගේ පසුගිය කලාපයේ Chat GPT හා මෙම කලාපයේ Regulations for AI ලිපි) අධ්‍යාපනය තව දුරටත් උපාධි හා සහතිකපත් ලබාදෙන මාධ්‍යයක්ම නොවේ. ශිෂ්‍යයෙකුගේ ජීවන කාලය පුරාම ලබන කුසලතා, ජයග්‍රහණ ආදිය එකතු වූ වෘත්තීයමය චරිත පද්ධතියක් ඩිජිටල් මාධ්‍යයෙන් ගොඩනැගෙයි. හාම්පුතුන් ද සම්බන්ධ කරගෙන ප්‍රමුඛ පෙලේ අධ්‍යාපන ආයතන මේ කාර්යය කරයි. හාම්පුත්තු තම ආයතනයට සේවකයන් බදවා ගැනීමේදී මේ විස්තර ප්‍රයෝජනයට ගනිති. ශිෂ්‍යයාට ද මෙම විස්තරය එක්තරා ආකාරයක තම ඉලක්කයට මග පෙන්වීමකි.
පුමුඛ පෙලේ ආයතන සපයන ඉහළ ගුණාත්මක බවකින් යුතු මෙම නව අධ්‍යාපන පාඨමාලා ශිෂ්‍යයන්ට ඉතා ලාභ දායකය. කාලසටහන් නම්‍යශීලී ය. මේ සියල්ලෙහිම සමුච්චිත ප්‍රතිඵලය වන්නේ ලොව කවරම තැනක සිටින සිසුවකුට වුව, දේශසීමා බාධක නොමැතිව තම නිවසේ සිට මෙම පාඨමාලා හැදෑරීමට පහසු පසුබිම නිර්මාණය වෙමින් පැවතීම ය.
කෙසේ වෙතත් මේ ශක්තිමත් ආර්ථිකයක් ඇති අමෙරිකාව හා යුරෝපීය රටවල රජය හා පෞද්ගලික අංශ මූලිකත්වයෙන් කෙරෙන අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්‍යමාන වන ප්‍රවණතාවයන් කිහිපයක් පමණි. මෙම වෙනස්කම් ගතවන සෑම මොහොතකම ලෝකය පුරා සිටින තරුණ පරපුර ග්‍රහණය කර ගනිමින් පැතිර යයි. ඇතැම් රටවල මෙම පහසුකම් ලබාගත හැක්කේ ඉහළ ආදායම් ඇති පවුල්වල දරුවන්ට පමණය. බොහෝ දරුවනට ඒ පහසුකම නොමැති වීමෙන් සමාජ විෂමතාවය තවදුරටත් තීව්‍ර වී ඇති බව යුනෙස්කෝ සංවිධානය පෙන්වා දෙයි.
දකුණු අප්‍රිකාවේ අන්තර්ජාල හා දුරස්ථ අධ්‍යාපනයට විරුද්ධව උද්ඝෝෂණ පවා පැවතින. බොහෝ පාසල්වල සම්පත් මංකොල්ල කෑමට ලක්වීය. ඉතියෝපියාව වැනි රටවල් විදේශ ආධාර නොමැතිව මේ වෙනස්කම් වෙනුවෙන් ආයෝජන කළ නොහැකි තැනකට පත්ව ඇත. එම රටවල ඇති සීමිත සම්පත්, සෞඛ්‍යය වැනි දැවෙන ප්‍රශ්න විසදා ගැනීමට යෙදවිය යුතු ය. දරුවනට අවශ්‍ය පරිගණක උපාංග ලබා ගැනීමට වේගවත් අන්තර්ජාල සබදතා සදහා හා තාක්ෂණික පසුතල දියුණු කර ගැනීමේ වැය බර දැරීමට ඒ රටවල රාජ්‍යයන්ට අපහසු වී ඇත. එහෙත් ඉහත කී ප්‍රවණතාවයේ ප්‍රවේගය වැඩිවනවා මිස අඩු වෙතැයි සිතිය නොහැක.
නවසීලන්තය, වසංගත හේතුවෙන් දරුවන් තුළ වූ පසුබෑමට පිළියම් කර ගැනීම් වස් විශාල මුදලක් අයවැයෙන් වෙන් කළ බවට වාර්තා වේ. රාජ්‍ය හා පෞද්ගලික අධ්‍යාපන ආයතනවලින් දරුවන්ට පංතිකාමරයේ හා දුරස්ථ මාර්ගවලින් අධ්‍යාපනය ලබා ගැනීමේ ඉඩකඩ ඇත.
දැනට ශ්‍රි ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක් ඇත. පුද්ගලික විශ්වවිද්‍යාල 24 ක් ඇති අතර තවත් 20ක් සදහා මේ වනවිට අනුමැතිය ඉල්ලා ඇත. ඉදිරියේ දී රාජ්‍ය විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතනවලට ශිෂයයන් බඳවා ගැනීමේදී විශාල තරගකාරී වෙළඳපළකට මුහුණ දීමට සිදුවනු ඇත. තම පාඨමාලාවල ගුණත්වය වැඩිකර ගැනීමට ඔවුනට සිදුවේ. සාර්ථක ශිෂ්‍යයෙකු, උපාධිධරයෙකු තම ආයතනයෙන් පිටවනවා දැකීමේ වගකීම දැරීමට සිදුවේ.
මෙහි තවත් පැත්තක් ද ඇත. අනාගත රැකියා වෙළදපල විවෘත වන්නේ දත්ත විශ්ලේෂකයින්, විද්‍යාඥයන්, කෘතිම බුද්ධිය පරිහරණය කරන්නන්, පරිගණක ක්ෂුද්‍රකාංග නිර්මාණකරුවන්, විශ්ලේෂකයන් වෘත්තීයමය අලෙවිකරුවන්, නව තාක්ෂණික විශේෂඥවරුන් හා තොරතුරු තාක්ෂණිකයන් වැනි අයට වන බැවින්, ලාංකීය තරුණ පරපුර තාක්ෂණික අධ්‍යාපනය ගැන වැඩි අවධානයක් යොමු කරමින් සිටිති. අන්තර්ජාල අධ්‍යාපනයේ, භාෂා ගැටලුව විසදා ගැනීම පහසු වන අතර දේශසීමා බාධක නොමැති බැවින් ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් ලබා ගැනීමට ඔවුහු යුහුසුලු වෙති. මෙසේ අරගල හා ප්‍රචණ්ඩව හැසිරීමෙන් කාලය විනාශ කර ගැනීමට වඩා ඉතා තරගකාරී රැකියා වෙළදපලෙහි අභියෝගවලට මුහුණ දීමට ශිෂ්‍යයාට සිදුවේ.
ගණිතය, ඉංජිනේරු විද්‍යාව හා පරිගණක තාක්ෂණය මෙම දරුවනට අවශ්‍යය. ඒ අතරම යන්ත්‍ර, මැෂින්, තාක්ෂණය ආදියට පමණක් අවධානය යොමු කරමින් බිහි කරන විද්‍යාර්ථයන් වෙනුවට පණිවිඩ හුවමාරුව, කණ්ඩායම් හැසිරීම, නිර්මාණශීලීත්වය, අන්තර් පුද්ගල සබඳතා හා ගැටුම් කළමනාකරණය වැනි මානව සම්පත් කුසලතාවලින් (Soft Skills) ද ඔවුන් ප්‍රමාණවත් පරිදි සම්පූර්ණ කරවීම අධ්‍යාපන ආයතනවලින් ඉටු කළ යුතුව ඇත. පවතින ගැටලුවක යථාර්ථය අවබෝධ කර ගැනීමට හා සමාජය සමග සුහදශීලී සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට එම මිනිස් ගුණාංග අවශ්‍යය.
වසංගතයෙන් අවධාරණය වූ මේ කාරණය හැටනම ලක්ෂයකට අධික මිනිස් ජීවිත සංඛ්‍යාවක් බිලිගත් මෑත මානව ඉතිහාසයේ දරුණුම ඛේදවාචකයකින් පසු, හැදෙන දරුවන්ගේ අනාගතය ගැන සැලකිලිමත් වන සෑම කෙනෙකුටම ලැබුණු පණිවිඩයකි.
(ඡායා රූපය- පේරාදෙණිය සරසවියේ දර්ශනයක්)