fbpx
6.8 C
New Zealand
Thursday, May 9, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

නවසීලන්ත වාසීන්හට සදහම් සිසිල බෙදාදෙන ‘ධම්ම ගවේසි වන සෙනසුන.’

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

බුදුදහම යනු මුලු මහත් මිනිස් ප්‍රජාවටම ඉමහත් සැනසීමක් ගෙන දුන් සහ ගෙනදෙන ධර්මයකි. දහසකුත් එකක් වූ ප්‍රරශ්න වලට මැදිවී සදාතනික ජීවන අරගලයක යෙදී සිටින ලෝක වාසීන්ට සාමය හා සහජීවනයේ මාවත පෙන්වාදීමත්, තමාගේ විමුක්තිය තමා විසින්ම සාක්ෂාත් කරගත යුතුයි යන ස්වාධීන චින්තනය හදුන්වා දීමත්, බුදු දහම මගින් මිනිස් වර්ගයාට දායාද කරදුනි. මෛත්‍රිය පෙරදැරි කරගත් මෙම ශ්‍රේෂ්ඨ පණිවිඩය ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේදීම ශ්‍රීලාංකිකයන් වෙත ළඟාවූ අතර එදා පටන් වර්තමානය දක්වාම බුදු දහමත් ඒ වටා ගොඩනැගුණු බෞද්ධ සංස්කෘතියත් ශ්‍රීලාංකීය ජන ජීවිතය හැඩ ගැස්වීමට මහෝපකාරී විය.

බුද්ධ ධර්මයේ ඇති මානව හිතවාදී භාවය නිසාම එය ක්‍රමයෙන් ආසියාකරයේ සිට බටහිර රටවලට පැතිරෙන්නට විය. ශ්‍රීලංකාවේ මෙන්ම අනෙකුත් ආසියාතික බෞද්ධ රටවල පුහුණුව ලැබූ උගත්, ධර්මධර සංඝයා වහන්සේලා විසින් මෙම ශ්‍රේෂ්ඨ දර්ශනය ලොව පුරා ප්‍රචලිත කරමින් සිටී. නවසීලන්තවාසී ශ්‍රීලාංකික මෙන්ම ලාංකික නොවන සියලු දෙනා වෙත බුදු දහමේ ආශිර්වාදය ළඟා වූයේ මෙවන් පරිශ්‍රමයන්හි ප්‍රතිඵලයක් වශයෙනි. විශේෂයෙන්ම ශ්‍රීලාංකික බෞද්ධ ජනතාවට තම සිතුම් පැතුම් අවබෝධ කරගත හැකි ශ්‍රීලාංකික සංඝයාවහන්සේලාගේ ඇසුර ලැබීම ඉමහත් වූ භාග්‍යයකි. නවසීලන්තයේ අගනුවර වන වෙලින්ටන් පුරවරය සහ තදාසන්න ප්‍රදේශවල ජීවත්වන වන ශ්‍රීලාංකීය ජනතාවට මෙම භාග්‍යය උදා වූයේ වෙලින්ටන් හි පිහිටි “ධර්ම ගවේශී භාවනා මධ්‍යස්ථානය” හරහා ය. මෙය එක්තරා ආකාරයක ආශ්චර්යමත් සිදුවීමකි.

ධම්ම ගවේසි භාවනා මධ්‍යස්ථානයෙහි සේනාසනාධිපති ස්වාමීන් වහන්සේ ලෙස වැඩ වසන අති පූජ්‍ය වැලිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ මෙම සත්කාරයෙහිලා පුරෝගාමිවූ සේක. එය ඉතාමත්ම දුෂ්කරවූත් වෙහෙසකරවූූත් නමුත් උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයත්, පුණ්‍ය මහිමයත් නිසාම එම කාර්යය ඉටුකර ගැනීමට හැකිවිය. මීට වසර විස්සකට පමණ පෙර උන්වහන්සේ වෙලින්ටන් නගරයට ආසන්න ‘Stokes Valley’ ප්‍රදේශයේ පිහිටි බෝධිඥානාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත නේවාසික ස්වාමීන් වහන්සේ නමක් ලෙස පැමිණියහ. වෙලින්ටන් නගරය සහ ඊට තදාසන්න ප්‍රදේශවල ජීවත්වන ශ්‍රීලාංකීය බෞද්ධ ජනතාවට මෙය ඉතාමත්ම සතුටුදායක කාරණයක් විය.

නොබෝ කලකින් බුදු දහමට ලැදි ශ්‍රීලාංකීය මෙන්ම ශ්‍රීලාංකීය නොවන බොහෝ දෙනෙක් උන්වහන්සේගේ ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන්වලට සහභාගි වීමට පටන් ගත්හ. උන් වහන්සේට හැකි අයුරින් මෙම ශාසන සේවය තමා වෙත පැමිණෙන සියළු දෙනා වෙත ඉටු කරන ලදී. මේ මහඟු සේවය වඩාත් ක්‍රමවත්ව ඉටු කර ගැනීම සඳහා ශ්‍රී ලාංකීය බෞද්ධ මධ්‍යස්ථානයක අවශ්‍යතාවය සැමදෙනාටම ක්‍රමයෙන් වැටහෙන්නට විය. ඒ අනුව ගරු ජිනාලංකාර ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම යටතේ බෞද්ධ සේනාසනයකට සුදුසු ස්ථානයක් සොයා ගැනීමට අපි සියලු දෙනාම උනන්දු වීමු.

ඉතාමත් ඉවසීමෙන් යුක්තව වසර කිහිපයක් විවිධ ස්ථානවල ගත කිරීමෙන් පසුව Wainuiomata ප්‍රදේශයේ පිහිටි භාවනායෝගී සංඝයාවහන්සේලාගේ වාසය ට මෙන්ම ගිහි පින්වතුන් සදහා පවත්වන භාවනා වැඩසටහන් ආදිය ට සෑම අතින්ම ගැළපෙන ක්ෂේම භූමියක් බදු, වන අරණක පිහිටි නිවාසයක් ශ්‍රී ලාංකීය බෞද්ධ මධ්‍යස්ථානය පිහිටවීම සඳහා සොයා ගැනීමට අපට හැකි විය. අති විශාල වනාන්තරයකට යාබදව ඉතාමත් රමණීයවූ කදුකර බිමක පිහිටි මෙම භූමිභාගය එහි පැමිණෙන සියලු දෙනාගේ සිත් ඇද ගැනීමට සමත් විය. මෙම කාර්යයේ දී තමන් වහන්සේ මුලින් වැඩසිටි බෝධිඥානරාම ජාත්‍යන්තර භාව මධ්‍යස්ථානයෙහි ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයද ලබා ගැනීමට උන්වහන්සේට හැකි විය.

මෙයින් ටික දිනකට පසු, වසර 2013 මාර්තු මස විසි පස්වැනි දින අංක 115A Cost Road, Wainuiomata, නමැති ලිපිනයෙහි පිහිටි මෙම තපෝ වනයෙහි ධම්ම ගවේසි භාවනා මධ්‍යස්ථානය ගරුතර සංඝයා වහන්සේලාගේ පිරිත් සජ්ජායනය මැද සිව්දෙසින් වඩින මහා සංඝරත්නය උදෙසා සාංඝික කොට පූජා කරන ලදී. මෙම අවස්ථාව සියසින් දැක ගැනීමටත්, එයට සහභාගිවීමටත් ලැබීම අප සියලු දෙනාගේම ජීවිතවල දක්නට ලැබුණු ඉතාමත් භාග්‍යවත් අවස්ථාවක් බව ඉඳුරාම සඳහන් කළ යුතුය. එය වචනයෙ පරිසමාප්ත අර්ථයෙන් ම ආශ්චර්යජනක පුණ්‍ය මොහොතක් විය.

ප්‍රධාන මාර්ගයෙන් භාවනා මධ්‍යස්ථානයට පිවිස, තුරු ලතා වල සෙවණ යටින් ක්‍රමයෙන් කදු බැවුම් දිගේ ඉහලට එනවිට සිත් සතන් නිවීගොස් ශ්‍රද්ධාවෙන් පිරි යන ආකාරය විශ්මයජනකය. මෙම රමණීය සෙනසුන එදා සිට පියවරෙන් පියවර ඉදිරියට යමින් බෞද්ධ භාවනා මධ්‍යස්ථානයකට අවශ්‍ය අංගෝපාංග එකිනෙක සපුරා ගනිමින්, එහි පැමිණෙන සෑම දෙනා වෙතම සදහම් සිසිල පතුරවමින් දියුණුව කරා යමින් පවතී.

ප්‍රධාන පිවිසුම් මාර්ගය පුළුල් කොට සකස් කිරීම, සේනාසනය තුළ ඇවිදින මංතීරු සහ පඩිපෙළවල් සකස් කිරීම , භාවනානුයෝගී ස්වාමින් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා අමතර කුටි කිහිපයක් ඉදිකිරීම, ඉතාමත් අලංකාර බෝධි මළුවක් සහ එය වටා අටවිසි බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් බුදුපිළිම විසි අටක් සහිත පිළිමගෙයක් ඉදිකිරීම ආදී විශාල කටයුතු සංඛ්‍යාවක් මේ වනවිට නිමකොට ඇත. මෙම කටයුතු සාර්ථක කරගැනීමට සේනාසනාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ අනිකුත් ස්වාමින් වහන්සේලාගේත්, මෙම ස්ථානය වටා එක් රොක් වී සිටින සියලුම සැදැහැවත් දායක දායිකාවන්ගේත් කාලය, ශ්‍රමය සහ ධනය නොමසුරුව යෙදවී ඇත.

ධම්ම ගවේසි භාවනා මධ්‍යස්ථානයට තවමත් විශාල අඩුවක් වශයෙන් පවතින්නේ බැතිමතුන්ගේ ශීල ව්‍යාපාර සහ භාවනා වැඩමුළු ආදිය සඳහා ගැලපෙන අයුරින් පාවිච්චි කළහැකි ශාලාවකි. මේ සඳහා අවශ්‍ය මූලික පියවරයන් දැනටමත් සකස් කර ගෙන යන අතර ඒ වෙනුවෙන් $600,000.00 පමණ මුදලක් වැයවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. ඔබ සියලු දෙනා සැදැහැබර සිතින් මේ දක්වා අප වෙත ලබා දුන් සහයෝගය අතිශයින්ම අගය කරන අතර මෙම අත්‍යවශ්‍ය ගොඩනැගිල්ල ඉදි කර ගැනීම සඳහා ද දායක වනලෙස ඉතාමත් ඕනෑකමින් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.

එමෙන්ම ඔබගේ ඥාති හිතමිත්‍රාදීන් වෙලින්ටන් නගරයට එන්නේ නම් ඔවුන් සමග ධම්ම ගවේසි භාවනා මධ්‍යස්ථානයට පැමිණ මෙහිඇති සදහම් සිසිලසින් පිරුණු සෞන්දර්යාත්මක ස්වභාවය ඔවුන්ට අත්විඳීමට අවස්ථාවක් සලසා දෙනමෙන් ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිමු. ඔබ සැම දෙනාටම නිරෝගී සම්පත්තියත්, නිසියාකාරව බොදු පිළිවෙත් පිළිපැදීමෙන් ලැබෙන්නාවූ නිර්වාණ සම්පත්තියත් සාක්ෂාත් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.

දයා දයාතිලක
විහාරස්ථ දායක සභාව වෙනුවෙන්
ධම්ම ගවේසි භාවනා මධ්‍යස්ථානය – වෙලින්ටන් නගරය

Written by Daya Dayathilaka
On behalf of Viharastha Donor Council
Dhamma Gavesi Meditation Centre (DGMC) – Wellington

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.