fbpx
9.6 C
New Zealand
Saturday, May 4, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ජපානයේ කමකුරා දේශයේ යශෝරාවය | ආචාර්ය ගාමිණී කාරියවසම්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ලකට  පෙර, අපව  ටෝකියෝවේ සිට කවාසකි යොකොහොමා නගර   පසු කරමින් විදුලි දුම්රියෙන් ජපානයේ කමකුරා ඉපැරණි නගරය  වෙත ළඟාවීමේ අවස්ථාවක් උදාවිය‍‍. මෙම ලිපිය, එහිදී අප සියැසින් දුටු කමකුරාවේ අති ආකර්ෂණීය ඉසව් කිහිපයක් පිළිබඳව පාඨක මනසෙහි කිසියම්  සිත්තමක්  නිමැවුම සඳහා ගත් ප්‍රයත්නයක පිළිබිඹුවකි. මෙමගින්, ලෝක ප්‍රකට කමකුරාවේ බුදු පිළිම වහන්සේ සහ ඒ ආශ්‍රිත වැදගත් ස්ථානයන්හි  අසිරිය ශ්‍රී ලාංකික පාඨක පිරිසට මනසින් ස්පර්ශ කිරීමට අවස්ථාවක් සැලසෙනු නියතයි. කමකුරාව හා සබැඳි ඓතිහාසික,අප්‍රකට තොරතුරු, පැහැදිලි කරමින් ජපන් ජාතික විද්වතෙකු අපේ සංචාරයට  එක් වීම, අපට සුවිසල් අනුබලයක් වූවා සේ හැ‌ඟේ. හේ ජපානයේ ශුකෝතොකු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තත්සුරු අකිමෝටෝ මහතාය.

ජපන් ඉතිහාසයේ කමකුරා යුගයට සුවිශේෂි ස්ථානයක් හිමිවේ. මිනාමෝටෝ යොරිටෝමෝ සමුරායිවරයා සිය පාලන කේන්ද්‍රස්ථානය කර ගත්තේ කමකුරා නගරයයි.

ජපන් මුහුදු තීරය ආශ්‍රිතව විහිදි කඳුපෙළට ඔබ්බෙන් වූ රමණීය නිම්නයක කමකුරා ඉපැරණි නගරය පිහිටියේය. කඳුයායෙන් මතුවූ, නගරය මැදිකර පැතිරුණු වනපෙත නගරයේ ප්‍රෞඩත්වය සුරකින්නාසේ  දිස්වේ. 

වනපෙත සිප සිහිල් මදනල හමා ගියේ අප විඩාවද පිසගෙනය. ජපන් හා චීන ගෘහ නිර්මාණ ශිල්පය මතු කළ සුවිසල් මකර තොරණ වෙත පියමන් කළ අපි, ලෝක ප්‍රකට කමකුරා පිළිමය ස්ථාපිත චතුරශ්‍රය වෙත සමීප වීමු. දැකුම්කළු කුඩා පොකුණකි. පොකුණු තෙර අත් දෝවනය සඳහා පැන් ලබාගැනීම පිණිස දිගුමිටක් සහිත කෙන්ඩි කිහිපයක් විය. අත් දෝවනය කරගැනීමට අපි යුහුසුළු වීමු. අප දැන් සිටින්නේ කමකුරා කෝතුකු ඉන් විහාරයේ අමිතාභ බුදුන් වහන්සේගේ යෝධ තඹ පිළිමය අබියස ය. 

ජපන් ජාතික මහාචාර්යවරයා අප අමතයි.

කමකුරා බුද්ධ ප්‍රතිමාව

‘මෙහි කලින් දැවයෙන් කළ යෝධ පිළිමයක් තිබුණා. 1243 දී එය ඉදිකරන්නට මුල් වූයේ ඉනාඩා ආර්යාව සහ තෝතොමිනි ජෝකෝ භික්ෂුව. පසු කළක සුනාමි රළ පහරට හසුව පිළිමය සහමුලින්ම විනාශ වුණා.  එම විනාශය ගැන මුළු මහත් ජපන් ජාතියම මහත්  කම්පාවට පත්වුණා. ඔවුන් සෑම ජපන් ජාතිකයකුගෙන්ම යෙන් එකේ තඹ කාසිය බැගින් එකතු කළා. ඒ සියල්ල උණු කරවා ටොන් 121 ක් බර මේ යෝධ පිළිමය ඉදිකළා. ඒ් 1252 අවුරුද්දේ. සෑම ජපන් ජාතිකයෙකුම හෙලු දහඩිය, කැපවීම ඉස්මතු කර දක්වන සංකේතයක් ලෙසයි, ජපන් අප මේ පිළිමය දකින්නේ. 1948 මෙම පෙදෙසෙට බලපෑ නන්කායි භූමිකම්පාවෙන් පිළිමයට විශාල හානියක් සිදුවුණා.පසුව ජපන් ජාතිකයින් හැමදෙනාම එකතුවෙලා දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන ලෙස මෙය ශක්තිමත්ව යළි ගොඩනැගුවා. පිළිමය උස මීටර් 13 ක් විතර වෙනවා…’

කමකුරා පුදබිම ස්ථාපිත හිටපු ජනපති ජේ.ආර්.ජයවර්ධන මැති ස්ථම්භය

ප්‍රතිමාව දකුණු දෙසට ඔබ්බෙන් පිහිටුවා තිබූ ස්මාරකය කෙරෙහි අප විශේෂ අවධානය යොමුවූයේ නිතැතිනි. ස්ථම්භයේ සටහන්ව තිබූ සිංහල වදන් පෙළක් දැකීමෙන් අපි මහත් විමතියට පත්වීමු. ජපානයේ බැලූ බැලූ අත ජපන් බස මිස, අඩුම තරමින් ඉංග්‍රීසියෙන් ලියැවුනු නාම පුවරුවක් හෝ දකින්නට නොලැබේ. සිංහල අකුරු සමරු ටැඹ වෙත අප සමීප වූයේ මහත් කුහුල් සිතිනි. 

ප්‍රදර්ශිත: ‘වෛරය, වෛරයෙන් නොව මෛත්‍රියෙන් සංසිංඳ්.’

එහි කෙටුම් පත්ව තිබූ තත් සටහන අප කියවූයේ මහත්  ‌උද්යෝගයකිනි. ස්මාරකය ඉහළ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙක්වූ ජේ.ආර්. ජයවර්ධන මැතිඳුන් ගේ මුහුණේ පිළිබිඹුව කැටයම් කර තිබිණි. ස්මාරකය පාදමේ ජේ. ආර්. ජයවර්ධන මැතිඳුන්ගේ අත්සන දිස්විය. මෙවන් සිහිවටනයක් කමකුරා වේ ස්ථාපිත කිරීමට හේතු, අප ජපන් මහාචාර්යතුමාගෙන් විමසීමි.

 ‘ඔබලාගේ රට පිළිබඳව ජපන් ජාතිකයින් තුළ පවතින්නේ අප්‍රමාණ භක්තියක්, අසීමිත ආදරයක්, දෙවන ‌ලෝක යුද්ධයේ දී ඇමරිකාව අපේ හිරෝෂිමාවට පරමාණු බෝම්බ දමා විශාල විනාශයක් කළා. ඇමරිකාව හා ජපානය අතර දැඩි වෛරයක් පැවතුණා. 1952 දී ඇමරිකාව සැන්ප්‍රැස්සිකෝ නගරයේ ජාත්‍යන්තර සමුළුවක් සංවිධානය කරලා, ජපානයට විවිධ ආර්ථික තහංචි සම්බාධක පැණවීමේ දැඩි උත්සාහයක යෙදුනා. ඒ අවස්ථාවේ සමුළුවට සහභාගි වූ සෙසු රටවල් නිහඬව සිටියදී ඔබලා ගේ ර‌ටේ ජේ.ආර්.ජයවර්ධන මහත්තයා තමයි මේ යෝජනාව පරද්දවන්න මුල්වෙලා කටයුතු කළේ. එතුමා සමුළුවේ කථාව අවසාන කළේ නහී වේරේන වේරානි …වෛරය වෛරයෙන් නොසන්සිදේ, අවෛරයෙන් ම වෛරය සංසි ඳේ.  කියන බුදුවදන සිහිපත් කරදෙමින්…’

මහාචාර්යතුමා වැඩිදුරටත් අපට කරුණු පැහැදිලි කරමින්, ‘ජපන් ජාතිකයන්ට පමණක් ‌නොවෙයි, බොහෝ රටවලින් නිරතුරු කමකුරා නැරඹීමට එන විශාල පිරිසකට, ජපානය ශ්‍රී ලංකාවට දක්වන ප්‍රණාමය මෙමගින් ප්‍රකට වෙනවා…’

රෝස උද්‍යානයේ පිහිටි ලේඛක කෞතුකාගාරය

අනතුරුව අපි කමතුරාවේ පිහිටි ජපන් ලේඛක  කෞතුකාගාරය නැරඹීමට ගියෙමු. රම්‍ය වූ කුඩා කඳු බෑවුමේ මෙම පුස්තකාල ගොඩනැගිල්ල පිහිටියේය. ඒ් වෙත ළඟාවීම සඳහා රන්වන් සුපිෂ්පිත මලින් සැදි රෝස උද්‍යානයක් හරහා අපි ගමන් ක‌ළෙමු. නිරතුරු සංචාරක ආකර්ශනයට බඳුන් වන මෙම රෝස උයනේ සෑම වසරකම ජුනි මාසයේ ‘හොෂිසකියෝ ‘ නමින් සාම්ප්‍රධායික, වර්ණවත් රෝස සැණකෙළියක් පැවැත්වෙන බව අපට දැනගන්නට ලැබිණි. දැකුම්කළු රෝස මල් යායේ සෞන්දර්ය උකහා ගෙන, ඉමිහිරි මල් සුගන්ධයේ වින්දනය ලබමින්, කමකුරා ලේඛක පුස්තකාලය වෙත අප පිවිසියේ ප්‍රබෝධමත් සතුටක් සිතින් දරාගෙනය.

‌‌‌‌ඓතිහාසික කමකුරාවේ ජීවත් වන, ජීවත්ව මියැදුණු ලේඛක පරපුරේ සියලු වතගොත අනාගත පරපුර වෙනුවෙන් මෙම  පුස්තකාලය තුළ ක්‍රමානුකූලව ප්‍රදර්ශනයට තබා තිබිණි.

1192 – 1333 දක්වා වූ කමකුරා පාලන යුගයේ ජපන් සාහිත්‍යය ඔපවත් කළ ලේඛකයන් රාශියකගේ ජීවන තොරතුරු, ඔවුනගේ නිර්මාණ, ඔවුන් පරිහරණය කළ පන්හිඳ, ඔවුන් ලොව දුටු උපැස් යුවළ, අත්අකුරු, ප්‍රකට කෘතිවල මුල්පිටපත්, ඔවුන් ගේ ජීවිතයේ විවිධ අමරණීය අවස්ථා දැක්වෙන ඡායාරූප ආදී නරඹන්නන් සිත්හි ලේඛණ දිවි පෙවෙත සජීවිමත් කරවන සුළු වූ ප්‍රදර්ශන භාණ්ඩ රාශියක් එහිදී අපි දුටුවෙමු.

යුධ සමයේ ජපන් ජාතියේ සන්තාන ගත වූ භය, සංකාව, ඔවුන් ගත කළ කටුක ඛේදනීය දිවිපෙවෙත් පසුබිම් කරගෙන නිර්මාණකරණයේ යෙදුණු යොෂිවා කෙන්කො ජපන් ලේඛකයා පිළබඳව වූ, ඔහුගේ උණුසුම රැඳු‌ණු ප්‍රදර්ශන භාණ්ඩ, මුලින්ම අපගේ විමසුමට යොමුවිය. මෙහි ප්‍රදර්ශිත සුප්‍රකට ජපන් කවියෙකු වූ කමෝ වෝමෙයිගේ ‘මුමයිඔෂො’ – නමක් නොමැති සටහනක් – කෘතිය සම්ප්‍රදායික ජපන් කාව්‍යයේ ලාලිත්වය හා සුවිශේෂීතා හඳුනා ගැනීමට බෙහෙවින්ම ඉවහල් වන කෘතියක් සේ සැලකේ.

1968 නොබෙල් ත්‍යාගලාභී ප්‍රථම ජපන් ජාතික ලේඛකයා ලෙස සැලකෙන කවබතා යසුනරී ජීවත්වූයේ ද කමකුරා ප්‍රාන්තයේය. මෙම ‌ලේඛක කෞතුකාගාරයෙහි වැඩි ඉඩ ප්‍රමාණයක් ඔහුගේ කෘති හා ඔහුගේ දිවිපෙවතේ අනුස්මරණීය අවස්ථා විදහා දැක්වීමට වෙන්කර තිබිණි. කවබතා සිය නිර්මාණකරණයේ දී භාවිතා කළ විවිධ භාණ්ඩ සහ  ඔහු පෑන් තුඩින් කළ විස්කම් අපි සියැසින් දුටිමු. ඔහුගේ ප්‍රථම කෘතිය සාහිත්‍ය වංශයට දායාද කෙරෙන්නේ 1926 වසරේදී ය. ඒ ‘ඉසුනෝ ඔදාරිකෝ’ (කුඩා ඉසි  නලඟන) නම් කෘතියයි. කවබතා විසින් නිර්මාණය කරන ලද ‘යුකුගනි  ‘(හිම දේශය) ‘යමාකෝ ඔ‌තෝ ‘(කඳුකරයේ දෝංකාරය ) ‘මිසුමි’ (විල) වන් ප්‍රකට කෘතිවල සියලුම අත් පිටපත් කෞතුකාගාරයේ ප්‍රමුඛ ස්ථානයක ප්‍රදර්ශනය පිණිස ස්ථාන ගත කර තිබෙනු දක්නට ලැබිනි.

කවබතාගේ මුළු දිවියම පෙළු හුදකලා බව, පාළුව, කාන්සිය ඔහුගේ කෘති තුළින් නිරන්තරයෙන්ම ඉස්මතු වන බව, ඒවා පරිශීලනයේ දී පසක් වේ.

 ප්‍රේමයේ යථාර්තය හා සෞන්දර්ය පිළිබඳව කවබතා තුළ පැවති පුළුල් දැනුම් සම්භාරය, හැඟුම් සමුදාය ඔහුගේ කෘති තුළින් නොමදව උද්වහන‌ය වේ. ඔහුගේ මුළු දිවියම ගලාගියේ ශෝක ගංඟාවක් විලසිනි.

‘අපට දෙවියන් දැකගත නොහැක්කේ, දෙවියන් සැමතැනකම සිටින නිසා, යැයි වරක් කවබතා පැවසීය.

1972 වර්ෂයේ දී ඔහු සිය සියලු දුක්ඛ දෝමනස්සයන් වා තලයට මුදාහැරීමේ අදිටන පෙරදැරි කරගෙන සියදිවි හානි කරගැනීමට පෙළඹිනි.

කමකුරා දේශයේ ජීවත් වූ, ජීවත් වන ලේඛක පරපුරේ වෘත්තාන්ත මතු  පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීමේ මෙහෙවරක නිමග්න මෙම ලේඛක කෞතුකාගාරය අප රට ඇතුළු වෙනත් රටවලට ද  ආදර්ශයක් කරගත හැකිනම් අගනේය.

කමකුරාවේ නැරඹිය යුතුම ස්ථාන අතර පංච මූල පද්ධතිය ද අතිශයින් වැදගත් ය.

ඒ  අතරින් අපට කෙන්වියෝ ආරාමයට ද මොහොතකට ගොඩවන්නට අවස්ථාව සැලසිනි.

අප කෙන්වියෝ ආරාමයට පිවිසෙන අවස්ථාවේ, එහි සම්ප්‍රදායික තේ පැන් සාදයක් මුළුදෙමින් පැවතිණ. ජපන් දේශයේ අතිශයින් ප්‍රචලිත සම්ප්‍රදායික තේ පැන් සාදය හෙවත් තේ පැන් කලාව පිළිබඳව පාඨක ඔබ කොතෙකුත් අසා ඇතුවාට සැක නැත.

එම මනබන්ධනීය විචිත්‍රවත් අවස්ථාව සියැසින් වින්දනය වත්ම, අප සිත් සතන් වදනින් පැහැදිලි කළ නොහැකි ඉතා සියුම් චමත්කාරයකට පත් වූ අයුරු දැනුදු අපට සිහිපත් වේ.  පන්සල් ගෘහයෙහි කෙළවරක ඉතා මිටි මේසයක් මත ජලය උණුවෙමින් පැවති සුවිශේෂී භාජනයකි. ඒ ආශ්‍රිත කොළ පැහැ තේ කුඩු දැමූ බඳුනක්, ‌තේ මිශ්‍ර කිරීමට දැල් සහිත හැන්දක් සහ සැකසූ තේ පිළිගැන්වීම පිණිස හිස් බඳුන් කිහිපයක් ද අප නෙත් ගැටිනි. වර්ණවත් සම්ප්‍රදායික කිමෝනාවකින් සැරසී සිටි අති සුන්දර ජපන් යුවතියක් ඉතාමත් සීරුවට තේ පැන් සාදයේ චාරිත්‍ර ඉටු කිරීමෙහි නියැලී සිටියාය. ඇය ඉදිරියේ විවිධ වර්ණවත් විලාසිතා විසිරී කිමෝනාවෙන් සැරසුනු ජපන් කතුන් දස දෙනෙක් පමණ තේ බඳුනක් තමන් වෙත පිරිනැමෙන තෙක් මහත් උපේක්ෂාවෙන් දෑස් දල්වා ගෙන සිටියහ.  ජපන් සංස්කෘතියේ ප්‍රමුඛ චාරිත්‍රයක් වූ තේ පැන් සාදය පිළිබඳ වැඩිදුර ‌තොරතුරු අප සමග සිටි තත්සුරු  ජපන් මහාචාර්යතුමා අපට පැහැදිලි කළේ මහත් අභිරුචියකනි.

සම්ප්‍රදායික තේ සාදය

ජපන් තේ පැන් සාදය ජපන් බසින් හැඳින්වෙන්නේ ‘සදෝ ‘ යන නාමයෙනි. තේ පැන් සාදයේ තේ පිළියෙල කිරීමේ සිට තේ පැන් පිරිනැමීමේ හා පානය කිරීමේ අවස්ථාව දක්වා ආකර්ෂණීය පිළිවෙත් සමුදායක් අනුගමනය කෙරේ. තේ සාදයේදී යොදා ගැනෙන්නේ ‘මච්චා’ නමින් හැඳින්වෙන ලා කොළ පැහැති තේ කොළ විශේෂයකි. තේ පැන් සාදයක් පැවැත්වීම, ඒ පිළිබඳව පුහුණුව, ඒ පිළිබඳව දැනුමැති ප්‍රවීන ගුරුවරයකුගේ අධීක්ෂණය යටතේ ප්‍රගුණ කළ යුතුවේ.

සාදයේ දී ජපන් කතුන් අඳින කිමෝනාවේ ස්වරූපයෙන් ඔවුහු, විවාහකද අවිවාහකද යන්න නිගමනය කළ හැකි බව ජපන් මහාචාර්ය තත්සුරු මහතා අප සමග පැවසීය. විවාහක කාන්තාවන් ‘කොමෙසොදෙ ‘යනුවෙන් හඳුන්වන කිමෝනා විශේෂයෙන් සැරසෙත්. එම කිමෝනාවේ අත කොටස කෙටි වේ. කිමෝනාවේ විනීතවත් බව සුරකිමින්, අත කොටස දිගු ‘පුරිසොදෙ ‘ නම්වූ  සම්ප්‍රදායික ඇඳුමෙන් සැරසී සිටී නම් ඇය අවිවාහක යුවතියක් සේ සැලකේ.

තොරතුරු සපයා ගැනීමේ දී සහය ලබා දුන්  හා කමතුරා සංචාරය සංවිධානය කළ ආචාර්ය අනුරාධ වික්‍රමසිංහයන් සහ උදය සෙනෙවිරත්න හිටපු ජනාධිපති ලේකම් තුමන්  මෙහිදී කෘතවේදිත්වයෙන් සිහි පත් කෙරේ.               

 By Dr. Gamini Kariyawasam

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.