‘ඔබ නැති හිඩැස කවදා කෙලෙසක පිරවේද, විද්වතාණෙනි…’
මහැදුරු කාලෝ ෆොන්සේකා මෙලොවින් සමුගෙන ඇති පුවත මා ඇස ගැසුනේ දෙදහස් දහනවයේ සැප්තැම්බර මස තුන් වෙනිදාය. ඒ එතුමන් මිය ගිය දිනට පසු දිනයේය. මේ සටහන ලිවීම ඇරඹුවේ එදිනමය. නමුත් එහි අවසානය දුටුවේ මේ ළඟකදීය. මේ ඔහු ගැන මගේ මතකයයි.
මා දන්නා ෆොන්සේකලා සත් දෙනෙකි. නම්වලින් ඔව්හු ගාමිණී, මාලනී, කාලෝ, සරත්, සමනලී , සී. ඩී. සහ අනුර වෙති. ඉන් අනුර මගේ පාසල් මිතුරෙකි. ඔහු හැර අනෙකුත් පිරිස රටම දන්නෝ වෙති. කාලෝ ෆොන්සේකා හැර අනෙක් ෆොන්සේකලා මා සජීවීව දැක නැත. ඔවුන් සියලුදෙනා මා දැක ඇත්තේ තිරයකය. මහතිරයක හෝ පුංචි තිරයකය, නැතහොත් පත්තරයකය. ප්‍රසිද්ධ ෆොන්සේකලා අතරින් මට අංක එක වන්නේ කාලෝ ෆොන්සේකාය. මක්නිසාදයත්, මිථ්‍යාවේ කළු වළා කඩා හැර විද්‍යාවේ නව රේඛා උදාකරන්නට ඔහු ගත් අපමණය වෙහෙස නිසාය.
කාලෝ ෆොන්සේකාව මා ප්‍රථමයෙන් දුටුවේ සජීවීවය. ඒ අපේ ගමේ පන්සලේදීය. මගේ මතකයේ හැටියට 1985 හෝ 86 වර්ෂයේදීය. දශක තුනකටත් වැඩි කාලයකට පෙර ය. ගමෙහි අතලොස්සක් පමණ ‘සමසමාජ‘ කාරයෝ වූහ. ඇත්තෙන්ම එය සමසමාජයකි. මගේ ඥාති, සිවිල් සේවකයෙකු වූ වික්ටර් සීයා ද බයිසිකලයක මාළු පෙට්ටියක් බැඳ මාළු විකුණන නිලවීර ද එහි සාමාජිකයෝ ය. පිරිස් බලය අඩු වුවද ඔවුන් සතුව ප්‍රබල හඬක් විය. සිවිල් සේවක වික්ටර් සීයාට, සහ ගුරු වෘතියේ නියැලුණු බී. එස්. අන්කල් වැනි සාමාජිකයන්ට කවුරුත් ගරු කළහ. පක්ෂ පාට භේදයකින් තොරව මංගල, අවමංගල සහ අනෙකුත් සභාවල මුලාසනය, ලේකම් වැනි නිලතල දැරුවෝ ඔවුහුය. එදවස මාළු වෙළෙන්දෝ මාළු පෙට්ටිය බැඳි බයිසිකලය හැල්මේ පදිමින් ගමේ වාතලය සිසාරා යන පරිදි විවිධ වූ උච්චාරණයෙන් ‘මාළු‘ යන වචනය හඬගා කීවෝය. මේ අංශයෙන් බලන කල සමසමාජ සංගමයේ තීව්‍රම හඬ හිමිවූයේ නිලවීරට ය.
ප්‍රසිද්ධ දේශනයක් සඳහා දොස්තර කාලෝ ෆොන්සේකා ගමට පැමිණෙන බව හාෆ් ශීට්වල අතින් ලියන ලද දැන්වීම් තැන තැන අලවා තිබුණි.”කාලෝ ෆොන්සේකා එනවලු නේද?“, ” අනිද්ද ලු නේද? කාලෝ ෆොන්සේකා එන්නේ“, “කාලෝ ෆොන්සේකාගේ කතාව අහන්න යනවද?“, යනුවෙන් හා හූ කඩපිලේ, උණ පඳුරේ ළිඳ ළඟ, මගතොට දී මුහුණට මුහුණ හමුවන පිරිස් අතර, පැතිරෙන්නට විය. ගමේ සමසමාජ පිරිසට අයත් වූ ගණන හත් අට දෙනෙකි. ඊට සමාන ගණනකින් යුතු කොලු නඩයක් අපට සිටියහ. කොලු නඩයේ මහ අය සියලු දේශපාලන පක්ෂවලට අයත් වුහ. එබැවින් කොලු නඩය මහවුන්ගේ දේශපාලනය අනුගතවන දේශපාලන අංකුර වූ කලවමක් විය. යු ඇන් පී උන් කොළ පැහැයෙන් ද ශ්‍රි ලංකා උන් නිල් පැහැයෙන් ද සමසමාජ උන් රතු පැහැයෙන් ද නැහැවෙමින් සිටින බව පෙනුණි. (මගේ මතකයේ හැටියට ජේ වී පී උන් සිටියේ නැත ).
කාලෝ ෆොන්සේකා කොලු සමාජයේ ද කතාබහට ලක්විය. “අනිද්දා පන්සලට යනවද?”, “අපිත් යමු බලන්න,” “මට නම් යන්න වෙනවා, ගෙදර ඔක්කොම යනවනේ. අනික අපේ තාත්තා තමයි කළුතරට යන්නේ එයාව එක්කගෙන එන්න,” “අපේ විට්ටර් සීයාගේ කාරෙකේ තමයි යන්නේ,” ” හැබැයි අපේ සීයා නම් යන් නෑ කිව්වා,” කොල්ලෝ එලෙස කතා වුහ. කාලෝ ෆොන්සේකා සුදු ද? කළු ද ? උස ද? මහත ද? හෝ ඔහු කවරෙකු ද යන වග මා ද ඇතුළු කොල්ලෝ නොදැන සිටි අතර අපට එසේ දැනගැනීමට උවමනාවක් ද නොවීය. මා සිතුවේ ඔහු එවකට අගමැති රණසිංහ ප්‍රේමදාස වැනි කෙනෙකු කියාය. මෙම සිද්ධියට අවරුදු හතරකට පමණ පෙර ගමේ පාසැල විවෘත කරන්නට ඔහු පැමිණියේ හමුදා ආචාර පෙළපාලියක් සහ විවිධ නැටුම් කණ්ඩායම් පෙරටු කර ගත් විවෘත ජීප් රථයකිනි. එවැනි හෝ ඊට මදක් අඩු වූ රජ දැක්මක් අපි බලාපොරොත්තු වුවෙමු. කෙසේ නමුදු කාලෝ ෆොන්සේකා පැමිණෙන දින කොලු නඩය කල් ඇතුවම පන්සලට ගියේ දේශනය ඇසීමට ඇති උනන්දුවට නොව පැයක් පමණ හොරා පොලිස් ඔට්ටු සෙල්ලම් කිරීමටය.
සෙල්ලම ජයට යන අතර තුර දී ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ප්‍රථම ආරාධනය ලැබුනේ කොලු නඩයටය. ඒ වහාම පැමිණ ධර්ම ශාලාවේ අසුන් ගන්නා ලෙසටයි. ආරාධනය පිළිගත් කොල්ලන් කෙලින්ම ගියේ පන්සලේ බණ මඩුවට නොව ළිඳ වෙතය. ළිඳෙන් වතුර ඇද බී පිපාසය නිවාගත් ඔවුන් බණ මඩුවට ඇතුළු වූ අතර නිලවීර මයික්‍රෆෝනය අතට ගෙන මාළු විකුණනවට වඩා අතිශය වැදගත් බැරෑරුම් භූමිකාවක් කරමින් සිටිනු දුටු මා ඇතුළු කොලු රැළ මුහුණට මුහුණ බලා ගතිමු. ඔහුට විදුහල්පති වරයෙකුගේ බලතල එතන ඇති බව අපි සැක කළෙමු. එබැවින් නිලවීරගේ පළමු විධානයට අපි අකමැත්තෙන් වුවද අවනත වීමු. ‘සමසමාජකාර‘ මාළු වෙළෙන්දා තම බලය ගමේ ප්‍රභූ පවුල්වල ළමා තලය වෙත පැතිරුවේය. කාලෝ ෆොන්සේකා නොව මා ඕ සේතුං පැමිණිය ද මේ ඔහුට බලය පැතිර වීමට හැකි සහ ලැබෙන එකම තලයයි, අවසන් හෝරා කීපයයි. මයික්‍රෆෝනය පසෙකින් තැබූ ඔහු අපට නිශ්ශබ්දව හිදගෙන සිටීමේ වැදගත්කම පැහැදිලි කරදෙන්නට වුයේ ඔහුට අද විදුහල්පති බලතල ලැබී ඇති බව අපට තව දුරටත් පසක් කරමිනි.
අපට පසුපසින් වම්පස තබා තිබුණු බංකුවල බාල, මහලු, කාන්තා පාර්ශවය ද දකුණුපසින් තිබුණු බංකුවල වැඩිහිටි පිරිමි පාර්ශවය ද හිඳ සිටි අතර තරුණ සහ මැදිවියේ පිරිස් බණ මඩුවේ කොට බිත්තිවලට හේත්තුවී සිටියේ කාලෝ ෆොන්සේකා පැමිණෙන තුරුය. ‘අන්න එනවා නේද…” පිරිමි පිරිස යුහුසුළුව තම ස්ථාන කරා පැමිණි අතර වික්ටර් සීයාගේ කාරය පසුපසින් සුදුපැහැති කාරයක් පැමිණියේය. මා උනන්දුවෙන් කාරය දෙස බලා සිටියේ ඒ ජනප්‍රිය මිනිසාව දැක ගැනීමටය. රියදුරු අසුනින් බැසගත් උස මහත පුද්ගලයා ද පසුපස අසුනේ සිටි පුද්ගලයෙකු ද බණ මඩුවට පිවිසුණු අතර සුදු පැහැති සෆාරි ඇදුමකින් සැරසුණු ශරීර ප්‍රමාණයෙන් කුඩා එහෙත් පැහැපත් මිනිසා පිරිස ඉදිරියේ තිබුණු හොදම පුටුවේ හිදගත් අතර සමසමාජකාරයෝ ඔහු වටා රොක්වන්නට වූහ. මා එතෙක් සිතා සිටියේ කාරය පදවාගෙන ආවේ කාලෝ ෆොන්සේකා කියාය. වඩා වැදගත් පුද්ගලයන් යන්නේ කාරයේ පසුපස බව දේශනය අවසන ගෙදර ගොස් විමසූ මගේ පළමු පැනයට ලැබුණු පිළිතුර විය. මා එතෙක් සිතා සිටියේ වාහනය පදවන්නේ වැදගත්ම පුද්ගලයා කියාය. මගේ සිතට නැගුනු දෙවන පැනයට ලැබුණු පිළිතුර මම එදින අනුමත නොකළෙමි. ඒ පිළිතුර වැරදි හෝ එසේ නොවිය යුතු බව මම ඉන්පසු ද බොහෝ කලක් යනතුරු විශ්වාස කළෙමි. ඒ දැවෙන ප්‍රශ්නය මගේ සිතට ඇතුළු වුයේ, “සමසමාජකාර” වුයේ නමුදු “මාළුකාර” නිලවීර විසින් කථිකයා හදුන්වාදෙන අවස්ථාවේ, හෝ මගේ මතකයේ හැටියට පිළිගැනීමේ කතාවේදී , “කාලෝ ෆොන්සේකා සහෝදරයා” ලෙස ඇමතීමය. මා සිතුවේ එතනට උචිත “අතිගරු“, “උතුමාණන්” වැනි චනයක් පාවිච්චි කළ යුතුම ය යන්නය. එවකට ජනාධිපති ජේ.ආර් හෝ අගමැති ප්‍රේමදාස වැනි චරිත හැදින්වීමට රුපවාහිනිය, ගුවන් විදුලිය පාවිච්චි කළේ එම වචන ය. වික්ටර් සීයා ඔහුට සහෝදරයා කීවානම් කමක් නැත. ඒ ඔහු කච්චේරියේ ලොක්කෙකු නිසාය. එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ සිටි මගේ බාප්පා කීවේ සමාජවාදීන් කතා කරන්නේ එසේ බවයි.
කාලෝ ෆොන්සේකා කතාව පටන් ගත්තේය. මිට මෙලවූ දකුණතින් වම් අත්ලට තට්ටු කරමින් ද වරෙක දෙඅතම ඔසවමින් ද ඔහු කතා කළේය. මේ බණ මඩුවේ අප පැය ගණන් බණ අසා තිබුණි. නමුත් කාලෝ ෆොන්සේකගේ කතාව තරම් නොතේරෙන කතාවක් අසා නොතිබුණි. කෙසේ නමුදු පැය බාගයක් පමණ යන විට අපට පන්සල් වත්තේ ඈත කෙලවරේ නැවතත් “හොරා පොලිස්” ඔට්ටු සෙල්ලම කිරීමට අවකාශ සැලසී තිබුනේ පූර්ණ වැඩිහිටි ආශීර්වාදයෙනි. සියල්ල අවසානයේදී කාරයේ පසුපස අසුනට නැගුනු කාලෝ ෆොන්සේකා නික්මයනු මම දුටිමි. සමසමාජ පිරිස උද්යෝගයෙන් නික්ම යන්නට ඇත. මට ඒ ගැන මතකයක් නැත.
ඉන්පසු මා ඔහු දුටුවේ ඊට වසර තුනකට පමණ පසු පුංචි තිරයෙනි. ඒ එකල සන්නද්ධ අරගලයක යෙදුනු ව්‍යාපාරයේ නාදුනන තුවක්කුකරුවෙකු විසින් ඝාතනයට ලක්වුණු විජය කුමාරණතුංගයන්ගේ අවමගුල් උළෙලේදීය. එය රූපවාහිනියෙන් සජීවීව විකාශය කරනු ලැබීය. හදවතින් හඬා වැටෙමින් ඔහු මහත් සංවේදී කතාවක් කළේය. ඔහු පැවසු වදන් මගේ මතකයේ නොමැති වුවද ඒ කතාවේ ස්වරය තවමත් මා සිතෙහි රැදී පවතී.
දෙදහස් නවය වසරේ සැප්තැම්බර් මස අටවැනි දිනෙක නැවත කාලෝ ෆොන්සේකා සජීවීව හමුවනතුරු මා ඔහු දුටුවේ රූපවාහිනියෙන් පමණි. ඔහු සමග වූ සම්මුඛ සාකච්ඡා, ඔහුගේ විචාර ආදිය මම මග නොහැරම ඇසුවෙමි. ඔහුගේ ලිපි පුවත්පතින් කියවීමි. ඔහුට මා තුළ ඇති ගෞරවය ඉමහත් වුයේ ශ්‍රී ලංකාවේ භෞත චිකිත්සක උපාධි පාඨමාලා ඇරඹීමත් සමග එම පාඨමාලා කප්පාදු කිරීමට වෛද්‍ය වෘත්තිය සමිති ගත් උත්සාහයේ දී ඔවුනට එරෙහිව නැගී සිටීම හේතුවෙනි. පුවත්පත් ලිපි මගින් ඔහු දෝෂදර්ශනයට ලක්විය. මාධ්‍ය සාකච්ඡාවල දී ඔහුට පහර ගසනු ලැබීය. නමුදු ඔහු අපට ශක්තියක් වෙමින් නොසැලී සිටියේය. දෙදහස් නවය වසරේ කොළඹ විශ්ව විද්‍යාල භෞත චිකිත්සක සිසුන් විසින්, ලෝක භෞත චිකිත්සක දිනය අරමුණුකොටගෙන සංවිධානය කළ වැඩසටහනේ ප්‍රධාන කථිකයා වුයේ ඔහුය. ඔහු කලින්ම පැමිණි අතර එවකට භෞත චිකිත්සක අංශයේ ප්‍රධානියාව සිටි වෛද්‍ය අජිත් මලලසේකර සහ මා අතර තිබුණු පුටුවේ අසුන් ගත්තේය. කුඩා පන්චස්කන්දයකින් යුතු මේ මහා මිනිසා සමග වදනක් හුවමාරුකර ගැනීමට පළමුව මට අවස්ථාව ලැබුනේ එදිනය. ‘වෘතියක් ලෙස භෞත චිකිත්සාව‘ යන මැයෙන් උත්සවයට සතර දෙසින් පැමිණි ගුරු සිසු පිරිස මගේ වෘත්තිය ගැන දැනුවත් කිරීමට මට පැවරී තිබුණු අතර න්‍යාය පත්‍රයට අනුව මහැදුරු කාලෝ ෆොන්සේකා ගේ කතාව යෙදී තිබුණේ මගේ කතාවට පසුවය.
එදින කාලෝ ෆොන්සේකාට මහත් කාර්යබහුල දවසක් බවත් දේශනය අවසන වහාම නික්ම යන බවත් අප අතර පැවති කෙටි පිළිසදරේ දී ඔහු පැවසීය. වහා සංවිධායකයින් කැදවු මම මගේ වෙලාව එතුමන්ට ලබාදෙන ලෙස දැන්වීමි. න්‍යාය පත්‍රයට ඇස යොමුකළ ඔහු, ‘නැහැ, අපි න්‍යාය පත්‍රයට අනුව යමු. මට ඔයාගේ කතාව අහන්න ඕනැ, විනාඩි විස්සනේ ….” කියා කීවේය. එය අවවාදයක් ද අභියෝගයක් ද යන්න මට වටහාගත නොහැකි විය. විනාඩි පහක් පමණ වූ වෛද්‍ය අජිත් මලලසේකරයන්ගේ කතාව අතරතුර කාලෝ ෆොන්සේකා, කොළඹ විශ්ව විද්‍යාලයේ භෞත චිකිත්සක පාඨමාලාව පිළිබද මගෙන් යම් යම් තොරතුරු ලබා ගත්තේය. හෙළබස මැනවින් දත්, මැනවින් හසුරුවන ඔහු ඉදිරියේ හෙළබසින් මගේ වෘත්තිය ගැන දෙසුම දැලි පිහියෙන් පැණි කෑමකි. මගේ කුදු බව පසක් කරගෙන දෙසුම ඇරඹීමි. මා ඉදිරියේ සිටි සිය ගණනක් පිරිස ඉදිරියේ මට පෙනුනේ ඔහු පමණි.
දේශනය අවසන මම මගේ අසුන වෙත ගියෙමි. ඔහු මා දෙස බලා, සිනාසී, ‘හ්ම්ම්…,’ යි කීවේය. එදින පූරක ලෙසින් කටයුතු කළ සිසුවා, මා සැගවීමට තැත් කළ, එදිනට යෙදී තිබුණු මගේ උපන්දිනයට සුබපැතුම් එක් කළේය. කාලෝ මැතිඳු මුව පුරා නැගුනු සිනහවකින් යුතුව මදෙස බලා , ‘හ්ම්ම්, එහෙනම් සුබ උපන් දිනයක්… භෞත චිකිත්සක දිනය දවසෙම…,’යි කීවේය. ඒ සුබපැතුම මම අදටත් මහත් සේ අගයමි. ඉන් පසු පැමිණියේ ඔහුගේ වාරයයි. සුපුරුදු පරිදිම ඔහු සංයමයෙන් යුතුව කතාව ඇරඹීය. කතාවේ ගැඹුර වැඩි වන විට උපහාස පදයකින් එහි ගැඹුර අඩු කළේ සියල්ලන් සිනහ ගස්වමිනි. “මමත් ඔය භෞත චිකිත්සක විද්‍යාලයයේ අනාදිමත් කාලයක ඉඳලා ඉගැන්නුවා නේ….එතකොට සුරංගලා නම් හිටියේ නෑ ….බාල වැඩියි…,” වරෙක ඔහු මදෙස බලමින් කීවේය. එදා ඒ පන්සලේ කතාවේදී මෙන් නොව මුල, මැද, අග කළණ වූ මෙහි ඇති සුගම බැවින් මම ආනන්දයටත් මගේ නම ඒ කතාවේ තැනින් තැන කියවුණු නිසා අමන්දානන්දයටත් පත්ව සිටියෙමි. දේශනය අවසන ඔහු යන්නට නැගිට්ටේය. ඔහු සමග වාහනය වෙත පසුගමන් කරන ලෙස ඇදුරු මලලසේකරයන් මට ඉගියෙන් දැක්වීය. මම ඔහු සමග යන්නට නික්මුණෙමි. ” ආ… ඔයා එනවද මා එක්ක යන්න ….ඕනේ නෑ…තාම හයිය තියෙනවා…! බොහොම හොදයි නේ …කතාව …මමත් සමහර දේවල් දැනගත්තේ අද …,” යි කියමින් ඔහු සිනාසුනේය. විදුලි සෝපානය ළගදී , ” සුරංග දැන් යන්න…මට මේ භුමිය හොදට පුරුදුයි….අපි පස්සේ හමුවෙමු..,.”යි කීවේය. විදුලි සෝපානයේ වැසුණු දොරින් ඔහුගේ රුව මා නෙතින් මග හැරුනේය.
2015 වසරේ අග භාගය වන තුරු නැවත මට ඔහු සජීවීව මුණගැසුනේ නැත. දුටුවා නම් දුටුවේ පුංචි තිරයෙන් පමණි. එයද කිහිපවතාවකි. මන්ද, මා ටෙලිවිෂනය නැරඹුවේ අල්ප වශයෙන් නිසාවෙනි. මගේ දර්ශනපති උපාධි නිබන්දනයේ කොටසක් මම ශ්‍රී ලංකා භෞත වෛද්‍ය සංගමයේ වාර්ෂික සමුළුවට 2015 අගභාගයේ දී ඉදිරිපත් කළෙමි. සමුළුව පැවතියේ එවකට මා සේවය කළ කොළඹ වෛද්‍ය පීඨයේය. රාගම වෛද්‍ය පීඨයට නික්මීමට පෙර මගේ කතා නායකයාගේ තෝතැන්න වේ තිබුණේ කොළඹ වෛද්‍ය පීඨයයි. වඩාත් නිවැරදිව කිවහොත්, භෞතවේද දෙපාර්තමේන්තුවයි. එබැවින් දෝ ඔහු බොහෝ සැහැල්ලුවෙන් ශාලාවේ ඉදිරිපෙළ අසුනක ඉඳ සිටියේය. එදින ඔහුට කතා තිබුණේ නැත. ප්‍රධාන දේශනය පැවැත් වූ මහැදුරු සේනානායකයන් සංගීතය වෛද්‍ය විද්‍යාවේ දී භාවිතය පිළිබද දේශනා කළේය. සැබවින්ම එය දේශනාවකි. කාලෝ මැතිඳු ද එය අසා සිටියා පමණි. සේනානායකයන් ගෙන් බෙහෙත් ගන්නට ගොස් පැමිණි අය මට වඩා ඔහුට හමුවී ඇති බව මට සහතිකය.
දිවා ආහාරයේ දී කාලෝ ෆොන්සේකාට බෝහෝ ඉල්ලුමක් තිබුණේය. සැවොම ඔහු හා වදනක් දොඩන්නට අමතක නොකළ සෙයකි. කා බී ඉවර වුණු පිරිස නැවතත් ශාලාව වෙත නික්මුණු අතර මම ඔහු වෙත ළං වුණෙමි. මා භෞත චිකිත්සක පාඨමාලාවේ කථිකාචාර්යවරයෙකු ලෙස හදුන්වදීමෙන් පසුව ඔහු වඩාත් කුළුපගව මා හා කතාව ඇරඹීය. කෙසේ හෝ මම කතාව සාහිත්‍යයට හරවා ගතිමි. “සර් කැමතිම සින්දුවක් නේද වසන්තයේ මල් පොකුරු නෙලාගෙන,” “ඔව්…කොහොමද දන්නේ?” ඔහුගෙන් පැනයකි. ඒ සින්දුවේ මේ පද පෙළට, ” ඔබ අත වූ මල් එකිනෙක පරවී සුළගේ විසිරෙනු මා දුටුවා….සුළගේ විසිරෙන ඒ මල් අතරේ ඔබගේ රුව මා දුටුවා…” සර් ගේ විවේචනයක් තියෙනවා නේද?” ඔහු මදෙස බැලීය…”මම කොහේදී හරි කියනවා අහගෙන හිටියද?” නැවත පැනයකි. ” නමුත් ඔයා කියන පද පෙළට මගේ විවේචනයක් නැහැ….ඔයා ඒක හරියට කිව්වා….ඔය දෙවැනි පදයේ ‘රුව’ කියන තැනට ‘හද’ කියල යොදනවටයි මම අකමැති…” “අපි යමු නේද..යන ගමන් කතාකරමු.” මගෙන් නැවත පැනයකි.” සර් ලියපු රත්තරන් දුවේ සිංදුවෙන් ජනිතවෙන්නේ දෙමාපිය ආශීර්වාදය මැද වුණු විවාහයක් ද එහෙම නැත්නම් ආශීර්වාදය නැතිව සිදු වුණු විවාහයක් ද?“
“ඒක කැමති විදියට ගන්න පුළුවන්…”
අප දැන් සිටින්නේ වෛද්‍ය පීඨ ගොඩනැගිල්ලෙන් මැද මිදුලට එළබෙන පඩිය ළඟය. ඔහු නැවතුණේය.
“සුරංග,මේ පඩියෙන් බහින්න මට ඔයාගේ උදව් ඕනැ…”
මගේ ප්‍රීතිය නිම්හිම් නැති විය. ඔහුට උදව්වක්, මෙතරම් පුංචි උදව්වකවත් කරන්නට ලැබීම!
මම වහා ඔහුගේ අත අල්ලාගතිමි. “නෑ, මම ඔයාගේ අත අල්ලගන්නම්..මට පුරුදු එහෙමයි.”
ඔහු වැළමිට ළඟින් නැවුණු මගේ බාහුව අල්ලාගෙන ඉතා ප්‍රවේශමෙන් පඩිය බැස්සේය.
“හරි, දැන් මම වයසයි නේ…”
සමුළුව පැවැත්වෙන නවදේශනා ශාලා ගොඩනැගිල්ලට තවත් මීටර විස්සක පමණ දුරක් රථගාල හරහා ඇවිද යා යුතුය. “කමක් නැද්ද මම මෙහෙම ඔයාව අල්ලාගෙන ගියාට,” ඔහු මගෙන් ඇසුවේය. මගේ කැමැත්ත වචනවලට පෙරළීමට මගේ සිතේ නැගුනු සතුට ඉඩ දුන්නේ නැත. මගේ මුවග නැගුනු සිනාව ඔහු සිනාවකින් මා පිළිගෙන මා හා ඇවිද ගියේය. ඒ ලද නිමේෂයේදී මා ඔහුගෙන් ඇසුවේ ගීත ගැනමය. නව දේශනා ශාලාවේ පඩිය නැගුනු පසු ඔහු මගේ අත අත හැර ” බොහොම පිං,” යි කීවේය. “හොඳට සින්දු අහනවා වගේ. අනික හොදට ඒවා මතක තියෙනවා නේ, අපි ටිකක් නිදහස් වෙලාවක කතා කරමු මේ ගැන,” කියා ඔහු ශාලාවට ඇතුළුව ඔහුගේ අසුන වෙත ගොස් ඉඳගත්තේය. ඉදිරිපෙළ සිටි ප්‍රභූ පිරිස වහා ඉදිරිපත් ව ඔහුට ඒ සඳහා උදව් කළෝය. ඉන් අඩ හෝරාවකට පමණ පසුව මගේ පර්යේෂණ ඉදිරිපත් කිරීම ඇරඹුණි.
එය අවසන ඔහු මගෙන් ප්‍රශ්න කිහිපයක් ද ඇසුවේය. ඒ දිනය, ඒ මතකය එතනින් නිමවිය. ඉන්පසු දෙවසරක් පමණ යනතුරු මා ඔහු දුටුවේ රුපවහිනියෙනි නැතහොත් පත්තරයෙනි. කථිකා කරගත් පරිදි ඔහු සමග කතා කිරීමට නිදහස් වෙලාවක් ඉන්පසු කිසි දිනක පැමිණියේ නැත. ඒ අසහාය මිනිසා සමග නැවතත් වදනක් හෝ දෙඩීමට ඉන්පසු මට අවකාශ නොලැබිණ. ඔහු මෙලොව හැර ගොස් ඇති පුවත මගේ කණ වැකුණු විගස මට මතකයට නැගුනේ ඉහත මතකයන්ය. ඔබ නැති හිඩැස කවදා කෙලෙසක පිරවේද, විද්වතාණෙනි, ඔබට නිවන් සුව!
By Dr. Suranga Dasanayake
University of Otago
Dunedin