fbpx
9.2 C
New Zealand
Saturday, May 18, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ශ්‍රී ලංකාවේ ප්‍රගතිය  සඳහා ශ්‍රී ලාංකිකයින් තුළ ස්වයං-පරිවර්තනයක්  අවශ්‍යයි – පාඨක ප්‍රතිචාර 3

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

” මෙම ලිපියට ලැබූ ප්‍රතිචාර කිහිපයක්,  ආචාර්‍යය උල්ලුවිස්හේවා මහතා සාරාංශ කර අප වෙත එවා ඇත. පාඨකයාගේ වඩාත් පහසුව සඳහා ඉතිරි කොටස් ඊළඟ කලාප වල පළ කිරීමට අදහස් කරමින් ප්‍රතිචාර දෙකක් පමණක් මේ සමග ඉදිරිපත් කරමු. ඔබගේ අදහස්ද ඒ මහතා වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටිමු. “

 

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සේවයේ නියුතුව සිට අනතුරුව නවසීලන්තයට සංක්‍රමණය වී එහි විශ්ව විද්‍යාල සේවයේ වසර දහයකට වැඩි කාලයක් සේවයේ නියුක්තව සිටි ශ්‍රී ලාංකික එක් දරු මවක් සිය අත්දැකීම් අප සමග මෙලෙස බෙදාගත්තා.

‘ශ්‍රී ලංකාවේ මා ගත කළ විශ්ව විද්‍යාල වෘත්තීය ජීවිතය සමග සසඳන විට නවසීලන්තයේ විශ්ව විද්‍යාල වෘත්තීය ජීවිතයේ වඩා තෘප්තිමත් වූවක්. වඩා හොඳින් තම සේවය කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සේවයේ මෙන් මෙහි පන්ති භේදය දැනෙන්නේ නැහැ. මහාචාර්යවරුන් අනෙක් ආචාර්යවරු සහ සේවකයින් එකම සමාජයක සාමාජිකයන් මෙන් වැඩ කරනවා. මහාචාර්යවරුන්ටත් ආමන්ත්‍රණය කරන්නේ ඔවුන්ගේ මුල් නමින්. ඔවුන් අන් අය සමඟ ඉතා සුහදව කටයුතු කරනවා. මෙවැනි තත්ත්වයක් මම ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල දැකලා නැහැ. එහි දැඩි පංති භේදයක් පවතිනවා. ඒ නිසාම සේවයක කරන්නේ දැඩි  මානසික පීඩනයකින්. මා දන්නා හැටියට ශ්‍රී ලංකාවේ බොහෝ ආයතනවල මෙබඳු තත්ත්වයක් පවතිනවා. එය ශ්‍රී ලංකාවේ ප්‍රගතියට බාධාවක්  හැටියට මා  දකිනවා.

මෙහි සෑම වසරකම ප්‍රගති සමාලෝචනයක් කරනවා. පසුගිය වසරේ ඉලක්ක කොතෙක් දුරට සපුරා ගනු ලැබුවේද? එසේ නොවූයේ නම් ඒවාට හේතු කවරේද? නව වසරේ සපුරා ගැනීමට  බලාපොරොත්තු වන ඉලක්ක කවරේද? ආදී කරුණු ආයතන ප්‍රධානියා සමඟ පෞද්ගලිකව  සාකච්ඡා කරනවා. මේ මෙය ඉතාම සුහද සාකච්ඡාවක්. ආයතන ප්‍රධානියා උදව් කරනවා තම සේවකයින්ගේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට. මෙවැනි ක්‍රමවේද සහ ආයතන ප්‍රධානීන් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල මා දැකලා නැහැ. ශ්‍රී ලංකාවේ බොහෝ ආයතනවල පවතින දැඩි පංති භේදය මෙන්ම ආයතන ප්‍රධානීන්ගේ ආකල්ප සහ චර්යාවන් නිසා මෙම මෙබඳු  ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ ආයතනවල ක්‍රියාත්මක කිරීම අපහසුයි කියලා මට හිතෙනවා.

නවසීලන්තයේ බහුතරය ශ්‍රී ලංකාවේ බහුතරය මෙන් අනුන්ගේ ඕපදූප සොයන්නේ නැහැ. අනුන්ගේ ජීවිත ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසා සෑම පුද්ගලයකුටම මෙන් තම පෞද්ගලික ජීවිතය කැමති පරිදි බාධාවකින් තොරව පවත්වාගෙන යන්න පුළුවන්. මා නවසීලන්තයට  සංක්‍රමණය වූයේ දික්කසාද වූ එක්දරු මවක්  ලෙස. නවසීලන්තයේ ජීවත් වූ පසුගිය වසර දහයකට වැඩි කාලය තුළ දී කිසිම නවසීලන්ත ජාතිකයෙක් මගෙන්වත් මගේ දියණියගෙන්වත් ඇගේ පියා පිළිබඳව ප්‍රශ්න කරලා නැහැ. එහෙත් බොහෝ ශ්‍රී ලාංකිකයින්ට එය  ප්‍රශ්නයක් වුණා.  මා වැනි තනි මවකට තම ආත්ම ගරුත්වයත්වය ආරක්ෂා කරගෙන ස්වාධීනව ජීවත් වීමට නවසීලන්ත සමාජයේ අපහසුවක් නැහැ. එහෙත් ශ්‍රී ලාංකික සමාජයේ එය ඉතාම  අපහසුයි.

නවසීලන්තයේ  බහුතරය  ස්වෙච්ඡාවෙන් අන්‍යයන්ට උදව් කරනවා. බොහෝ දෙනා විවිධ වූ ආකාරයේ  ස්වේච්ඡා සේවාවන්හි යෙදෙනවා. මෙය නවසීලන්තයේ ප්‍රගතියට හේතු වන සාධකයක් ලෙස මා දකිනවා. මම ද නවසීලන්ත ජාතිකයින් සමග එක්ව විවිධ ස්වේච්ඡා සේවාවන්හි යෙදෙනවා.  ඒ මගින් විශාල ආත්ම තෘප්තියක් ලැබෙනවා. කිසිම ප්‍රති උපකාරයක් බලාපොරොත්තු නොවී අන්‍යයන්ගේ යහපත සඳහා ස්වෙච්ඡාවෙන් සේවය කිරීමෙන් ආත්ම තෘප්තියක් ලබා ගැනීමේ පුරුද්ද ඕනෑම රටක  ප්‍රගතියට අවශ්‍ය යයි මා විශ්වාස කරනවා. නමුත් මෙය නවසීලන්තයේ තරම් ශ්‍රී ලංකාවේ දැකලා නැහැ.

ඒ වගේම නවසීලන්ත වාසීන්ගෙන් බහුතරය තම ගෙවතුවල එළවළු සහ පළතුරු වගා කරනවා. මම මෙය මේ මට්ටමින් ශ්‍රී ලංකාවේ දැකලා නැහැ. මමත් දැන් මගේ ගෙවත්තේ එළවළු සහ පළතුරු වවනවා. මා දැන් පවුලේ පරිභෝජනයට අවශ්‍ය‍ය බොහෝ  එළවළු සහ පළතුරුවලින් ස්වයංපෝෂිතයි.  නුදුරු අනාගතයේ දී  ආහාර හිඟයකට මුහුණදීමට සිදුවිය හැකි බැවින් ශ්‍රී ලංකාවේ සෑම පවුලක්ම තමන්ගේ ගෙවත්තේ තමාට අවශ්‍ය එළවළු සහ පළතුරු වගා කිරීම ඉතා වැදගත්.  

ශ්‍රි ලාංකික සමාජයට වෙනස්ව නවසීලන්ත සමාජයේ තිරසාර ජීවන රටාවක් පවතින බව මා දකිනවා. බොහෝ දෙනෙක් පෝෂ්‍යදායි සැහැල්ලු ආහාර ගැනීම් සහ දිනපතා ව්‍යායාම් කිරීම සහ ඇවිදීම මගින් නිරෝගී දිවියක් ගත් කරනවා. මමත් නවසීලන්තයට පැමිණීමෙන් පසු එවැනි ජීවන රටාවකට පුරුදු වුණා. මා කලින්ට වඩා නිරෝගි වුණා. රටක ප්‍රගතියට නිරෝගිමත් ජනතාවක් අවශ්‍යයි.

පාවිච්චි කරන ලද භාණ්ඩ මිල දී ගැනීමට නවසීලන්ත ජාතිකයන් අතර පවතින පුරුද්ද එහි තිරසාර පැවැත්මට හේතු වී පවතින බව මා දකිනවා. ශ්‍රී ලංකික සමාජයේ මෙන් පාවිච්චි කරන ලද භාණ්ඩ මිල දී ගැනීම පහත් දෙයක් හෝ දුප්පත් අය පමණක් කරන දෙයක් වශයෙන් දකින්නේ නැහැ නවසිලන්තයේ. ඒ වගේම මගේ අත්දැකීමේ හැටියට ශ්‍රී ලාංකිකයින්ට වඩා නවසීලන්ත ජාතිකයින් පරිසරයට ආදරය කරනවා. පරිසරය රැකගන්න උත්සහ කරනවා. දෙමාපියන් එය තම දරුවන්ට ළාබාල වියේ සිටම පුරුදු කරනවා. එක් ගහක් කැපුවොත් ඒ වෙනුවට තවත් ගස් දෙකක් සිටුවිය යුතුය යන මතය දරනවා. මෙය නවසිලන්තයේ ප්‍රගතියට හේතු වී ඇති නමුත්  ශ්‍රී  ලංකාවේ මා එබන්දක් දකින්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සඳහා මේ ආකාරයේ ඇතුළාන්තයේ පරිවර්තනයක්  ශ්‍රී  ලාංකිකයින් තුළ සිදුවිය යුතු යැයි මම විශ්වාස කරනවා.’

ශ්‍රී ලංකාවේ වසර 15 කුත් නවසිලන්තයේ වසර  27කට වැඩි කාලයෙකුත් ඉංජිනේරුවෙකු වශයෙන් සේවය කළ පාඨකයෙක් අප සමග තම අදහස් මේ ආකාරයෙන් බෙදාගත්තා.

‘මගේ අත්දැකීමේ හැටියට නවසීලන්තයේ බහුතරය කාරුණික බව, අවංක බව, අව්‍යාජ බව, විනය ගරුක බව සහ නීති ගරුක බව අතින් ශ්‍රී ලංකාවේ බහුතරයට වඩා ඉතාම ඉහළ මට්ටමක ඉන්නවා. එය නවසීලන්තයේ ප්‍රගතියට හේතුවක් බවත් ශ්‍රී ලංකාවේ එබඳු උසස් ගුණාංගවලින්  යුත් බහුතරයක් නොවීම එහි ප්‍රගතියට බාධාවක් බවත් මම විශ්වාස කරනවා.

මගේ අත්දැකීමේ හැටියට නවසීලන්තයේ බහුතරය ශ්‍රී ලාංකිකයින් තරම් බොරු කියන්නෙ නැහැ. අනුන් රවටන්නේ නැහැ. නීතිය තම වාසිය  පිණිස අවභාවිතා කරන්නේ නැහැ. එබඳු සිදුවීම් සිදුවන්නේ ඉතාම  කලාතුරකින්. ශ්‍රී ලාංකික සමාජයේ තරම් නිතර  සිදුවන්නේ නැහැ. ඒ නිසා රජයේ සහ පෞද්ගලික සේවා සපයන ආයතනවලට පැමිණෙන සේවා දායකයින්ගේ වචන ඒවායේ නිලධාරීන් විශ්වාස කරනවා. ඒ නිසා ඒවායින් ඉක්මනින් සහ පහසුවෙන් අවශ්‍ය සේවය  ලබාගන්න පුළුවන්. මෙවැනි යහගුණවලින් සපිරි බහුතරයක් සිටීම නවසීලන්තයේ ප්‍රගතියට හේතු වී තිබෙනවා. ශ්‍රී ලාංකිකයින් තුළත් එවැනි  යහගුණ වැඩෙන පරිදි ඇතුළාන්තයේ   පරිවර්තනයක්  අවශ්‍යයි ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සඳහා.  

වරක්  මා වෙලින්ටන් සිට වෙනත් නගරයකට බස් රථයකින් ගමන්  කළා. එදිනම හවස ආපසු පැමිණීමට අදාළ බස් නැවතුම්පොළට නියමිත වෙලාවට ගිය නමුත් බස් රථය වෙලාවට පැමිණියේ නැහැ. බොහෝ වේලාවක් බලා සිට බස් රථය නොපැමිණි නිසා මම කුලී රථයකින් ආපසු ගියා.  ආපසු ගොස් බස්රථ සමාගමට දුරකථනයෙන් කතා කොට සිද්ධිය ගැන පැමිණිලි කළා. බස් රථ සමාගම වෙනුවෙන් මා සමඟ කතා කළ පුද්ගලයා කියා සිටියා අතර මගදී සිදු වූ වාහන තදබදයක් නිසා බස් රථයට නියමිත වේලාවට පැමිණීමට නොහැකි වූ බව. සිදු වූ වරදට මගෙන් සමාව  අයද සිටි ඔහු  මා ආපසු පැමිණියේ කෙසේදැයි විමසුවා. මා කුලී රථයකින් පැමිණි බව කිව් විට ඒ පිණිස මා දැරූ වියදම සම්පූර්ණයෙන් ඔවුන් විසින් එදාම ගෙවන බව කීවා.  මා කුලී රථයට ගෙවූ මුදල් ප්‍රමාණය  මගෙන් අසා දැනගත් ඔහු පැයක් ගත වීමටත් පෙර  එම මුදල මට ලැබෙන්න සැලැස්සුවා. මා ගෙවූ මුදල් ප්‍රමාණය පෙන්වීමට කිසිම රිසිට්පතක් ඉල්ලා සිටියේ නැහැ. මගේ  වචනය විශ්වාස කළා.

ඒ වගේම  පෝලිමක සිටින විට තමාගේ වාරය තමාට නියමිත විදියට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ මෙන්  කිසිවෙක් පෝලිමට රිංගන්නේ නැහැ. පෝලිම් කඩාගෙන ඉදිරියට යන්නේ නැහැ. ඒ මම දැකලත් තියෙනවා කුඩා දරුවන් වඩාගෙන පෝලිමේ සිටින අයට ඉක්මනින් පෝලිමේ ඉදිරියට යාමට අන් අය අවස්ථාව සලසා දෙනවා. 

නවසීලන්තයේ වැඩ කරන තැන්වල  ශ්‍රී ලංකාවේ වැඩ කරන තැන්වලට වඩා ආචාර ධර්ම පවතිනවා.  නියම වෙලාවට වැඩට පැමිණිෙනවා. වැඩ කළ යුතු මුළු කාලයම වැඩට යොදනවා. ශ්‍රී ලංකාවේ මෙන් වැඩ කරන කාලය විවිධ පෞද්ගලික දේවලට යොදන්නේ නැහැ. මෙය නීතිරීති සහ දඬුවම් කිරීම් මගින් සිදුවන්නක්  නොවේ. නවසීලන්තයේ බහුතරයකගේ පවතින යහගුණ නිසාම සිදුවන්නක් හැටියටයි මම දකින්නේ. ශ්‍රී ලංකාවේත් නවසීලන්තයේ මෙන්ම වැඩ කරන තැන්වල අදාළ නීති රීති තියෙනවා. නමුත් නවසීලන්තයේ මෙන් එහි  බහුතරය තුළ යහගුණ නොපවතින නිසා නීතිරීතිවලින් පමණක් වැඩ කරන තැන්වල ආචාරධර්ම  සහ කාර්යක්ෂමතාවය  පවත්වා ගන්න බැහැ.  

ඒ වගේම ස්වයං රැකියාවල යෙදී සිටින මේසන්, වඩු, සහ විදුලි කාර්මික වැනි සේවාවන් සපයන අයගෙන් සේවය ලබාගත් විට ඔවුන් ඉතා හොඳින් ඒ සේවය ලබා දෙනවා. ඉතා හොඳින් තම  කාර්යය නිම කරනවා. සේවා දායකයා රවටන්නේ නැහැ. අදාළ කාර්යය අවසන් කළ විට එතනින් නික්ම යාමට පෙර වැඩ කළ තැන මනාව පිරිසුදු කරනවා. මෙවැනි තත්ත්වයක් මම ශ්‍රී ලංකාවේ දැක නැහැ. කරන කාර්යය උඩින් පල්ලෙන් නිමකොට සේවාදායකයා රවටා මුදල් ගැනීම මා බොහෝවිට දැකලා තියෙනවා.

තමන්ගේ ගෙවත්ත සහ ඒ අවට පරිසරය පිරිසිදුවටත් ලස්සනටත් තබා ගැනීම තම වගකීමක් වශයෙන් නවසීලන්ත වැසියන් බහුතරය සලකනවා. තම නිවෙස ඉදිරිපිට පොදු අයිතිය යටතේ පවතින මාර්ගයට යාබද බිම් තීරුව පිරිසුදුව තබා ගැනීම තම වගකීමක් වශයෙන් සලකනවා. සෑම කෙනෙක්ම මෙන් එම  වගකීම හරියාකාරව ඉටුකරනවා. 

නවසීලන්තයේ බොහෝ අය සුරතල් සතුන් ඇති කරනවා බොහෝ අය බල්ලන් ඇති කරනවා. බල්ලන් ඇවිද්දවන විට ඒ සතුන්ගේ මළපහ පාර අයිනෙ දමා යන්නේ නැහැ. ඒවා අයිතිකරුවන් විසින් වහාම ඉවත් කරනවා. මෙවැනි යහගුණ මා ශ්‍රී ලංකාවේ දැකලා නැහැ.   

නවසීලන්ත වාසීන් බහුතරය තම ගෙවතුවල එළවළු සහ පළතුරු වගා කරනවා. අතිරික්තයක් පවතින්නේ නම් එය තම අසල්වැසියන් සමඟ බෙදාහදා ගන්නවා.  ඇතැම් විට  කැමති කෙනෙකුට නොමිලේ රැගෙන යාමට නිවස ඉදිරිපිට පාර අයිනේ තියෙනවා.  තම අතිරික්තය විකිණිමට කැමති සමහරු එය පාර අයිනේ තබා  මිල දී ගන්නා අයට මුදල් දමා යාමට පෙට්ටියක් ඒ අසලින් තියෙනවා.  ඒ පෙට්ටියට කියනවා Honesty Box කියලා.  රටේ ප්‍රගතියට ඉවහල් වන මෙවැනි යහගුණ සහ පුරුදු ශ්‍රී ලංකාවේ විරල බව මා දකිනවා.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ප්‍රචලිතව පවතින නවකවදය මා නවසීලන්ත විශ්ව විද්‍යාලවල දැකලා නැහැ. මෙහි ජේෂ්ඨ ශිෂ්‍යයින් නවක ශිෂ්‍යයින්ට උදව් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල මෙන් පංති වර්ජන පෙළපාලි සහ විරෝධතා නවසීලන්තයේ  විශ්ව විද්‍යාලවල දකින්න නැහැ. ඔවුන් තම මුළු කාලයම අධ්‍යාපන කටයුතු සඳහා වැය කරනවා. අනෙකුත් ආයතනවල  ශ්‍රී ලංකාවේ තරම් වැඩ වර්ජන හා විරෝධතා නැහැ. ඔවුන් තම වෘත්තීයමය පහසුකම් සහ අයිතිවාසිකම් ලබා ගැනීමට මිස ආණ්ඩු පෙරලීම සඳහා වැඩ වර්ජනය කරන්නේ නැහැ. 

‘ඒ වගේම  නවසීලන්තෙ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට උපාධිය අවසන් කිරීමෙන් පසු රැකියා සපයන බවට රජයෙන් කිසිම සහතික වීමක් නැහැ. ඔවුන් තම තමන්ගේ රැකියා සොයා ගන්නවා. ඔවුන්  ශ්‍රී ලංකාවේ උපාධිධාරීන්   මෙන් රැකියා විරහිත උපාධිධාරී සංගම් පිහිටුවා ගෙන ‘රැකියා දියව්’ යනුවෙන් කෑගසමින්  පාරවල් අවහිර කරමින් උද්ඝෝෂණය කරන්නේ නැහැ.

නවසීලන්තයේ  වැඩ කරන තැන්වල ශ්‍රී ලංකාවේ මෙන් පංති භේදයක් නැහැ. ශ්‍රී ලංකාවේ මෙන් නිලධාරීන් නිලය තම ඔළුවට ගෙන ආයතනය  පාලනය කරන්නේ නැහැ. බොස් සේවකයා  ළඟට යනවා මිස සේවකයා බොස් ළඟට කැඳවන්නේ නැහැ. පාලනය කරන්නේ භය ගැන්වීම මගින් නොවේ. සුහද සම්බන්ධතා මගින්. මෙය  නවසීලන්තයේ වැඩ කාර්යක්ෂමතාවය වර්ධනය වීමටත් රටේ ප්‍රගතියටත් හේතුවි තියෙනවා.

ශ්‍රී ලංකාවේත්   නවසීලන්තයේත් බලාත්මකව  පවතින්නේ එකම පරිපාලන සහ  මූල්‍ය රෙගුලාසිය AR & FR.  මා දන්නා හැටියට මෙම රෙගුලාසි මුලින්ම සකස් කරලා තියෙන්නේ එංගලන්තේ. එම රේගු රෙගුලාසි සකස් කරලා තියෙන්නේ ඒවා  ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ ඉන් සේවය ලබන මහජනතාව  අවංක, සත්‍යගරුක  සහ යහගුණවත් මනුෂ්‍යයන් බවට උපකල්පනය කරගෙන. ඒ කියන්නේ එම  රෙගුලාසිවලින් සාර්ථක  ප්‍රතිඵල ලබන්න නම් අදාළ රටේ ජනතාව අවංක, සත්‍යගරුක සහ යහගුණවත් මනුෂ්‍යයන් විය යුතුයි. නවසීලන්තයේ දී එම රේගු රෙගුලාසිවලින් සාර්ථක  ප්‍රතිඵල ලැබී තිබෙන නමුත් ශ්‍රී ලංකාවේදී ඒවායින් සාර්ථක ප්‍රතිඵල ලැබිලා නැහැ. එහි මේ සියලුම රේගු රෙගුලාසි අවභාවිතා වෙනවා. දූෂණය රජ කරනවා. ඒකෙන් පෙනී යන්නේ ප්‍රශ්නය තියෙන්නේ මිනිසුන් තුළ මිස පවතින ක්‍රමය තුළ නොවන බවයි. වඩා හොඳ ක්‍රමයක් ඇති කළත් මිනිසුන් ගේ සිත්  තුළ ආත්මාර්ථය, සොරකම, බොරුව හා වංචාව රජයන්නේ නම් ඔවුන් එම  ක්‍රමයෙන් පිට පැන තම අභිමතාර්ථය ඉටුකරගැනීමට අවශ්‍ය ක්‍රම සොයාගන්නවා.  මේ නිසා ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සඳහා  ශ්‍රී ලාංකිකයන් තුළ  ස්වයං පරිවර්තනයක් අවශ්‍යමයි කියලා මම විශ්වාස කරනවා’

මෙලෙස ශ්‍රී ලංකාවේ ප්‍රගතිය උදෙසා ‘ශ්‍රී ලාංකිකයින් තුළ ස්වයං පරිවර්තනයක් අවශ්‍යයි’ යන සංවාදයට ඔබේ අදහස්  ‘Sri LankaNZ’  සමග බෙදාගත්තා. මීළඟ කලාපයේ තවත්  අත්දැකීම් කිහිපයක් සමගින් අපි හමුවෙමු. ඔබගේ අත්දැකීම් අප හා මුසු කරන්නට කැමතිනම් ‘ අප වෙත කාරුණිකව යොමු කරන්න.

Dr. Rohana UlluvisHewa
(ulluwishewa@xtra.co.nz)

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.