එක්සත් ජාතීන්ගේ අධ්යාපනික, විද්යාත්මක හා සංස්කෘතික සංවිධානය (UNESCO) මගින් සෑම වසරකම ජුලි 26 දිනය කඩොලාන පරිසර සංරක්ෂණ ජාත්යන්තර දිනය ලෙසින් ප්රකාශයට පත් කර ඇත. ඒ නිමිති කර ගෙන, කඩොලාන ශාඛයෙන් මිනිස් සංහතියට. සැලසෙන සුවිසල් සේවාව. පිලිබදව ජනතාව දැනුවත් කිරීමේ අභිලාෂයෙන් මෙවන් ශාස්ත්රීය ලිපියක් සැකසීමෙහිලා මසිත් යොමුවිය.
මිහිතලයේ තිරසාර පැවැත්ම කෙරෙහි කඩොලාන පරිසර පද්ධතියෙන් ඉටුවන ප්රශස්ත මෙහෙවර සැලකිල්ලට ගෙන එය ආරක්ෂා කර ගැනීමෙහිලා සමස්ත ලෝකයේම ජනතාව පෙළ ගැස්වීම හා පෙලඹවීම, කඩොලාන පරිසර සංරක්ෂණ ජාත්යන්තර දිනයක් ප්රකාශයට පත් කිරීමේ ප්රධානතම අරමුණ ලෙසින් සැලකේ.
කඩොලාන තුරු පියස පාරිසරික යහ පැවැත්මට මෙන්ම ජනතාවගේ ආර්ථිකය කෙරෙහිද ප්රබල ලෙස බලපාන සාධකයකි. ගොඩබිම් හා ජලය එක්වන මායිම ලෙස සැලකෙන අන්තර් උදම් කලාපය ,කඩොලාන තුරුයායේ නිජ බිමය. ගංගා මෝය හා කලපුවල කිවුල් දිය ආශ්රිතව සැඳෑ යාමයේ සිදුවන වඩදියට යටවී උදෑසනේ බාදියට නිරාවරණය වන එම බිම් පෙත් හි වැඩෙන ආශ්චර්යමත් ශාක විශේෂයක් ලෙසින් කඩොලාන ශාක පද්ධතිය හැඳින්විය හැකිය.එය සාමාන්ය ශාකවලට ඔරොත්තු දීමට, ජීවත් වීමට අසීරු, ලවන සහිත ශුෂ්ක පරිසර සාධක හමුවේ කටුක පරිසරයට අනුවර්තනය වෙමින් වර්ධනය වේ.
මිනිස් දිවියට, පරිසරයට අහිතකර කාබන් අවශෝෂණය කර, ගෝලීය උණුසුම් හා සබැඳි ස්වභාවික ව්යවසනයන් පිටු දකින, වෙරළ ඛාදනය වළකන මෙතෙක් බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයට යොමු නොවූ පරිසර සාධකයක් ලෙස කඩොලාන තුරු යායට උද්භිද ලොවේ අද්විතීය ස්ථානයක් හිමි වේ.
ජීවීන් රැසකගේ උපත සිදුවන්නේත්, එම ජීවීන් ආරක්ෂා වන්නේත් ඔවුනට ආහාර සැපයෙන්නේත් මෙම පරිසරය ආශ්රිතවය. විවිධ කඩොලාන පරිසරය තුළින් මිනිසාගේ ආර්ථික ප්රගමනය සඳහා ලබාදෙන දායකත්වයද සුළු පටු නොවේ.
2004දී මෙරට සුනාමි ව්යවසනයට ගොදුරු වූ අවස්ථාවේ දකුණේ පැරෑලිය හරහා ප්රචණ්ඩ සමුදුර රළ ගොඩබිමට ගලාවිත් කළ මහත්ම විපත, එහි වෙරළ තීරයේ කඩොලාන පරිසර පද්ධතියක් පැවතියේ නම් කිසිවිටක සිදු නොවන බව පරිසරවේදීන්ගේ නිගමනයයි. අම්පාර පොතුවිල් සුනාමියෙන් විපතට පත් විය.එම අවස්ථාවේ ඒ ආසන්නයේම පිහිටි පානම සුනාමි විපතින් මිඳුණේ එම වෙරළ තීරයේ පැවති කඩොලාන ශාඛයන්ගේ ශක්තිමත් මුල් හේතුවෙනි. සුනාමි රළ පහර,රට අභ්යන්තරයට ගැලිය නොහැකි පවුරක් ලෙසින්,කඩොලාන ශාඛයන් අභීතව ,නොසැළී රළ පහර පලවා හැරියේය.
කඩොලාන මඟින් මානව වර්ගයාට,මිහිතල පරිසර පද්ධතියට ලබාදෙන ප්රතිලාභ රාශියකි.කාබන් රහිත හිතකර දේශගුණයක් පවත්වාගෙන යාම සඳහා කඩොලාන පරිසරය ලබා දෙන්නේ ආකර්ෂණීය දායකත්වයකි.
වායුගෝලයට නිකුත් කරන ලද අහිතකර කාබන්ඩයොක්සයිඩ් නැවත උරාගෙන කාලගුණය නැවත ස්ථාවර කළ හැකි හොඳම හා කාර්යක්ෂම ක්රමය ලෝකයේ කඩොලාන ශාක ප්රමාණය ඉහළ නැංවීමයි.
කාබන්ඩයොක්සයිඩ් උරා ගැනීමට ඇති හැකියාව එක් එක් වනාන්තර වර්ග අනුව වෙනස් වන අතර පස ජලයෙන් වැසී ඇති ගොහොරුමය වනාන්තර වර්ගවලට ඉතා විශාල වශයෙන් වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් උරාගැනීමට හැකියාව ඇත. ලෝකයේ ඇති මෙවැනි එකම ස්ථාවර ගොහොරු වනාන්තර වර්ගය කඩොලාන වන ගහනයන්ය. මේ වනාන්තර වල ගොහොරු පස මත ප්රමුඛව ඇති නිර්වායු බැක්ටීරියා පස මතට වැටෙන ශාක පත්ර මල් බීජ හා කඳන් කොටස් අර්ධව ජීර්ණය කරන අතර මේ ආකාරයට නිපදවන අර්ධව ජීර්ණය වූ කාබනික කොටස් පස තුළට ගැඹුරු ස්ථර ලෙස තැම්පත් කිරීම සිදු කරයි.
කඩොලාන ශාක මඟින් නිතැතින්ම ජල සංරක්ෂණයද සිදු වේ. මෙම ශාකය ජලයේ දියවී ඇති ද්රව්ය ප්රේෂණය කිරීම තුළින් හා ජලයේ දියවී ඇති පෝෂක හා විෂ කාරක අවශෝෂණය කර ජලය පවිත්රව තබා ගැනීමට උපකාරීවේ. සංවර්ධන කටයුතු සහ පාරිසරික දූෂණය නිසා ඇති වන අහිතකර බලපෑම මෙමඟින් අවම කෙරේ.
කඩොලාන පරිසර පද්ධතිය මසුන් , ඉස්සන් , කකුළුවන් වැනි විවිධ සත්ත්ව කොට්ඨාශ වර්ග 400 ක ප්රජනනය හා වර්ධනය පිණිස ආරක්ෂක වැස්මක් ලෙසින් ක්රියා කරයි. කඩොලාන මුල් සමූහය කුඩා සතුනට විලෝපිකයන්ගෙන් ආරක්ෂාව සඳහා සැඟවී සිටීමට හා අවශ්ය ආහාර සපයා ගැනීමටද කදිම ක්ෂේම භූමියකි. කඩොලාන පත්ර සහ මුල් ජීර්ණය වීමෙන් ගංමෝය හා කළපු ආශ්රිත පතුලේ තැම්පත් වන කුඩා කාබනික අංශු මත්ස්ය ප්රජාවගේ පෝෂණය සලසා දේ.
කඩොලාන ආශ්රිතව මසුන් බහුලව ගැවසෙන බැවින් ධීවර කාර්මිකයිනට වඩාත් පහසුවෙන් සිය ජීවනෝපාය සිදු කර ගැනීමට අවස්ථාව සැලසේ. එහි ගිංපොල් ශාකයෙහි වියලි අතු වලින් පැදුරු, මලු, තොප්පි වියා ආදායම් සරු කර ගැනීමටද ජනතාව පුරුදු වී සිටිති. ආහාරය සඳහා කැරන්කොකු ද කඩොලාන පරිසරය ආශ්රයෙන් ලබා ගැනේ. කඩොලාන විශේෂයක් වූ කිරළ සේ ගෙඩි වලින් කළපු තීරයේ ජීවත් වන ජනතාව ප්රණීත පානයක් සකසා වෙළඳපොළට ඉදිරිපත් කර කිසියම් ආදායමක්උ පයා ගැනීමටද නැඹුරුව සිටිති.
ශ්රී ලංකාවට පැමිණෙන සංචාරක කුරුල්ලන් සිය දිගු ගමනේ විඩාව නිවා ගන්නේද කඩොලාන පරිසරයෙහි ලැගුම් ගැනීමෙනි. විවිධ උරගයින්, වල් බළලා, දිය බල්ලා, මුහුදු ඌරා වැනි කඩොලාන ආශ්රිතව දිවි ගෙවන සතුන් එහි පරිසරයට ලබා දෙන්නේ උත්කෘෂ්ට සුන්දරත්වයකි. කඩොලාන මිනිස් මනසට ලබාදෙන සුවදායක බව අතිමහත්ය. ඒ අනුව වෙරළ තීරයේ සංචාරක ව්යාපාරිකයින්, කඩොලාන සංරක්ෂණයට සහ නැවත වගාවට සහභාගී කර ගැනීමට නිසි ක්රමවේදයක් සැකසීම වැදගත්ය.
කඩොලාන ශාක විශේෂයක පිළිකා කාරක විනාශ කිරීමේ ප්රබල ශක්තියක් අන්තර්ගතව ඇති බව මේ වන විට හෙළිවී ඇත
පරිසර විද්යාඥ ටොමිලින්සන් මහතා විසින් 1986දී කරන ලද විශේෂ අධ්යයනයකදී කඩොලාන ශාක පරපුර දළ වශයෙන් කුල 16 – 24 ක් ලෙසද ඒවායේ විශේෂ 54 – 75 පමණ වන බවත් සඳහන් කර ඇත.
සත්ය කඩොලාන ශාක 21 සහ ආශ්රිත කඩොලාන වර්ග 50ට වැඩි ප්රමාණයක් ශ්රී ලංකාවේ විවිධ දේශගුණික කලාප වලදී දැකිය හැකිය. ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා රජය ප්රජාව සහ විවිධ සංවිධාන මඟින් ගෙනයනු ලබන ක්රියාදාමයන් අගය කළ යුතු වේ. ශ්රී ලංකාව තුළ කළපු සහ මෝයයන් 44 වැඩි ප්රමාණයක් ඇති අතර මේ සෑම කළපුවක් හා මොයක්ම කඩොලාන පරිසර පද්ධතියකි. දැනට හඳුනාගෙන ඇති හෙක්ටයාර් 12700 ආසන්න ප්රමාණයක් වූ කඩොලාන පරිසරය (මිනුම් ගත කිරීම මඟින් මෙම ප්රමාණයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ) අනවබෝධය නිසා ක්රමක්රමයෙන් හීනවෙමින් පවතී.
කඩොලාන වර්ග කිහිපයක්.
ශ්රී ලංකාවේ කඩොලාන සංරක්ෂණ ව්යාපෘතිය.
ප්රකට පරිසර වෙදියෙක්වූ ආචාර්ය අනුරාධ වික්රමසිංහ මහතා විසින් මීට දශක ගණනාවකට පෙර,හලාවත කාක්කපල්ලියේ,පම්බල කලපුව ආශ්රිත බිම් තීරුවක, ශ්රීලංකාවට ආවේනික කඩොලාන වර්ග සියල්ල රෝපණය කර,සුධීස නමින් කඩලාන සංරක්ෂණ ව්යාපෘතියක් ආරම්භ කරනු ලැබිණි. ඒ සීකොලොජි ජාත්යන්තර ආයතනයේ පුර්ණ අනුග්රහයෙනි. එහි ස්ථාපිත කඩොලාන පර්යේෂණාගාරය තුළින් පාසල් දරුවන්ට විපුල දැනුම් සම්භාරයක් ලද හැකිය.
පම්බල කලපු තාවුල්ලේ ඉදිකළ , ලොව ප්රථම කඩොලාන කෞතුකාගාරය ,
2016 වසරේ ජුලි 26 වන දින ට යේදී තිබු ජාත්යන්තර කඩොලාන දිනය නිමිති කර ගෙන ඉදි කළ, ලොව ප්රථම කඩොලාන කෞතුකාගාරය , පම්බල කලපු තාවුල්ලේ සුධීස කාර්යාල සංකීර්ණයේදී ජනාධිපති මෛත්රීපල සිරිසේන මැතිදුන් විසින් දැයේ මතු පරපුර වෙත දායාද කරනු ලැබිණි.
ලොව ප්රථම කඩොලාන කෞතුකාගාරය විවෘත කිරීමේ අවස්ථාව.
ලොව ප්රථම කඩොලාන කෞතුකාගාරය විවෘත කරන දිනයෙහි කඩොලාන තේමා ගීතය ජනගත කරනු ලැබිණි..ප්රබුද්ධ ගීත නිබන්දක, සුනිල් සරත් පෙරේරා සුරීන් වෙතින් නිර්මාණයවූ කඩොලාන තේමා ගීතය ඊට යෝග්යතම තනුවක් යොදා, ගායන දායකත්වය ලබා දෙන ලද්දේ , අමරසිරි පීරිස් සහෘදයානන් විසිනි.දුටුගැමුණු නිරිඳුන්ගේ ඇතුට,කඩොල් ඇතු යන නම ව්යවහාරයට පත්වූයේ, එම ඇතුගේ නිජබිම, මාගම්පුර කඩොල් වන පෙතක් වීම නිසා බැව් ,සුනිල් සරත් මෙම ගීතයේ පද වැලකින් අපුර්ව ලෙස මතුකොට දක්වයි.කඩොලාන තේමා ගීතයේ පද මාලාවෙන් මෙම ලිපිය සමාප්ත කිරීමට අදහස් කළෙමි. ඒ මක්නිසා ද යත්,එම ගීතයේ චමත්කාරය පාඨක ඔබට ද වින්දනය පිණිස අවස්ථාවක් සලසා දීමේ යහ අපේක්ෂාවෙනි.
කඩෝලාන තේමා ගීතය
දළ රළ පෙළ අත් අසුරෙන් මැඩලාන
වෙරළ තීරය රැකවල කඩොලාන
සියොතුන් ගී හඩ මිහිරට පතුරාන
මෝය දෙගම් බඩ කඩුපුල් කඩොලාන
සුපිපි මල් කඩොල් බිගු දැල් බන්දාන
කිරල මහ කඩොල් නෙක නෙතු තුඩ ගාන
මසුන් කුඩ මසුන් බෝ වෙන තිමිරාන
කලළ් මඩ සුවද විලවුන් විහිදාන
ලතා මඩුලු සෙවනැලි යට මතුරාන
උදුල කර තරු නැගේ පුර හද පාන
සුවය දෙවන සිහිලැල් නල පතුරාන
ඔසුව වී දනන් රෝ බිය මැඩලාන
රකිනු මහරු මේ සම්පත කඩොලාන
ගැඹුරු නිසල පරිසරයකි කඩොලාන
ඈත පවස යටගිය දා සරසාන
කඩොල් ඇතුගෙ මුල් නිජබිම කඩොලාන
රකිමු මහරු මේ සම්පත කඩොලාන






