fbpx
10.4 C
New Zealand
Sunday, August 9, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

මටම හිමිවෙලා මා ළඟ ඉන්න සදා… | ආචාර්‍යය සුරංග දිසානායක | ඩනිඩීන්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

මේ ගීතයේ කියවෙන්නේ ප්‍රථම ප්‍රේමය වෙන්නත් පුළුවන්; හතරවෙනි, පස්වෙනි ප්‍රේමය වෙන්නත් පුළුවන්. නමුත් වැදගත් වෙන්නේ ‘ඇය’ ඒ කියන්නේ මේ ගීතයේ කියවෙන ‘ඔබ’ සියලු දෙනාටම , සියලු දෙයට වඩා විශේෂයි.

වැහිබර සන්ද්‍යාවක උණුසුම් කෝපි  කෝප්පයක් තොල ගාමින්ම ගේය පද රචක ප්‍රියානන්ද විජේසුන්දරයන් සමග කතාව පටන් ගත්තේ ඔහු අතින් ලියැවුණු, දයාන් විතාරණයන් විසින් ගැයෙන, ‘මගෙ ජීවිතේ සතුට රැදී තිබුනේ’ ගීතය ගැන මතකය අවදි කරන්නට. 2000 දශකයේ මුල දයාන්ගේ කුළුදුල්  ගීත ඇල්බමයට ඇතුළත් වූ මේ ගීතය අද ඇසුවත් ගෙනෙන්නේ එදා වගේම රසයක්. ගීතය බිහිවුණු අයුරු සහ දයාන්ගේ මුවින් එය ගුවනට මුසු වූ අයුර, ප්‍රියානන්දයන් ආවර්ජනය කළේ මෙලෙසින්.

‘ඔය ගීතය මගේ අතින් ලියැවුණේ අසූව දශකයේ අගභාගයේ, වෙනත් ගායකයෙකු වෙනුවෙන්. මේක මගේ අතින් කලින් ලියවිලා තිබුණු ගීතයක්. ඒ ගායකයා ඉල්ලුවම දුන්න වගේ මතකයි. මොනවහරි  හරි හේතුවක් මත ඔහුට ඒ ගීතය කරගන්න බැරි වෙලා. සමහර විට මේ ගීතය රෝහණ (ආචාර්ය රෝහණ වීරසිංහ) ළඟ තියෙන්නට ඇති. කොහොමහරි ඉතින් ලියවිලා අවරුදු දහයකට, දොළහකට පස්සේ තමයි ගීතය ගැයිලා තියෙන්නේ. දයාන්ට මේ ගීතය ලැබුණු විදිය මම අදටත් දන්නේ නැහැ’. ප්‍රියා වාක්‍යය අවසන් කළේ සිනහවකින්.

පද රචකයා සහ ගායකයා හමුව. 

2002 වසරේ, දයාන්ගේ පළවෙනි ගීත සමුච්චය ඇතුළත් ‘ඔබේ සුසුම් පවන් සලයි’ ගීත ඇල්බමය එළිදැක්වූවා. මගේ මේ ගීතය එහි ඇතුළත් වුණා. එහෙත් එතකොට මම හිටියේ මේහේ, ඒ කියන්නේ නවසීලන්තයේ. එනිසා මට ඒ අවස්ථාවට සහභාගී වෙන්න බැරි වුණා. කොහොම නමුත් මට දයාන්ව මුණ ගැහෙන්නේ ඊට අවරුදු දාසයකට, දාහතකට විතර පස්සේ, ඒත් අහම්බෙන් වගේ. මම චාර්ල්ස් පියතුමා (brother ඇන්ටන් චාර්ල්ස්) සමග ලංකාවේ රූපවාහිනී නාලිකාවක ගීත විචාර වැඩ සටහනකට ගිය වෙලාවේ. දයාන් එතනට ඇවිත් හිටියා, ඒ වැඩසටහනේ ගීත ගයන්න. එතැනදී තමයි පළමු වරට ඔහුව මට මුණගැසුනේ, හරිම අහම්බෙන්. ඔහු මාව දැක්කගමන්ම  නැගිටලා ඇවිත් මාව වැළඳගෙන, පොඩ්ඩක් එළියට යමු කිව්වා. මම ඇහුවා මොකටද කියලා. එතකොට කිව්වා,  ‘මට ප්‍රියාට  සල්ලි වගයක් දෙන්න තියෙනවා,’ කියලා. මම ඇහුව ඒ මොකටද කියලා. එතකොට තමයි කිව්වේ මේ ගීතයට කියලා. ප්‍රියානන්ද එසේ පැවසුවේ ද සිනහවෙන්.

‘ඉතින් ඊටපස්සේ’, මගෙන් පැනයක්. ප්‍රියා  සිනහවෙන්ම නැවත දොඩමළු වුණා. ‘මම කිව්වා එකට කමක් නැහැ, මට සල්ලි එපා කියලා. ඊට පස්සේ මාව ළඟ තිබුණු කාමරයකට එක්කගෙන ගිහිල්ලා, මගේ ඡායාරූපයක් ගත්තා. එක දයාන් ගේ පුරුද්දක්. එයා ළඟ තියෙනවා ලංකාවේ සියලුම කලාකරුවන්ගේම වගේ ඡායාරූප එකතුවක්. ‘මටත් ඒ අතරට යන්න ලැබුණු එක මට සතුටක්. ඒ වගේම, මේ ගීතය දයාන් ගයපු මගේ ප්‍රථම සහ එකම ගීතය’. ගීතයක් ලියා, එය මුදලට නොවිකුණා විදින නිරාමිස සතුට ගැන, ප්‍රියා බොහොම සැහැල්ලුවෙන් කිව්වේ ඒ විදියට.

මේ ප්‍රථම ප්‍රේමයද …? 

ගීතයක අර්ථය පසක් කළ යුත්තේ ගීතය අසන්නා. ගීතය ලියවෙන කාලය, අවස්ථාව අනුව රචකයාගේ අත්දැකීමක් හෝ වෙනත් කෙනෙකුගේ අත්දැකීමක් ගීතයට ඇතුළත් වෙන්න පුළුවන්. නමුත් ගීතය ඇසීමෙන් තමන්ට මැවෙන චිත්තරූපය තමයි වැදගත්. එය රචකයා සිතු දෙයට වඩා වෙනස් වෙන්න පුළුවන්.  මේ ගීතයේ කියවෙන්නේ ප්‍රථම ප්‍රේමය වෙන්නත් පුළුවන්; හතරවෙනි, පස්වෙනි  ප්‍රේමය වෙන්නත් පුළුවන්. නමුත් වැදගත් වෙන්නේ ‘ඇය’ ඒ කියන්නේ මේ ගීතයේ කියවෙන ‘ඔබ’ සියලු දෙනාටම , සියලු දෙයට වඩා විශේෂයි. බොහෝවිට, කෙනෙකුගේ සිත නැවතුණු තැන, අවසාන ප්‍රේමය වෙන්න පුළුවන්. ගීතයේ කියනවනේ, සුන්දරයි ඔබ, අහිංසකයි ඔබ ස්ථිරයි ඔබ, මෙතෙක් ‘මම’, ඒ කියන්නේ ගීතයේ කතානායකයා (ප්‍රියානන්ද නෙමෙයි), නවතින තැන තමයි  ‘ඔබ’. එතනින් එහාට කෙනෙක් නැහැ. ඒවගේම ගීතයේ තියෙනවා ප්‍රාර්ථනාවක්, ‘මටම හිමිවෙලා මා ළඟ ඉන්න සදා’. එතැනිනුත් කියනවා මෙතනින් එහාට නැවත ප්‍රේමයක් නැහැ කියලා. ඒක නිසා මට හිතෙනවා මේ අවසාන ප්‍රේමය වෙන්න පුළුවන් කියලා. සමහර විට ලියන වෙලාවේ  මෙහෙම හිතෙන්නේ නැතුව ඇති. ඔව්, ගීතයේ මේ  කොටස නැවත නැවත අහනකොට මටත් දැන් එහෙමත්  හිතෙනවා. අවසාන ප්‍රේමය ද කියලා.

‘මගේ ජීවිතේ සතුට රැඳී  තිබුනේ තව කෙනෙකුන්ගේ, නෙත් සඟළේ, හසරැල්ලේ , සිතුවේ නෑ, දැනුනේ නෑ ඔබ දකින තුරා…’

ආදරයේබොළඳබව සහබොළඳ ආදරය‘. 

මේ දෙක දෙකක්. ආදරයේ බොළඳ බව තිබෙන තුරු ආදරය පවතිනවා. එතකොට තමයි ආදරයෙන් බැදෙන්නේ. ඒ කාලයේ ලියැවුණු, නන්දක්කලා, වික්ටර් අයියලා ගයපු ඒ ආදර ගීත  සියල්ලේම මේ ආදරයේ බොළඳ බව කැටිව තිබෙනවා. ආදරයේ බොළඳ බව තිබෙනතුරු ආදරය ස්ථිරයි. නමුත් බොළඳ ආදරය කියන්නේ හරිම කලබලකාරී, සමහර විට යම් පටු අරමුණක් වෙනුවෙන් ඇතිවන ආදරය. එහි පැවැත්මක් නැහැ.

බොළඳ ආදරය ගැන ලියවෙන ගීත වැඩිකල් රැඳෙන්නේ නැත්තේ මේ නිසා. මේ ගීතයෙත් ආදරයේ බොළඳ බව කැටිවෙලා තියෙනවා. ඒකම වෙන්න පුළුවන් මේ ගීතය තවමත් මිනිස්සු අතර රැඳිලා තියෙන්නේ, ලියලා, ගැයිලා, දශක ගණනාවක් ගතවුණත්. ආදරයේ බොළඳ  බව මේ ගීතයේ කියවෙන තැනක් තමයි ‘අස්ථිරයි සිතු සියලු දෙයම බොරුවී ස්ථිරයි ඔබ’ කියන තැන. මෙතනදී  බුදු දහමේ කියැවෙන අස්ථිර බව කියන සංකල්පයෙනුත් ඔබ්බට යනවා. ඒ තමයි බොළඳ බව. මේ ‘ඔබ’ කියන තැන, මම ගීතය ඇදෙන්න නොදී නවත්වනවා, හරියට ඉද්ද ගැහුවා වගේ. රෝහණත් මෙතැනදී මේ විශේෂ තැනට ඉතාම සාධාරණයක් කරනවා, ඒ කොටස ඇදෙන්න නොදී.

ගීතය ලියන අවස්ථාවේදීත් මම මෙතනට යම් ස්ථිර බවක් ජනිත කරවන්න උත්සහ කරලා තියෙනවා. ඒවගේම අන්තරා කොටස්වල තියෙන ‘මා ළඟ ඉන්න සදා’ කියන පදය. එතනත් කියවෙන්නේ බොළඳ බව, ඇයි, එහෙම සදාකාලිකව ඉන්න බැහැනේ.  විශේෂයෙන් කියන්න ඕන මේ පදයේ අන්තිම වචනය ‘සදා’ මිසක ‘සඳා’ නෙවෙයි කියල. මේ වැරැද්ද නිසා සමහරු හිතනවා ඇති මේක මගේ පෞද්ගලික අත්දැකීමක් කියලා. ඒ වැකියත් සමග, ප්‍රියා ආදරයේ බොළඳ බව  සහ බොළඳ ආදරය ගැන විග්‍රය අවසන් කළේත් සිනහවකින්.

සාකච්ඡා කළේ  ආචාර්‍යය සුරංග දිසානායක – ඩනිඩීන්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.