‘ප්‍රේමය නම් හැම තැනම ඇති, එනමුදු ප්‍රේමය කිමැයි කියා හඳුනා ගත් කිසිවෙකුත් නැති.’
- ‘සාලිය අශෝක මාලා, රෝමියෝ ජුලියට් ලා වෙනස් වූ ලෝකයේ තාමත් වලංගුද මං දන්නේ නැහැ’.
- ‘විල්තෙර දිය මත දියබුන් නඟනා – ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
‘සියපත විල මත පුබුදන මුත් යස – උල්පත හැමදාමත් නිසලයි.
ප්‍රේමය හැමදාමත් නිසලයි.’
ප්‍රේමය කියන්නේ මුළු ලෝකයේම වැඩියෙන්ම කතා බහට ලක්වෙන වැඩියෙන්ම කවි ගී කතා ලියැවුණු වෙලාවක මහා සතුටක් තවත් මොහොතකින් කම්පනයක් හා වේදනාවක් බවට පෙරලෙන පුංචිම පුංචි වචනයකින් ධ්වනිත වූ මහා ප්‍රභල හැඟීමක් දැනීමක්.
ඒ ගැන මට හිතෙන දේ මතක මං පෙතට එකතු කරන්න හිතුනා.
මම ඉස්සෙල්ලම ප්රේමයයෙන් බැඳුණු ආදර කතාවක් ඇහුවේ පුංචිම පුංචි කාලෙදි රොමියො ජුලියට් ගේ ආදර කතාව. දෙන්නම ආදරය, ප්‍රේමය නිසා ම දිවි නසා ගත්තලුනෙ. සිය දිවි නසා ගැනීම මෝඩම මෝඩ වැඩක් කියලයි මට හිතෙන්නේ. ඒත් දෙන්නම ප්‍රේමය නිසාම ජීවිත ආශාව අත් හැරියා.
මේ ප්‍රේමයට මම කොච්චර බැඳුනද කියලා කියනවා නම් දන්න කියන කාලෙදි රෝමියෝ ජුලියට්ගෙ බැල්කනිය බලන්න ඉතලියටත් ඒ කතාව ලියපු ශේක්ස්පියර් හිටපු ගෙදර බලන්න ලංඩනයටත් ගියා. ඒ ප්‍රේමයේ බැඳීම මට කොතරම් දැනිලද..?
අශෝක මාලා සැඩොල් කුලේ නිසා රජ බිසවකට නුසුදුසු වූ නිසාත්, සාලිය ප්‍රේමයම වෙනුවෙන් රජකම අත් හැරියලු නෙ.
එංගලන්තෙත් මෑත ඉතිහාසයේ මෙහෙම කතාවක් ඇහුවා. අටවෙනි එඩ්වර්ඩ් රජු 1936 දී ඔහු ප්‍රේමයෙන් බැඳුණු විවාහයෙන් දික්කසාද වූ වොලිස් සිම්ප්සන් නැමැති ඇමරිකානු ජාතික සිය පෙම්වතිය විවාහ කරගන්න රජකම අත් හැරියා. ඒක හරි ලස්සන ආදර කතාවක්. කැමති අයට බලන්න හැකියි චිත්‍රපට කීපයක් තියෙනවා.
ප්‍රේමය වෙනුවෙන් රජකමට ඇති ආශාව අත හරිනවා කියන එක මට අනුව නම් විශාල පරිත්‍යාගයක්. මොකද අපි අහලම තියෙන්නේ රජකම වෙනුවෙන් පියා, සහෝදරයා, ස්වාමියා ඝාතනය කළ ඉතිහාසයක් නෙ. රජකම බදාගෙන අත්හැරීමට ඇති ලෝභකම තණ්හාව නිසාම ඒ වෙනුවෙන් ඕනෑම නපුරක් කරපු රජවරු නෙ.
පස්සේ කාලෙක අපි ඇහුවේ මොන වගේ ප්‍රේම කතාද? ආදර කතාද?
ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයයි පාරිශුද්ධයි කියා රහට සුගමව ඇසූ සුන්දරත්වය වෙනුවට, ‘ආදරය සුන්දර වරදකී කිසිදා සමාවක් නම් නැතී’,විදියට ඛේදවාචකවලින් කෙළවර කර ගන්නා විත්ති වාචක නොවෙයිද.?
මට ප්‍රේමය ගැන මෙහෙම ලියන්න හිතුනෙත් මේ ඊයේ පෙරේදා ඇසූ ප්‍රේමයක් ලෙස ඇඟවූ වංචනික කතාවකින් ආදරය..නෙ වෙනස් ද…?
මෙහෙම පටන් ගමු.
කොල්ලෙකුයි කෙල්ලෙකුයි වෙන්න ඕනෙත් නැහැ ඕනෙම පිරිමියෙකුටයි ගැහැණියෙකුටයි ආදරය කරන්න පුළුවන්නේ.
සම ලිංගිකයින්ටත් නිදහසේ ආදරය කරන්න පුළුවන් අපි ඉන්න රටේ නම්.
කොල්ලෙකුයි කෙල්ලෙකුයි ගනිමුකො පොදුවේ.
කෙල්ල කොල්ලගෙන් අහනවා
‘ ඔයා කවදාවත් වෙනස් වෙන්නෙ නැද්ද..? ‘
කොල්ලා කියනවා නිකං නෙමෙයි කෙල්ලව ළඟට අරගෙන තුරුල් කරගෙන තවත් ඕන නම් හාදුවකුත් දීලා.
‘ නැහැ රත්තරං කවදාවත් නැහැ’ කියලා.
මේ වගේ පොදු උත්තර රාශියක් තියෙනවා, මං වෙනස් වෙන්නේ නැහැ කියලා අනිකාට
කියන්න.
එහෙම වෙනස් නොවෙන මිනිස්සු ඉන්නවද..?
මට අනුව නම් නැහැ.
ඉර හඳ වගේ විශ්වාසයි කිව්වට
හඳ සොලොස් කලාවකින් වෙනස් වෙනවා.
සොලොස් කලා පිරි පුර හඳ දකින්න ආසා වුණත් අමාවක දා කලුවරේ ඉන්න වෙනවා.
ඉර අපි දකිනවා හැමදාම බැස යනවා එදාම
දකින්නේ නැහැ සමහර දවස්වල.
ඒත් පායනවා කියලා අපි දන්නවා.
ඒත් වෙනස් වෙලා කියලා අපිට පේනවා දැනෙනවා.
සුනිල් එදිරිසිංහගේ සිංදුවකත් කියනවා ලස්සනට පෙණ පිඩු නඟමින් ගලාගෙන යන ගඟුලක් චණ්ඩ වෙලා ගම් බිම් යට කරගෙන යන්න පුළුවන් දවසක වෙනස් වෙනවා. චිරාත් කාලයක් මහා ප්රතාපවත්ව ඉහළට නැඟී සිටි කඳු බිමටම කඩා පාත්වෙනවා නොහිතපු වෙලාවල් වල. මේ වගේ උදාහරණ ඕන තරම් තියෙනවා දන්නවා. ඔයා වෙනස් වෙන්නේ නැද්ද කියලා ආදරවන්තයෙක් අනෙකාගෙන් අහන එක මෝඩ අපරිණත ප්‍රශ්නයක් නෙමෙයි ද..?

සියලු සංස්කාර ධර්මයෝ වෙනස් වෙද්දී, මිනිස්සුන්ගේ සිත තමයි ඉස්සෙල්ලම වෙනස් වෙන්නේ. ආදරය කරන්න ඉස්සෙල්ලා වෙනස් වීම් දරාගැනීමට පුළුවන්ද කියලා තමන් තමන්ගෙන් අහලා දැන ගන්න ඕනේ. වෙනස් වීම් දරාගන්න සිත පුරුදු පුහුණු කරන්න ඕනෙ.
නිත්‍ය වශයෙන්ම ඔයා වෙනස් වෙන්නේ නැද්ද අහනවට වඩා හොඳම ප්රශ්නය තමයි
‘ඔයාට වෙනස් වීම දරාගන්න, ඒ අනුව හැඩ ගැහෙන්න පුළුවන් ද? ‘ කියලා අහන එක.
එහෙම පිරිමියෙකුට හරි ගැහැණියට හරි ආදරය කරන එක ලේසියි.
එහෙම වුණාම ප්‍රේමයයි, වෛරයයි ගැටෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. අත් හැරීම කියන අමාරුම දේ හරි පහසු වෙනවා.
සාලිය අශෝක මාලා, රෝමියෝ ජුලියට් ලා වෙනස් වූ ලෝකයේ තාමත් වලංගු ද මං දන්නේ නැහැ.
ප්‍රේමය ලොව හැම තැනම ඇතී, යමුනා මාලිනී ආදරණීය කිවිඳිය මෙහෙම ලියනවා
‘විල්තෙර දිය මත දියබුන් නඟනා – ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
සියපත විල මත පුබුදන මුත් යස – උල්පත හැමදාමත් නිසලයි.
ප්‍රේමය හැමදාමත් නිසලයි.’
මගේ ප්‍රේමය වගේ. මේ මට හිතෙන හැටි.
ජයන්ත සමරසේකර – ක්‍රයිස්ට්චර්ච්







