බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස්ව ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි 4 වැනිදා ස්වෛරී රාජ්‍යයක් වශයෙන් ස්වකීය ස්වාධීනත්වය දිනාගත් බව මීට වසර 76 කට පෙර පෙබරවාරි 4 වැනිදා සනිටුහන් විය . මේ කාල වකවානුව තුළ ලක්මව අභිමානයෙන් තිරසරින් අවිනිශ්චිත බවින් භීෂණයෙන් වෙහෙසකරින් සසලවූ අවස්ථා එමටය .ජාතියක ස්වාධීනත්වයේ සාර්ථකත්වය රඳා පවතින්නේ ජනතාව තෝරා ගන්නා මාර්ගය තුළය . මේ තුළ කාන්තාවට හිමි නිවහල්භාවය
එහි ඇති වගකීම් හා බලපෑම් පිළිබඳ කථා කිරීමට 76 වසරක නිදහස් සමරුව නිමිත්තක් කරගතිමි.
බුදුදහම වටා ගොඩනැගුන සංස්කෘතියක් තුළ අපේ කාන්තාවන් නිදහස නිවහල් බව බුක්තිවින්දෝ වූහ . කෘෂි ආර්ථික රටාව වටා ගොඩනැගුණු ගම හා සමාජ සංස්කෘතිය තුළ ඔවුන් යම් යම් සීමාවන් තුළ වුවද තම ආදීනත්වය බුක්ති වින්දෝය . කාන්තාවන් හට ගේදොර වැඩ කටයුතු හා දූදරුවන් හදා වඩා ගැනීමේ කටයුතු අතර කොටුවීම් තිබුණත් අපේ සංස්කෘතියේ මාතෘ සංකල්පය තුළ කාන්වකාන්තාව වඩා ගෞරවණීය තත්ත්වයක් ලැබූවේය. ශ්‍රී ලාංකීය කාන්තාවගේ ස්වාධීනත්වය පිළිබඳ අතීතාවලෝකනයක යෙදුනොත් ඒ පිළිබඳ සාක්ෂි එමටය. අපේ දේශය එක්සේසත් කිරීමේ පුරෝගාමී වූ අභිමානවත් කාන්තා රත්නයක් වූ විහාර මහාදේවියත් නිවහල් නිදහස් අදහස් තුළින් තම කවිකම පතල කළ ගජමන්නෝනා, රංචාගොඩ ළමයා වැනි කතුන් ද ලෝකයේ පළමු අගමැතිනිය ශ්‍රී ලාංකික කාන්තාවක් වීම ද නිදසුන් කරගත හැකිය. කාන්තාවන් විශ්වවිද්‍යාල අධ්‍යාපනික වරම් ලැබූ පසුව පුරුෂ පක්ෂය මෙන්ම වගකීම් හා දක්ෂතා ඇතිව කටයුතු කළ හැකි බව සපත කරමින් ඉදිරි ගමනක යෙදුණේය.
පරිපාලන සේවය ,වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ පමණක් නොව පාලන තන්ත්‍රයේ ද ආරක්ෂක හමුදාවන්ට ද දායකත්වයදීම අපේ කාන්තාවන් අභියෝගයක් කොට ගත්තේය.
මෙය මෙසේ හැඩගැසෙද්දී එදා විදේශිකයන් අත පැවති පාලනය ස්වදේශිකයන් අතට පත් වීමත් එයින් වැඩි ප්‍රමාණයක් අපරදිග සංස්කෘතිය වැළඳගත් කළු සුද්දන් වීමත් නිසා කාන්තා නිදහසට එය වක්‍ර බලපෑමක් විය . මිෂනාරින් විසින් තම ආගම ප්‍රචාරය කිරීමට ශ්‍රී ලාංකිකයන් පොළඹවා ගැනීමට දැරෑ උත්සාහයේ දී මුලින්ම කොටුවූයේ බහුතරයක් කාන්තාවන්ය. ඒ නිසාම චිරාත් කාලයක් අප සංස්කෘතිය හා සාරධර්ම තුළ ස්ථාපිතව තිබූ අපේ කාන්තාවන්ගේ ගමන් මග වෙනස් වෙමින් ඔවුන්ගේ නිවහල් සිතුම් පැතුම් ද වික්ෂිප්තභාවයට පත්වූ බව රහසක් නොවේ.
කාන්තා විමුක්තිය නමින් අප රටට ආධුනික වූ බටහිර සමාජ සංකල්පය අපේ සමාජයට බලෙන් රිංගවමින් කාන්තාවන්ගේ මානසිකත්වය විපරීත කිරීමට මිෂනාරීන් මෙන්ම අපේ කළු සුද්දන් ද සම්බන්ධ විය. තමාට හිමි වගකීම් සංස්කෘතික රාමුව තුළ රැකගෙන සාමකාමි ජීවිත ගත කළ නගරබද පමණක් නොව ගම්බද ගෘහණියන්ගේ පවා මානසිකත්වය අවුල් කරමින් කාන්තා විමුක්තිය නම් වූ සංකල්පය සමාජ ගත විය. අපේ කාන්තාවන් මානසිකව පහළට ඇදදමමින් ජනමාධ්‍ය හරහා පමණක් නොව NGO සංවිධාන ද අද කාලයේ කාන්තාවන් ඒ තුළ විකිණෙන වෙළඳ භාණ්ඩ බවට පත් කර ගෙන හමාරය. සමාජමය වශයෙන් කාන්තාවන් ලබා තිබූ නිවහල් බව ඔවුන් මේ සංකල්ප තුළින් බාල්දු කර ඇත. අද අපේ කාන්තාවන් ගෘහස්ථ ප්‍රචන්ඩත්වයට සේවා ස්ථානවල අසාධාරණත්වයට සූරාකෑමට මෙන්ම මගතොටේ බස් රථවල අතවරයන්ට ලිංගික අපචාරයනට සමාජ මාධ්‍යය හරහා සිදුවන ඝාතනයන්ට ද ලක්වීම සුලභව දක්නට ඇත. නමුත් මේ හා සමානවම මිනිස් සිත් සතන් දූෂණය කරන සමාජීය විෂමතාවන් නිසා කාන්තාවන් ද මානසික විකෘති භාවයනට නොදැනුවත්වම පත්ව ඇත.
මුදල් පසු පස හඹා යමින් මවුවරුන් මාතෘත්වයේ ගෞරවය නැති කර ගන්නා අවස්ථා ද දූවරුන් දෙමපියනට අවමන්වන සදාචාරාත්මක සමාජයක ගුණ ධර්මයන්ට පටහැනි වීමත් මත්ද්‍රව්‍ය වෙළඳාම, ගණිකා වෘත්තීය, කිරි දරුවන්ගේ ආරක්ෂාව අනාරක්ෂිත පාර්ශ්වයන්ට භාර දී ඩොලර්, දිනාර් පසුපස හඹා යෑමත් අද සාමාන්‍ය දෙයක්ව ඇති බව අපි දනිමු. කාන්තාව යනු තම පවුල් ඒකකයට ආදරය කරන එහි අගය මනාව වටහාගෙන පවුලේ දියුණුවට ඕනෑම දෙයක් කැප කරනා කෙනෙකි. සමාජය ඔවුන්ට කෙසේ සැලකුවත් කාන්තා සංහතියම මවක් දියණියක් සහෝදරියක් හා මිතුරියක් බව සමස්ථ සමාජය හා ඇය ද පසක් කරගන්නේ නම් සමාජ ගෞරවනීයත්වයෙන් කාන්තාව ගිලිහී නොයනු ඇත. කාන්තාවන් ස්වාධීන නිවහල් බවේ පමණක් නොව සමාජ ගෞරවනීයත්වයේ සංකේතයක් වේවායි මගේ හෘදයාංගම ප්‍රාර්ථනයයි.
රාණි කිරිමැටියාව – ඕක්ලන්ඩ්