ශ්‍රී ලංකන්ස් පසුගිය කලාපයේ විභාවී යටතේ පළ වූ “බෞද්ධ විද්‍යාව – බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය” නමැති ලිපිය පිළිබඳව
ශ්‍රී ලංකන්ස් පසුගිය කලාපයේ විභාවී යටතේ පළ වූ “බෞද්ධ විද්‍යාව – බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය” නමැති ලිපිය මුලින්ම බුදුදහම දෙස අද සමාජය බලන විවිධ දෘෂ්ටිකෝණයන් පිළිබඳව විස්තරාත්මක විවරණයක් සපයන්නට ප්‍රතිඥා දෙයි.
එහිදී ලිපියේ කතුවරයා කියන්නේ බුදුදහම නවීන විද්‍යාව සමග දක්වන සමීපතාවය නිසා බටහිර ලෝකය බුදුදහම විශ්ලේෂණාත්මකව අධ්‍යයනය කිරීමට ඉදිරිපත්ව ඇති නමුත් පෙරදිග ලෝකයේ ගතානුගතික බෞද්ධ ජනතාව උනන්දුවෙන් යෙදෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතිකාවක බවයි.
මෙසේ තමා විසින්ම විස්තර කරන මෙම වාතාවරණය යටතේ කතුවරයා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයත් එම ධර්ම මාර්ගය භාවිතා කිරීමෙන් ලබාගත හැකි ප්‍රතිඵල කුමක්ද යන්නත් අධ්‍යයනය කිරීමට පෙළඹී ඇත. ඔහුගේ සමහර කරුණු ගැන එකඟ විය හැකි නමුත් සමහර කරුණු බැහැර කිරීමට තරම් සාධක ඉදිරිපත් කිරීමට පුළුවන.
බුදුරජුන් ධර්මය දේශනා කළේ දෙසැටක් මිථ්‍යා දෘෂ්ටීන් තිබූ සමාජයකය. උන්වහන්සේ තම දහම පිළිබඳව පැහැදිලි විස්තරයක් තමන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනයෙහිදීම ඉදිරිපත් කළහ. ඉන් පසුද වරින්වර ඒ ගැන විමසූ සමාජයේ නොයෙක් ස්ථරවල පුද්ගලයින්ට ද තම ධර්මය පිළිබඳව හදුන්වා දේශනා කළහ. මේ අනුව බුදුරදුන් දේශනා කළේ කුමක්ද? බුදු දහම යනු කුමක්ද ? යන්න පිළිබඳව උන්වහන්සේටත් වඩා පැහැදිලි නිවැරදි අර්ථකථනයක් කිසිවකුටවත් දිය හැකිද යන්න විමසිය යුතුය.
ලිපියේ කතුවරයා වර්තමාන ලෝකයේ ඇති ආගම් ප්‍රධාන කොටස් දෙකකට පමණක් බෙදන අතර ඉන් දෙවැනි කොටස ගැන විස්තර කරන්නේ පැහැදිලිවම බුදු දහමත් එහි අඩංගු කිරීමට සැලසුම් කරගෙනමය. ඔහුට අනුව සසර සැරිසරන පුද්ගලයාට බුදු දහම ආගමකි. තර්ක විතර්කයෙන් තොරව හුදු විශ්වාසය මත සත්‍යයයි පිළිගැනීමට සිදුවී ඇති බුදුරදුන් දේශනා කළ “ලෞකික සම්මා දෘෂ්ටිය”ද දෙවන ආගම් කොටසට වැටෙන බව ඔහු කියයි.
ලෞකික සම්මා දෘෂ්ටිය නොහොත් කම්මස්ස කතා සම්මා දිට්ඨිය යනු “දන්දීමෙහි විපාක ඇත, පූජා පැවැත්වීමේ විපාක ඇත, ආදි වශයෙන් වූ කරුණු දහයක් පිළිබඳව නිවැරදි දැනීම” බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මෙහි කරුණු දහයක් ඇති බැවින් ඊට දසවස්තුක සම්මා දිෂ්ඨිය යයිද කියනු ලැබේ. අද සමාජයේ බොහෝ දෙනාට නැත්තේද, බොහෝ දෙනා සැක කරන්නේ ද වාද විවාද කරගන්නේ ද මෙම සම්මා දිට්ඨියේ අඩංගු කරුණු ගැනය.
බුදු දහමට අනුව පිළිවෙත් මාර්ගයේ යාමේදී මුලින්ම කළ යුතු වන්නේ ලෞකික සම්මා දිට්ඨියේ පිහිටීමය. කෙනෙකු මේ ගැන නොදැන සිටියද තිසරණය සමාදන් වීමෙන් කෙනෙකු කරන්නේ එම ලෞකික සම්මා දිට්ඨියේ පිහිටීමය. ලෞකික සම්මා දිට්ඨියේ කරුණු දහය ප්‍රවේශමෙන් තේරුම් ගත්තා නම් තිසරණ සමාදන් වූ කෙනෙකු තමා මේ වන විට ලෞකික සම්මා දිට්ඨියේ පිහිටා සිටිය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ.
නමුත් අප කතුවරයා කියන විදිහට මෙහි ඇති කරුණු දහය පිළිගැනීමට නම් ඒවායේ සත්‍ය අසත්‍යතාවය සාධනය කරගත යුතුම වේ. නමුත් ඒවා කෙනෙකුට සාධනය කර ගැනීමට බැරි බව ඔහු කියයි. ඔහු මතු කරන්නේ අනවශ්‍ය තර්කයක් වුවත් එය අද බෞද්ධ අප බොහෝ දෙනෙකුට විමසා බැලීමට තරම් වටිනා අදහසකි.
ඔහුට දියයුතු පිළිතුර ඉතා සරලය. ලෞකික සම්මා දිට්ඨියේ අංග අතුරින් දහවැන්නෙන් දැක්වෙන්නේ “සාමාන්‍ය මනුෂ්‍යයන්ට ඔවුන්ගේ පසිඳුරන්ගෙන් දැනගැනීමට අසීරු කරුණු විශේෂයෙන්ම මෙම ලෞකික සම්මා දිෂ්ඨියේ සඳහන් මුල් කරුණු නමය ද තවත් කරුණු ද තම උත්සාහයෙන්ම ධ්‍යාන වඩා අභිඥා උපදවා ඒ මගින් දැන දැක ප්‍රකාශකරන මහණ බමුණන් ලොව සිටින බව” පිළිගැනීමයි. මේ ගැන ප්‍රශ්න කරන ඕනෑම කෙනෙකුට අවශ්‍යය නම් ඒ මහණ බමුණන් මෙන්ම තමාද උත්සාහවත් වී වීරිය කරන්නේ නම් ඒ අයටද එම තත්ත්වයට පත්වීමට පුළුවන. එමගින් එම කරුණු දහයේම සත්‍යතාවය තමුන්ටම තහවුරු කරගත හැක.
සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වනාහි එවැනි මහණ බමුණන් අතර සියල්ලම දන්නා ඥානය උපදවාගත් උත්තමයාය. අපි “බුද්ධං සරණං ගච්ඡාමි” යන්නෙන් ප්‍රතිඥා දෙන්නේ ඒ සියල්ල දත් බුදුරජාණන් වහන්සේ සරණ යන බව හෙවත් පිහිට කරගන්නා බවයි. මේ අනුව සරණාගමනයේදීම අපි ඒ දකින්නට හෝ ඔප්පු කිරීමට අසීරු “ලෞකික සම්මා දිට්ඨියේ” පිහිටා සිටිමු. ඉන් පසු ඒ ගැන සැක කිරීමට අවශ්‍යතාවයක් නැත. අවශ්‍ය වන්නේ එම ලෞකික සම්මා දිට්ඨියේ පිහිටා ලෝකෝත්තර සම්මා දෘෂ්ටිය ලැබීමට කටයුතු කිරීමයි, එනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමයි.
ලෞකික සම්මා දෘෂ්ඨියෙහි කරුණු ඔප්පුකොට පෙන්වීම අපහසු බව කී කතුවරයා ලිපියේ දෙවන භාගයේදී චතුරාර්ය සත්‍ය අවබෝධ කොට නිවන් පසක් කර ගැනීම පිළිබඳව දක්වන්නේ ධනාත්මක අදහසකි.
බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය දර්ශනයක් ද නැත්නම් විද්‍යාවක් ද යන්න පිළිබඳව අදහස් දක්වන කතුවරයා අන්තිමේදී එය විද්‍යාවක්ද බව කියයි. බුදුදහමට අනුව ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ඕනෑම පුද්ගලයකුට එකසේ නිවනට යා හැකි නිසා එය සත්‍යයයි ඔප්පු වන ප්‍රතිපත්තියක් බවටද තහවුරු කර ගනී.
අවසාන වශයෙන් කිවහොත් අප විසින් කළ යුත්තේ බුදු දහම ආගමක් ද දර්ශනයක් ද විද්‍යාවක් යනුවෙන් වාද විවාද කර ගැනීමට වඩා ඉතා සරල ලෙස දේශනා කළ බුද්ධ අවවාදය එනම් “අප්පමාදේන සම්පාදේථ” යන බුදු වදන අනුව වහා ක්‍රියාත්මක වීමයි. කතුවරයා පැහැදිලි කර දෙන ලෙස එම වහා ක්‍රියාත්මකවීම බුද්ධ ශාසනයට කල් දැමීම කිසිසේත් නුසුදුසුය.
ඇත්තෙන්ම අප ප්‍රතිපත්තිගරුක බෞද්ධ පිරිස වැඩි වැඩියෙන් වහා නිවනට කටයුතු සම්පාදනය කරන නමුත් අපේ බොහෝ භික්ෂූන් වහන්සේලා තවමත් කලක සිට සිය සංඝ පරම්පරාවලින් ගෙන ආ “පින් වාක්‍ය” අවසානයේ දී මෙතේ බුදු සසුනට යාමට සිංහල බෞද්ධයින් පෙළඹවීම ගිහි පැවිදි දෙපිරිසම එක් වී සුහදව විසඳාගත යුතු දෙයක් බව නම් නොකියාම බැරිය.
ජගත්සිරි පුෂ්පකුමාර
ඕක්ලන්ඩ්