fbpx
12.9 C
New Zealand
Sunday, April 28, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

මල් නිම්නයක රේඛාව – නිම්රේඛා කොලින්ස්

Must read

මල් සැකසුම් කලාව පිළිබඳ මනා දැනුමකින් ඇති නවසීලන්තයේ සාර්ථක ව්‍යාපාරයකට හිමිකම් කියන නිම්රේඛා කොලින්ස් මහත්මිය අද ශ්‍රී ලංකන් අපේ Youtube නාලිකාව හරහා පැවැත්වෙන පිළිසඳර වැඩසටහනට සහභාගි වී සිටිනවා.

ආයුබෝවන් නිම්රේඛා මහත්මිය. මේ දවස් වල ඔබතුමියගේ වැඩකටයුතු කාරිය කොහොමද?
ආයුබෝවන්….සුපුරුදු පරිදි ගෙදර දොරෙත් රස්සාවෙත් වැඩකටයුතු සමබරව කරගෙන යනවා.

මල් සැකසුම් කලාව ගැන හොද දැනුමක් තියන ඔබ මේ ක්ෂේත්‍රයට යොමු වූයේ කොහොමද කියන්න පුළුවනිද?ලංකාවේ දී වගේම නවසීලන්තයේදිත් මල් හා සම්බන්ධ වැඩ වල නිරත වුණාද?
පුංචි කාලේ පටන්ම මල් හා පලතුරු පැල ගැන මූලික දැනුමක් මගේ අම්මගෙන් ලැබුණා. ලංකාවේදි මල් වලට බැදීමක් තිබුණ වගේම ආදායම් මාර්ගයක් සකසා ගන්නත් මට ආසාවක් තිබුණා. නවසීලන්තයේදී මගේ මහත්මයාගේ අම්මගේ මාර්ගයෙන් මට මල් හා සම්බන්ධ වීමට අවස්ථාවක් උදාවුණා. මල් සැකසුම් කලාව ගැන ඉගෙනගත්තා. අද මේ අංශයට අවශ්‍ය ඉගෙනුම් කටයුතු කරගනිමින් මගේ ව්‍යාපාරය කරගෙන යනවා.

ලංකාවේදී අම්මාත් ඔබත් මල් වගාව වගේ දේවලට සම්බන්ධ වුණේ කොහොමද?
අම්මා ලස්සනට මල් සැදුවා. මගේ රාජකාරිය වුණේ හවසට ඒවට වතුර දාන ඒක. ඒවත් එක්ක ජීවත් වෙන්න පාර හැදුණේ එහෙමයි. මට හොඳට මතකයි අපේ ගෙදර අඹ ගහ වටේ ලස්සනට හදල තිබුණ ඇන්තූරියම් වගාව. මේ හේතු නිසාම කාලයාගේ ඇවෑමෙන් ඇන්තූරියම් ගෙදර අය කියල අහල පහල අය අපිට කතා කරන්නටත් පටන් ගත්තා.

මල් සැකසුම් කලාව පටන් ගත්තෙ විනෝදාංශයක් විදිහට. මම අවුරුදු 14 දී ඒක ව්‍යාපාරයක් විදිහට දියුණු කරන අදහස අම්මට කියල, මම මුලින්ම ඇන්තූරියම් පැල පැකට් කරල විකුණන්න අඩිතාලම දමාගත්තා. කලින් කිසිම අය කිරීමකින් නැතිව පැල ඉල්ලා ගත්තු අසල්වැසි යහළුමිත්‍ර සියලු දෙනා කිසිම පැකිලීමකින් නැතිව පැකට් කළ පැල මිලදී ගන්න පෙළඹුණා. ගෙදරම කුඩාවට පටන් ගත් මේ ව්‍යාපාරය මට අවුරුදු දාහත-දහ අට වෙන කොට “රේඛා පැල තවාන” ලෙස වැඩි දියුණු කරන්න පුළුවන් වුණා. අම්මගෙන්, අප්පච්චිගෙන් සහෝදරයන්ගෙන් ලැබුණු සහයෝගය නිසාම මේක පවුලේ ව්‍යාපාරයක් විදිහට වැඩිදියුණු කරන්න පුළුවන් වුණා. පැළ තොග විදිහට ප්‍රවාහනයට මගේ පොඩි අයියා ගෙන් උදව් ලැබුණා. අම්මා අනිත් ගනුදෙනුකළා. අදටත් මේ පැල තවාන පොඩි අයියා යටතේ ලංකාවේ කෙරීගෙන යනවා.

ලංකාවේ පැල අලෙවි කරන අය තැන් තැන් වලට ගිහින් තමන්ගේ පැළ විකුණනවා. ඒ පැත්තට යොමු වුණේ නැද්ද?
ප්‍රදර්ශන කුටිවලටත් , ගන්නෝරුව පැල අලෙවි සැල වගේ තැන්වලටත් අපි පැල දැම්මා. ඊට අමතරව මම උසස් පෙළ හදාරන කාලයේ සෙනසුරාදා දවස් වල පොලවල් වලට අරන් ගිහින් පැල විකුණුවා.

කුඩා කාලයේ පටන් මම ඉගෙනීමට දක්ෂයි. මම හැම වාරයකදීම වාගේ පන්තියේ පළවෙනියාත් වුණා. ඒ වාගේම ඉතාම හිතුවක්කාර චරිතයක් වගේ වුණු නිසා මම හැම වේලෙම මට අවශ්‍ය දේ විතරක් කරන්න පෙළඹුණා. මුලින්ම වාහනයක් කුලියට අරන් පැළ විකිණීම ආරම්භ ක‍ර, ව්‍යාපාරය දියුණු කරන අරමුණින් පොහොර පැකට් කිරීමටත් යොමුවුණා. මෙයාකාරයෙන් ව්‍යාපාරය දියුණු වෙන කොට අප්පච්චිගේ ආසාව සැබෑ කරල ගෙදරට මුලින්ම වාහනයක් ගන්න තරම් මම වාසනාවන්ත වුණා.

ඒ අතර සිදුවුණු මිහිරි හෝ අමිහිරි මතකයක් ගැනත් මතක් කිරීමට කැමතිද?
පොළට ගිය සෑම දවසකම කට්ට කලු වෙන්න පිච්චිලා සෙරෙප්පු පටිවල පාර හිටින තරමටම කකුල් දෙක කළු වෙලා තිබුණු විදිහ මට හොඳටම මතකයි. පොළට යන අතරතුරදී හඳුනාගත් හුග දෙනෙක් අපෙන් තොග විදිහට පැළ ගන්න යොමු වුණා. සිල්ලරට වඩා ලාභයක් තොග විදිහට විකුණන කොට ලැබුණා. දොළොස් දෙනෙක් හිටිය සේවක මණ්ඩලයක් සහ වාහන තුනක් තවානේ නඩත්තුවට යොදාගෙන පැල තොග වශයෙන් දීමට අපි වැඩියෙන්ම යොමු වුණා.

ලංකාවේ ඹබේ ගම් පළාත?
මම කුරුණෑගල වාරියපොල. වාරියපොල පුත්තලම් පාරේ රේඛා පැල තවාන අදටත් ඔයාලට දැක ගන්න පුළුවන්. මේ වන කොට ශාඛා තුනකට රේඛා පැලතවාන විහිදිලා තියනවා.

ඔබේ පාසල් කාලය ගැන මතක් කළහොත්?
මම කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් ඉගෙනීම් කටයුතු කළා. ගුරුවරුන් මාව ඉගෙනීම් කටයුතු පැත්තට නැඹුරු කිරීමට උත්සාහ කළා. ඒත් මගේ හිතුවක්කාර කම නිසාම මට අවශ්‍ය දේ පමණක් ම කිරීමට මම හැම වේලෙම පෙළඹූණා. ඒත් මම අද ඉන්න තැන පිළිබඳ ඉතාමත්ම සතුටුයි. වැරදුණ තැන් තිබුණත් ඒවාගෙන් අලුත් පාඩම් ඉගෙන ගන්න ගමන් මම මගේ ගමන ගියා.

ඔබ නවසීලන්තයට ඒමට පෙළඹ වූ කරුණු මොනවාද?
හොඳට ඉංග්‍රීසි කතාකිරීමට පුලුවන් වෙන රටකට යන්න ඕනේ, එහෙමත් නැත්නම් ඇපල් ගෙඩියක් ගහෙන් කඩාගෙන කන්න ඕනේ වගේ පොඩි ආසාවල් මට තිබුණා. මට හීනයක් තිබුණද ඒ සැබෑ කරගැනීමට කෙසේ හෝ පාරක් සකසා ගන්නවාමයි. ඒ මගේ හැටි. පුංචි කාලයේ සිටම සල්ලි අතපත ගෑමට ආසාවක් තිබුණු මට ඒ වන කොට අම්මට රත්තරන් මාලයක් අරන් දෙන්න තරම් හැකියාවක් මට තිබුණා. පරණ පෙම්වතාගේ කතාව විවිධ දේවල් වෙනස් වීමට තුඩුදුන්නත් අතර අවුරුදු 23 දී නවසීලන්තයේ එන්න මට පුලුවන් වුණා.

නවසීලන්තය වගේ රටකට පැමිණ ව්‍යාපාරයක් කිරීම ඔබට හැඟෙන්නේ කෙසේද?
මාගේ සැමියාගේ පාසල් කාලේ මිතුරෙකුගේ මැදිහත්වීම තුළින් අපේ ආදර කතාව blind date එකක් තුලින් පටන් ගත්තා. මේ සම්බන්ධය ගලායාමට Jono එසේත් නැත්නම් මගේ සැමියාගේ මවගේ මල් ව්‍යාපාරයද ලොකු පිටුවහලක් වුණා. පළමු හමුවීමෙන් සතියකට පමණ පස්සේ ඔහුගේ දෙමවුපියන්ගේ එක්ක මගේ හමුවීම සිදු වුණා. ඊට දින කීපයකට පස්සසේ Black Rose Florist නමින් Plimmerton Garden Centre වල පවත්වාගෙන යන අම්මාගේ මල් කඩයට යන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ මුල් හමු වීමෙන්ම මට ඇයගේ ආරාධනයෙන් ඇය හා එක්වී වැඩ කිරීමට අවස්ථාවක් සැකසුණා. එය මාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් ලෙස මට හඳුන්වා දිය හැක. ඇයගේ ආභාෂය නිසාම මල් සැකසුම් කලාව වෘත්තියක් ලෙස කරගෙන යාමට අවශ්‍ය සියලුම ඉගෙනීම් කටයුතු සකසා ගැනීමට මට අවස්ථාවක් ලැබුණා වගේම ඒ තුළින් මල් ව්‍යාපාරයට මුල් අඩිතාලම දමා ගැනීමට තරම් මම වාසනාවන්තවුණා.

ඔබ වැඩිදුර අධ්‍යාපනයට යොමු වුණේ කොහොමද?
මම මගේ අධ්‍යාපන කටයුතු කළේ New Zealand Professional Florists ආයතනය හරහා. එතනදී රස්සාව කරන ගමන්ම ඉගෙනීම් කටයුතු කරනවා නම් ප්‍රායෝගික පුහුණුව ලැබෙනවා. අන්තර්ජාලය හරහා ඉගෙනීම් කටයුතු කර ගන්නත් පුළුවන්. මමත් රැකියාව කරන අතරතුර අත්දැකීම් ලබා ගනිමින් ඉගෙනීම් කටයුතු ඒ ආයතනය හරහා සිදු කළ කෙනෙක්. මම Professional Level 3 Certificate Holder කෙනෙක්. ඊට අමතරව New Zealand Professional Florists, Inter Flora ආයතන මගින් පැවැත්වූ තරඟ සඳහා මම සහභාගි වෙලා තියෙනවා.

මල් සැකසුම් කලාව පිළිබඳ තරඟ වලට ඔබ සහභාගි වෙලා තියෙනවද? ඒ තරඟ මොනවාද?
රැකියා කරන ආයතනයෙන් වගේම ඉගෙනීම් කටයුතු කරන ආයතන හරහාත් විවිධ තරඟ වලට සහභාගී වෙන්න මට අවස්ථාව ලැබුණ. Garden show වල ද තරඟ පවත්වනවා. Interflora ආයතනය හරහා අවුරුදු හතරකට වරක් දේශීය වශයෙන් පවත්වන, නවසීලන්ත වැසියන් පමණම සහභාගී වන තරඟය සඳහා මම සහභාගි වී වෙලා 2017 වර්ෂයේ Pascifi Cup එක ජයග්‍රහණය කළා. ඒක මගේ ලොකු භාග්‍යයක්. ඊට අමතරව New Zealand Florist ආයතනය මගින් පවත්වන තරඟවලින් පළමු ස්ථානය සහ දෙවැනි ස්ථානය ලබා ගෙන තියනවා.

ඔබගේ සහකාරයගෙන් ලැබෙන සහයෝගය මොනවාගේද?
මගේ මහත්මයාගේ නම Jonathan නැත්නම් Jono. දරුවන්ගේ වැඩකටයුතු වලදී ඔහුගෙන් ලැබෙන සහයෝගය ඉතා විශාලයි. ඒ නිසාම ව්‍යාපාර කටයුතු පහසුවෙන් කරගෙන යාමට අවශ්‍ය සහාය ඔහුගෙන් ලැබෙනවා.

තමා කැමැති දේ කරගෙන ඉදිරියට යෑම ඔබ දකින්නේකොහොමද?
එහි වටිනාකම ඔබගේ මානසික නිදහසයි. මගේ ව්‍යාපාරය පටන් ගත් දා සිටම හරිම සැහැල්ලුවෙන්, ඉතාම කුතුහලයෙන්, හැම උදයකම වැඩට යන්න සූදානම් වෙනවා. එය ඇත්තටම මගේ මානසික නිදහස පවත්වාගන්න රුකුලක්.

නවසීලන්තයේ පවත්වාගෙන යන ඔබගේ ම ව්‍යාපාරය ගැන කතා කළොත්?
අවුරුදු 17 ක ට පෙර මේ ක්ෂේත්‍රයට පැමිණි මම අවුරුදු එක හමාරකට පටන් මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. මාගේ සැමියා ගේ අම්මාගේ මල් ව්‍යාපාරයේ එක් ශාඛාවක් අද වෙද්දි පොරිරුවා වෙළඳ සංකීරණයේ පවත්වාගෙන යනවා.

ව්‍යාපාර සඳහා අවශ්‍ය වන මල් ලබා ගන්නේ කොහොමද?
95% ක් පමණම නවසීලන්තය තුළින්ම ලබා ගන්නා මල් අපි මේ සඳහා භාවිතා කරනවා. මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල් වලින් මල් ඉතාම සුළු ප්‍රමාණයක් ගන්නවා. කොලොම්බියාව වැනි රටවලින් රෝස මල් ලැබෙනවා. ඒ අතර කෝවිඩ් වසංගතයෙන් පස්සේ ඒ් රටවලින් ලැබෙන මල් ප්‍රමාණය නැවතුණා. නවසිලන්තයේ මල් වෙළඳපලේ කේවල් ක්‍රමයට මිලදී ගන්නවා. පස්සේ කඩේට අරන් මල් සැකසුමවලට යොදා ගන්නවා.

ඔබේ අතින් සැකසුණු මල්, සේවාවක් ලෙස ලබා දෙන්නේ කෙසේද?
මාගේ ආයතනය උදේ නමය පටන් සවස හය දක්වා දින හතේම විවෘතව තියනවා. අන්තර්ජාලය ඔස්සේ ද ඇණවුම් කරන්න පුළුවන්. ඒ ගමන් අවට ඉන්නා අයට එතනට ඇවිත් තම උවමනාවට සරිලන විදිහට මල් ලබාගත ගන්න පුළුවන්. ඊට අමතරව ඔබ ලංකාවේ සිට නවසීලන්තයේ ඕනෑම ස්ථානයකට මල් යැවීමට මට හැකියාවක් තියනවා.

අපි කැමතියි විවාහ මංගල උත්සව වලට මල් යැවීම ගැන ටිකක් දැනගන්න.
නවසීලන්තයේ ගිම්හාන කාලයේදි මංගල උත්සව හුඟාක් පැවැත්වෙනවා. ඒ අවශ්‍ය විදිහට මල් සකසා දෙන්න අපට පුළුවන්. ගිම්හාන කාලයට අමතරව අවුරුද්ද පුරා පැවැත්වෙන විශේෂ දිනයන් වල මම ඉතාම කාර්ය බහුලයි.

ඔබ ඔබේ මේ ආ ගමන ගැන සතුටුද?
ඇත්තටම සතුටුයි. තමාට බලාපොරොත්තුවක් තිබේ නම් එය හඹා යාමට බයවෙන්න එපා. අවශ්‍ය පියවරවල් අවශ්‍ය වෙලාව දීගන්න. එය ඔබේ ගමනට පහසුවක් වේවි. මාගේ මේ ගමනෙදි මං ගත්ත තීරණ සමහර අවස්ථාවලදී හිතුවක්කාර තීරණ වුණත් අදම මේ ඉන්න තත්ත්වයට ඒමට එය ඒවා රුකුලක් වුණා. මට මම ගැන ඇත්තටම සතුටුයි.

අවසාන වශයෙන්, විශේෂ යමක් මතක් කිරීමට හෙම තියනවාද?
මා සම්බන්ධ කර ගත්තාට SrilankaNZ පුවත්පතට, කාර්යමණ්ඩලයේ සියලුම දෙනාටම ස්තුතිවන්ත වෙනවා.

අපි, SriLankaNZ, ඔබ මෙතෙක් ආ ගමන ගැන අවංකවම සතුටු වෙන ගමන්, ඔබගේ ඉදිරි වැඩ කටයුතු තව දුරටත් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා. අප හා එකතුවීම ගැන ස්තූතියි.

Interviewed by Dimuthu Wijesooriya – Wellington
Written By Gavitri Yatigammana – Wellington

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.