මෑත දවසක අන්තර්ජාලයේ සැරිසරන විට හරි අපූරු ගීතයක් නෙත ගැටුණා. තාරුණ්‍යයේ වැඩක්. ගීතය ගායනා කරන්නේ අපේ පුංචි කාලේ ලස්සන කරපු හපන් පැදුරේ සිංදු කිව්ව දිනූපා කෝදාගොඩ. ගීතයට සංගීතය යොදා ගීතය ගායනා කරන අනිත් සගයා නදීක වැලිගොඩපොල.

අපි අහන ගොඩක් ගීත ලියවිලා තියෙන්නේ ආදරය ,විරහව, අම්මා, තාත්තා වැනි තේමාවන් ඔස්සේ. මේ ගීතය එයින් පරිබාහිරවයි ඉන්ද්‍රප්‍රිය උදිත කුමාර ලියලා තියෙන්නේ.ඒ නිසාමයි මොහොතක් නැවතිලා සිංදුව අහන්න හිතුනේ. ගීතයේ තේමාව තමයි “හිට්ලර් වගේ රජවරු බිහිකරන මහජනතාවෝ.” ගීතය පුරාවටම කියවෙන්නේ රටක ජනතාව කොතරම් ප්‍රබල සාධකයක් වනවාද එම රටෙහි ප්රගමනයට මෙන්ම ජනතාව සතු වගකීම් කොයිතරම් ද යන්න පිළිබඳවයි.
ගීතයේ පටන්ගැන්ම,
“දහඩිය වගුරා කැටයම් ඔපලා
ඔටුනු තනන්නෝ කම්කරුවෝ
කෙත පූදින්නට පස පෙරලන්නට
නගුල තනන්නෝ කම්කරුවෝ.”
මේ පේළි කීපය ඇහෙද්දි මගේ මනසට ආවේ රුසියන් ජාතික මිහායිල් ෂොලොහොව් ගේ “පෙරලූ නැවුම් පස,” පොතයි. දනිලව් නම් තරුණයා තම ගම් වැසියන් ද එකතු කරගනිමින් දහඩිය වැගිරුවේ සාර් රජ පාලනය බිඳ දමා සමාජවාදී කිරුළ පළඳින්නට ය. ඔවුන්ගේ වෑයම 1917 දී සාර්ථක විය. ජනතාව එතරම්ම ප්‍රබලයි. එමෙන්ම හිට්ලර් වැනි ඒකාධිපතියන්ට රටක නායකත්වය ලබාදිමටද ජනතාවට හැකි වන බව අමතක නොකළ යුතුයි.
“ඇඟිලි කපාගෙන මාල තනන්නට
සොරුන් හදන්නෝ ගුරු දෙවියෝ
බුදුන් දකින්නට පාර කියා
විවරණ දෙන්නේ ගුරු දෙවියෝ.”
ගුරුවරයෙක් යනු රටක අනාගතය හැඩ කරන පෙරගමන්කරුය. වර්තමානයේ දී මුදලට යටවී අංගුලිමාල ලා පමණක් නොව සොරුන් ද බිහි කරවන දිසාපාමොක්ලා අතරේ ගුරු ගීතය පොතේ එන දුයිශෙන් වැනි ගුරු දෙවිවරු ද අහම්බෙන් මුණගැසෙති.
“ප්‍රසස්ති කියනා වන්දිබට්ටයෝ
රාජසභා හොබවන මහා කවියෝ
විමුක්තියේ බලවේගෙට උදාන ගී ලිවෝ
පොළොවේ පය ගැටුණා මහ කවියෝ.”
මේ වදන් ටික ඇසෙන විටම මතක් වන්නේ 89 කාලයේ රාජ්‍ය මර්ධනයට එරෙහිව මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගීත රචනාවන් හා නන්දා මාලනියන්ගේ ගීත ගායනාවන් ය. රට කරවන්ට නම්, යදමින් බැද විලංගුදා වැනි ගීත. කලාකරුවෙකුට තම තුලිතුඩින් කොතරම් බලපෑමක් පාලන තන්ත්රයට එල්ල කළ හැකිද?
මේ විදියට තමා සින්දුව ගලාගෙන යන්නේ. හොඳ නරක යන සියල්ල බිහිවෙන්නේ මිනිසාගේ ක්‍රියා කලාපය මතයි. රටක් සංවර්ධනය කරා පිය නගන්නේ ද ජනතාව විසින් තෝරා පත්කරන පාලකයන්ගේ තීරණ මත යි. ඔබටත් විවේකයක් ලැබුණු විටෙක මේ ගීතය අහලා බලන්න. ඔයාලට දැනෙන්නෙ කොහොමද කියලා.
දහඩිය වගුරා කැටයම් ඔපලා
ඔටුනු තනන්නෝ කම්කරුවෝ
කෙත පූදින්නට පස පෙරලන්නට
නගුල තනන්නෝ කම්කරුවෝ.
ඇඟිලි කපාගෙන මාල තනන්නට
සොරුන් හදන්නෝ ගුරු දෙවියො
බුදුන් දකින්නට පාර කියා
විවරණ දෙන්නෝ ගුරු දෙවියෝ.
ප්‍රසස්ති කියනා වන්දිභට්ටයෝ
රාජ සභා හොබවන මහා කවියෝ
විමුක්තියේ බලවේගයට උදාන ගී ලීවෝ
පොළොවේ පය ගැටුණු මහ කවියෝ.
ඔටුනු තනන්නෝ කම්කරුවෝ
සොරුන් හදන්නෝ ගුරු දෙවියෝ
ප්‍රසස්ති කියනා මහා කවියෝ
රට කරවන මහජනතාවෝ.
බත සරිකරනා ගොවියෝ
බුදු මග කියන ගුරු දෙවියෝ
විමුක්ති ගී ලිව් මහා කවියෝ
රට කරවන මහජනතාවෝ.
හිට්ලර් වගේ රජවරු බිහිවන්නට
පාර කපන්නේ ජනතාවෝ
ගාන්ධි මැක්බාර් කැස්ත්‍රො නැගුවේ
රට කරවන්නෝ මහජනතාවෝ.

දිමුතු විජේසූරිය – Wellington