fbpx
13.5 C
New Zealand
Tuesday, March 19, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

යථාර්තය බිඳ හැර – මලිත් චතුරංග සමරසිංහ,ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

සිහින් ළා හිරු කිරණක්, නිදන කාමරයේ වා කවුළුවක් තුළින් විත්, ‘සිරීගේ’ මුහුණ ස්පර්ශ කළේ සිහිල් සුළං රැල්ලකුත් එක්කමයි. වෙනදාට කුස්සිය පැත්තෙන් උදෑසනට ඇහෙන කාලගෝට්ටිය, අද එතරම් තදින් නොඇසුණත්, ඇඳ මත ඉතිරිව සිටින්නේ තමාත්, සිව් හැවිරිදි අරෝෂ පුතාත් පමණක් යැයි දුටු විට, අද ඉරිද වුණත් ශාලිකා දැනටමත් දිනයේ වැඩගොන්න අරඹා ඇති බව සිරීට හිතා ගන්නට අපහසු වුණේ නෑ. ඇඳෙන් බැහැල ගිහින්, වෙනද වගේම ශාලිට උදව් පදව් කරන්න, සිරීගේ ගතට කම්මැලිකමක් නොදැණුනත්, පුංචි පුතාගෙ මූණ දිහා බලාගෙන අතීතය සිහිපත් කරන්නට, සිරීගේ හිත, සිරීට බල කළා.

නවරත්න මුදියන්සේලාගේ විජිත් සිරිසේන, අවුරුදු දහ තුනක පාසල් අධ්‍යාපනය නිම කරල විශ්ව විද්‍යාල වරම් ලබාගත්ත දවස, සිරීගෙ ඉස්සරහ මැවිල පෙණුනෙ, වැඩි වීරියක් නොදරාම කැම්පස් යන්න පුළුවන් වුණා නේදැයි හිතට දැණුනු සිහින් අභිමානයත් එක්කමයි. පාසල් අවධියේ පටන්ම, නිදිමරාගෙන මහන්සි වී පාඩම් වැඩ නොකළත්, හැමදාම පංතියේ පළමුවැනියා බවට පත් වූ සැටිත්, සාමාන්‍ය පෙළ විභාගය, දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වෙමින් සමත් වූ හැටිත් සිහි වෙන විට, කලින් දැණුන සිහින් අභිමානය, සිරීටත් හොරෙන්ම මහත් වන්නට වුණා. පාසලේ ගුරුවරුන් සැමදෙනාම පාහේ, වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවරයකු වීම සඳහා විද්‍යා හෝ ගණිත අංශයන්ගෙන් උසස් පෙළ හදාරන්නැයි කෙතරම් උපදෙස් දුන්නත්, තමා කුඩා කල පටන් ආශාවෙන් සිටි ලේඛන කලාවට පිවිසීමේ අභිලාෂය මුදුන් පමුණුවා ගන්නට අවැසි බැවින්, සිරී තෝරාගත්තේ කලා විෂය ධාරාවයි. වෘත්තියෙන් ගුරුවරුන් වූ, සිය මා පිය යුවලත්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි, සිය එකම සහෝදරියත්, සිරීගේ තීරණයට කිසිදු අකුල් හෙලීමක් නොකිරීම, සිරීට චිත්තප්‍රීතිය ගෙන දෙන්නක් මෙන්ම සැහැල්ලුවෙන් අධ්‍යාපන කටයුතු කරන්නත් රුකුලක් වුණා. එදා තමන් ගත් තීරණය නිවැරදි බව සිරීට වැටහුණේ, කැළණිය විශ්ව විද්‍යාලයට ඇතුල් වූ පළමු දවසෙමයි. තමාගේ ඉලක්කය සපුරා ගැනීමට මතු නොව, තම ජීවිතයට වටිනා අත්දැකීම් ලබාගැනීමටත් කැළණි සරසවිය, සිරීට පාර පෙන්නුවා.එපමණක් නොව, රංරස සේ පෑහෙන ජීවන සහකාරියවද, සිරීට මුණගැස්සුවේ සරසවියයි.

කුඩා කල පටන්, හුදෙකලාව ප්‍රිය කළ තමා සමඟ මුලින්ම කතා කළෙත් ශාලිකා නොවෙදැයි, සිරීට මතක් වන විට, ඔහුගේ වතේ සිහින් සිනා රැල්ලක් ඇඳී ගියා. එදා කැම්පස් ගිය තුන් වෙනි දවස. දිනයේ දේශනය ඉවර වෙලා ලහි ලහියේ බෝඩිමට යන්න බස් හෝල්ට් එක පැත්තට ගිය තමාට, “විජිත්” යැයි ආමන්ත්‍රණය කරන හඬ ඇසුණ හැටිත්, පිටුපස හැරී බලද්දී තමා වෙතට එමින් සිටියේ තම බැජ් එකේ පියකරු යුවතියක් වන ශාලිකා බවත්, සිරීට මතක් වුණේ, චිත්‍රපටි ජවනිකාවක් වගේ.

“මොකද ඔච්චර හදිස්සි, මම දැක්ක ලෙක්චර් එක ඉවර උන ගමන් හෝල් එකෙන් එළියට එනව. මොකද කඩදාසියක් ලිපේ දාලද ආවෙ?”

ශාලිකා එහෙම ඇහුවෙ, හරියට පොඩි කාලෙ ඉඳන්ම සිරීව අඳුරන කෙනෙක් වගේ. ගැහැනු ළමයින් ඉදිරියේ වෙනදාට දැණෙන කෝල ගතිය, අද තම සිතේ නැති බව ඒ මොහොතේ පවා සිරීට කල්පනා වුණා. එදා දෙදෙනා අතර ඇති වුණ මිත්‍ර කම, වැඩි කල් නොගොස්ම ප්‍රේමසම්බන්ධයක්සේ ගොඩනැගුණු සැටිත්, උපාධිය නිම කරන තෙක් ඒ වසර තුන ඇතුළත, තමා හා ශාලි අතර ඇතිවූ කතාබහත්, සිරීගේ මතක ගබඩාවේ මැකී නොයන සේ තැන්පත් වී තිබුණා.

“විජිත්, මම ඔයාගෙන් අහන්නමයි හිටියෙ. ඔයාලගෙ අම්මල ඇයි ඔයාට ‘සිරිසේන’ කියල නම් කෑල්ලක් දාල තියෙන්නෙ?”

යාළු වෙලා සතියක් යන්නත් කලින් ශාලිකා මෙහෙම ඇහුවෙ, විහිළුවටවත් සමච්චලේටවත් නොවන බව, ශාලිගේ මුහුණෙන් පෙණුන හැටිත්, එයින් දිරිගෙන තමා උත්තර දුන් හැටිත් සිරී ආවර්ජනය කරා.

“ඒක අපේ පරම්පරාගත නමක්. වාසගමට අමතරව අපේ තාත්තලගෙ පවුලෙ පිරිමි අයට සිරිසේන කියන නම තියෙනවා. අපේ සීයා පියදාස සිරිසේන, තාත්ත නිමලදාස සිරිසේන. බාප්පල මහප්පලටත් එහෙම සිරිසේන කියල තියෙනව දෙවෙනි නමට. ඉතිං තාත්ත මටත් දාල. හොඳ වෙලාවට මුල් නමට දාස කියල කෑල්ලක් නම් දාල නෑ. නැත්නම් වස ලැජ්ජාව.”

“අනේ නෑ. මම නම් කැමතියි ඒ වගේ ගැමි නම් වලට. මම අද ඉඳන් ඔයාට විජිත් කියන් නැතුව, සිරී කියන්නද?”

කොළඹ ලොකු සල්ලිකාරයෙක්ගෙ එකම දුව වෙච්ච, වර්ණකුලසූරිය පටපැඳිගේ ශාලිකා සත්සරණි වරණකුලසූරිය, මේ වගේ සරල, සුන්දර අදහස් දරණ, නිහතමානී කෙල්ලෙක් කියන එක තේරුම් ගන්නවත් එක්කම, ආදරයේ මූල බීජ සිරීගේ හිතේ පැලවෙන්න පටන් ගත්තා. ඊට පස්සෙ හැම දවසකම දෙන්න එකතු වෙලා කතා කරපු දේවල්, ඒ ආදර බීජ වලට, ජලය සහ හිරු එළිය සැපයුවා.

“ඔයා කියවල තියෙනවද ශාලි චරිත තුනක්?”

“ඔව් මොකද නැත්තෙ. කේ. ජයතිලක මහත්තයගෙ මම කැමතිම පොතක් තමයි ඒක. ඒත් ඇයි ඔයාට හදිස්සියෙ ඒක මතක් උනේ. ඔයාටත් ඉසා වගේ ‘කෝකිලානේ සිටාණෝ’ කෙනෙක් වෙන්න හිතුණද. හි. හි.”

“හඃ හඃ ඇයි නරකද. ඔයා දන්නවද. ජයතිලකයන් ඒ පොත ලියල තියෙන්නෙ, එයා ගමෙන්ම ලබාගත්තු අත්දැකීම් සහ දැකපු කරපු දේවල් ආශ්‍රයෙන්. ගොයම් මලක් පිපිල, රේණු විසිරෙන හැටි ඒකෙ හරි ලස්සනට විස්තර කරල තියෙනවා ඔයාට මතකද. මටත් ආසයි ඒ වගේ ග්‍රාමීය පරිසරය විදහා දැක්වෙන පොතක් ලියන්න.”

“ඇයි එකක්? ලියන්නකො දෙකක්. ඔයාට බැරි නෑ සිරී.”

සිරීගේ අහිංසක බලාපොරොත්තු වලට ශාලි පොහොර දැම්මෙ අන්න ඒ විදියටයි.

“ඉතිං ඔයා උපාධිය අරන් මොනා කරන්නද හිතන් ඉන්නෙ ශාලි. ඔයා නම් තාත්තගෙ බිස්නස් වලට හවුල් වෙයි නේද?”

“අපෝ නෑ සිරී, එහෙම කරන්න ඕන වුණා නම්, මම කැම්පස් එන්නෙත් නෑ. මට ඕන, කොහෙ හරි පොඩි ගමක දුප්පත් ඉස්කෝලෙකට ගිහිල්ල උගන්නන්න. මම හරි ආසයි ඒකට. අපිට දැන් ටිකක් සල්ලි තියෙන බව ඇත්ත. ඒත් අපි ගොඩක් පොඩි තැනක ඉඳන් ආපු මිනිස්සු. තාත්තාගේ උත්සාහය හින්දයි අපි අද මෙතන ඉන්නෙ. ඉතිං තාත්තයි අම්මයි වුණත් කැමතියි මම එහෙම දුප්පත් ළමයින්ට උගන්නනවට.”

“මට නම් ඇත්තටම පුදුමයි ශාලි.සල්ලි භාගෙ නැති මිනිස්සු වුණත්, අද කාලෙ පුරුදු වෙලා තියෙන්නෙ පුහු ආටෝපෙට, නැති දේවල් තියෙනව කියල පෙන්නන්න. එහෙම බලද්දි ඔයාලව අදහන්න වටිනව ශාලි. කොයිතරම් සල්ලි දේපල තිබුණත් ඔයා පොළවෙ පය ගහල ඉන්නවා.ඒ වගේම ඔයාට හොඳ රසවින්දනයක් තියෙනවා. මම ගොඩක් සතුටු වෙනව ඔයා වගේ අදහස් තියෙන කෙනෙක් මට හම්බුණු එකට.”

සිරී එහෙම කිව්වෙ, ශාලි ගැන සිරීගේ හිතේ තියෙන ආදරයට, ගෞරවයකුත් මුසු කරන ගමන්.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය සාර්ථකව නිමකිරීමෙන් වසර දෙකකට පසු, මේ පෙම්වතුන් දෙපල, දෙපාර්ශවයේම ආශිර්වාද මැද යුග දිවියට එලඹුණු හැටිත්, ඉනික්බිතිව ශාලිකාගේ ඉල්ලීම පරිදිම කුරුළුමල්විල මධ්‍ය මහා විද්‍යාලයේ උප ගුරුවරියක් ලෙස ඇයට ලැබුණ පත්වීම පිළිගෙන, මෙම සුන්දර ගම් පියසට පැමිණි සැටිත්, ඉන් දෑවුරුද්දකට පසු, දෙදෙනාගේ පැතුම් මල් පූදමින්, අරෝෂ පොඩි පුතුගේ උපත සිදු වූ සැටිත්, මේ සුන්දර වූ ගමෙන් ලබාගත් අත්දැකීම් ආශ්‍රයෙන්, විවිධ විවිධ තේමා ගණනාවක් ඔස්සේ තමා ලියූ කෘතීන්, පාඨක ජනයා අතර සම්මානයට පාත්‍ර වූ සැටිත්, සිරී සිහිපත් කළේ තෘප්තිමත් සිතින්.

අතීතයේ සැරිසරමින් හිටපු සිරී, නැවතත් පියවි ලෝකයට ආවෙ, කලින් වැටුණ සිහින් අව් රැල්ල වැඩි දියුණු වෙලා, කාමරය ඒකාලෝක වෙලා තියෙනවා කියල දැණුනමයි.

ලෝකයේ යථාර්තය බිඳ දමා, වෛද්‍ය, ඉංජිනේරු සිහින ලුහුබඳිමින් රැල්ලට නොගොස්, ලේඛන කලාව තෝරාගෙන, සිය නිසඟ හැකියාවෙන් ලියූ “මිහිමතට සහන් එළිය” කෘතිය වෙනුවෙන්, පසුගිය වසරේ ‘ස්වර්ණ පුස්ථක සම්මානයෙන්’ පිදුම් ලැබූ ‘විජිත් සිරිසේන’, ලෝක යථාර්තය බිඳ දමා, යස ඉසුරින් උඩඟු නොවී පොළවේ පයගසා සිටිමින්, දරිද්‍රතාවයෙන් පෙළෙන අහිංසක දරු කැලකගේ නුවණැ’ස පාදමින් මෙන්ම, තම ලේඛන දිවියටද නන් අයුරින් සහය දක්වන, තම ආදරණීය බිරිඳ වෙත යාමට සයනයෙන් බිමට බැස්සා.

මලිත් චතුරංග සමරසිංහ-ඕක්ලන්ඩ්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.