ආදරයයි කරුණාවයි…
හිමි බැතියයි මා සිත පාරයි
සෝකේ උල්පත සංකා ගඟ වී
සංතාපයේ සාගරය සොයයි //
ආදරයයි කරුණාවයි…
දහසක් වටිනා මුතුහර කුමටද
සිතු සේ ගෙල පළඳින්න බැරි
හදබැති නංවන පුදසුන කුමටද
පැතු දේ ඉන් ජයගන්න බැරි //
ආදරයයි කරුණාවයි…
මගෙ හිමියටයි පිදු ආලයටයි
කොහොමද එකවර හිත දෙන්නේ
නොයිඳුල් පෙම හා හිමිබැති සටනින්
ඉරණම කෙලෙසද විසඳන්නේ //
ආදරයයි කරුණාවයි…
ගායනය :- රුක්මණී දේවි
පද රචනය:- සරත් විමලවීර
චිත්‍රපටය:- දෛවයෝගය (1959)
50 දශකයේ අග භාගයේ දී තිරගත වූ “දෛවයෝගය” චිත්‍රපටයේ ඇතුළත් අදටත් බෙහෙවින් ජනප්‍රිය ගීතයක් හා බැඳුණු මතකයන් සේම ගීතයේ පදරුත් ලෙහන්නට ප්‍රියානන්ද විජේසුන්දරයන් එකතු වුණේ මෙලෙසයි.
මම වාසනාවන්ත වුණා 1959 දී තිරගත වූ දෛවයෝගය චිත්‍රපටය නැරඹීමට. මට මතකයි මම අම්මත් එක්ක ගිහින් මේ සිනමාපට ඉතා ආසාවෙන් නැරඹූ බව. දෛවයෝගය චිත්‍රපටයේ මගේ සිත් ගත් අවස්ථා දෙකක් තිබුණා. එකක් තමා කඩු සටන්. අනික තමා එහි අඩංගු ගීත. ඒ කාලේ මම කුඩා දරුවෙක් වුණත් මේ ගීත මගේ හිතට දැනුනා. තවත් කාරණයක් තමා මෙම චිත්‍රපටයට පසුබිම් වූ ඩබ්ලිව්. ඒ. සිල්වා ශූරීන්ගේ කෘතියක් වූ දෛවයෝගය පොත.
දෛවයෝගය චිත්‍රපටයේ ඇතුළත් වූ “ආදරයයි කරුණාවයි” ගීතය ගැන කතා කරනවා නම්, මෙම ගීතය ගායනා කරමින් රඟපාන්නේ රුක්මණී දේවියයි. එකල සිටි ඉන්දියානු සංගීත අධ්‍යක්ෂකවරුන් හිතාගෙන හිටියේ සිංහල චිත්‍රපට සඳහා ගීත ගායනා කළ හැකි කාන්තාවන් ලංකාවේ නැහැ කියලා. මෙම ගැටලුව විසඳන්න ඉදිරිපත් වුණේ රැක්මණී දේවියයි. ඇය දක්ෂ ගායිකාවක් මෙන්ම රූමත් නිළියක්. ඇයගේ රංගන ප්‍රතිභාව තම නිර්මාණවලින් මනාකොට ඉදිරිපත් කළා. එමෙන්ම ඇගේ ගීත ගායන හැකියාවත්. ඇය ඉල්ලීමක් කළා තමා රංගනයෙන් දායක වන චිත්‍රපට සඳහා ගීත ගායනා කරන්නේ ද ඇය කියලා. ඇයට ඒ සඳහා හැකියාවකුත් තිබුණා. කතෝලික පල්ලියේ ගීතිකා ගායනා කිරීමෙන් ඇයට ඒ සඳහා පෙර පුහුණුවක් මෙන්ම තම හැකියාවන් ඔපමට්ටම් කර ගැනීමට ද අවස්ථාවක් උදා වුණා. පහළ මෙන්ම ඉහළ ස්වර දක්ෂ ලෙස ගායනා කිරීමේ හැකියාව මෙන්ම ඉතා සංවේදී ගීත, යුග ගීත ගායනා කිරීමේ අපූරු හැකියාවක් ඇය සතු වුණා. ඒ ලෙසම රඟපාමින් ගීත ගායනා කිරීමේ සුවිශේෂී වූ දක්ෂතාවයක් ඇයට තිබුණා. ඇය තමන්ගේ පෞරුෂය සහ ආත්මාභිමානය තම ක්ෂේත්‍රය තුළ රැකගත් දිදුලන තාරකාවියක් වුණා. ඇය අදටත් ශ්‍රි ලාංකික සිනමාවේ දිදුලන තාරකාවක්.
මේ ගීතයේ සංගීත සංයෝජනය ගැන කතා කරනවා නම්, ඒ පිළිබඳ විවිධ මතිමතාන්තර තියෙනවා. බොහෝ තැන්වල සඳහන් වී ඇත්තේ මේ ගීතයට සංගීත සංයෝජනය කර ඇත්තේ “සජාඩ් හුසේන්” මහතා කියලා. ඊට හේතු වී ඇත්තේ ඔහු සතු වූ සංගීත කණ්ඩායම කියලයි මට හැඟෙන්නේ. මොකද ඔහුගේ සංගීත කණ්ඩායම තමා මෙම ගීතය සඳහා සංගීතය සපයලා තියෙන්නේ. මෙහි සත්‍ය අසත්‍යතාවය හරියටම නිගමනය කිරීමට නොහැකි වූයේ මා සතු එම චිත්‍රපටය සහිත සංයුක්ත තැටිය වාදනය කිරීමට නොහැකි වීමයි. නමුත් මම අහලා තියෙන පරිදි දෛවයෝගය චිත්‍රපටයේ ගීතවල ගී තනු බොහොමයක් නිර්මාණය කර ඇත්තේ ආර්.ඒ. චන්ද්‍රසේන මහතා. ඒ නිසා මම හිතනවා මේ ගීතයෙත් තනුව නිර්මාණය කරන්නට ඇත්තේ ආර්.ඒ. චන්ද්‍රසේනයන් කියලා.
ආදරයයි කරුණාවයි ගීතය රචනා කරන්නේ ශ්‍රි චන්ද්‍රරත්න මානවසිංහයන්. මානවසිංහයන් කියන්නේ අපේ රටේ හිටපු රසවත් ගීත රාශියක් රචනා කළ නිර්මාණකරුවෙක්.
ඔහු ගීතය ආරම්භ කරන්නේ,
“ආදරයයි කරුණාවයි – හිමි බැතියයි මා සිත පාරයි
සෝකේ උල්පත සංකා ගඟ වී – සංතාපයේ සාගරය සොයයි” ලෙසටයි.
මේ පද පේලි දෙස බැලුවොත් ඇතැම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කාන්තාව වැරදි කියලා. මෙම ගීතයේ සඳහන් වෙන්නේ කාන්තාවකට තම සැමියා සහ පෙම්වතා අතරින් කාවද අතහරින්නේ සේම තමාට ඒ දෙන්නගෙන් කාවද ලැබෙන්නේ කියන ඉතා සංකීර්ණ, ගැඹුරු හා බැරෑරුම් මානුෂික ප්‍රශ්නෙකට.
දෛවයෝගය චිත්‍රපටය අනුව මේ කාන්තාවගේ සැමියා යුද්ධයට ගිය අවස්ථාවක සතුරන් අතට පත් වී සිරගත වෙනවා. ඔහු සිරගත වන මොහොතේ තමා මොහිදින් බෙග් මහතා විසින් ගායනා කරන “ආදරේ රුචිරාණනියේ” ගීතය වාදනය වන්නේ. ඇයගේ පෙම්වතත් යුද්ධයට යනවා. ඇයට පණිවිඩයක් ලැබෙනවා යුද්ධයේ දී පෙම්වතා මිය ගිය බව. ඒ නිසා තමා ඇයට සිද්ධ වෙන්නෙ වෙන අයෙක් සමග විවාහ වීමට. අනෙක් දේ තමා ඇයගේ පෙම්වතා සහ ස්වාමිපුරුෂයා මිතුරන් වීම. ඒ වගේම ඒ දෙදෙනාම යන්නෙත් එකම යුද්ධයකට. ඇය නොසිතු මොහොතක පෙම්වතා තුවාල ලබා ඇයගේ මාලිගයට පැමිණෙනවා ඇගේ පිහිට පතාගෙන. ඇයට සිද්ධ වෙනවා ඔහුට ප්‍රතිකාර කිරීමට. මේ අවස්ථාවේදී ඇය ඇත්තටම දන්නෙ නෑ තම ස්වාමියාට කුමක් සිදු වුණා ද යන්න. මෙතනදී තමා ඇගේ සිත තුළ මතුවෙන්නේ මගේ ආදරය ද මගේ කරුණාව ද කියන මානුෂීය හැඟීම. මාගේ ස්වාමි භක්තිය ද එසේත් නැත්නම් මාගේ නොයිදුල් ප්‍රේමය ද?
කාන්තාවක් පත් විය හැකි ලොකුම අපහසුතාවක් ලෙසයි මා මෙය දකින්නේ. මේ චිත්ත සන්තාපය කවදා, කොතනකදී, කුමන මොහොතක දී හෝ සිදුවිය හැකි දෙයක්. මා නම් සිතන්නේ මෙය සිදුනොවිය යුතු දෙයක් ලෙසයි.
“සෝකේ උල්පත සංකා ගඟ වී සන්තාපයේ සාගරය සොයයි” මේ පද පේලි දෙකෙන් චිත්‍රපටයේ අඩංගු මුළු කතාවම කියවෙනවා. උල්පත වෙන්නේ ශෝක යයි. ශෝකයෙන් උපත ලබන්නේ සංකාව, පාළුව. ශෝකයෙන් උපදින සංකාව නම් ගංගාව බවට පත්වෙනවා. පසුව මෙය සන්තාපය නම් සාගරය සොයාගෙන යනවා.
“මගෙ හිමියටයි පිදු ආලයටයි
කොහොමද එකවර හිත දෙන්නේ”
තම සැමියා ලැබීමට පෙර ආදරය කළ පෙම්වතා තුවාල ලබා පැමිණි මොහොතක කාවද පිළිගන්නේ යන සංකීර්ණ ගැටළුවට ඇය මුහුණ දෙනවා. ස්වාමි භක්තිය පෙරදැරි කරගෙන තමන් ආදරය කළ ආදරවන්තයා මරණාසන්න තුවාල ලබා පැමිණි මොහොතක ඔහු එලවා දමනවා ද නැතිනම් ඔහුට සාත්තු සප්පායම් කර රැකබලා ගන්නවා ද කියන දෙගිඩියාව ඇගේ සිත තුළ උපදිනවා. මෙම චිත්ත ව්‍යාකූලතාවය මානවසිංහයන් හරි අපූරුවට මේ ගීතය තුළ අන්තර්ගත කරනවා.
ඇත්තටම සිනමාපටයකට ගීතයක් ඇතුලත් කරන්නේ වැඩි කාල පරාසයක් තුළ කිවයුතු දෙයක් විනාඩි තුනක් තරම් අඩු කාලයකින් ප්‍රකාශ කිරීමටයි. ඉහත කතා කළ සිද්ධි දාමය රූපරාමු තුළින් රැගෙන ආවා නම් දෛවයෝගය චිත්‍රපටය කොටස් පහකට විතර තමා නරඹන්න අපට සිදු වෙන්නේ. මේ හේතුව නිසා තමා ගීතයක් සිනමාපටයක් සඳහා තෝරා ගැනීමට ප්‍රධාන හේතුව වන්නේ. ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ “දෛවයෝගය” පොත ඔබත් කියවන්න. ලංකාවෙන් කුළුබඩු අරන් එනවා වගේ පොතකුත් රැගෙන ඇවිත් තමන්ගේ ළමා ළපටින් සමග ලංකාවේ සාහිත්‍යය බෙදාහදා ගන්න.
සැකසුම දිමුතු විජේසූරිය
Edited By Dimuthu Wijesuriya
Youtube Release: