fbpx
11.3 C
New Zealand
Friday, May 3, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ගීතයට අරුතක් – හිමින් සැරේ පියා විදා | දිමුතු විජේසූරිය | වෙලින්ටන්

Must read

හිමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

මලක් නම් එය මලක් වුව මැන
සිනිඳු සුකොමල ආ… රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර ආ දියෙන් උපදින

හිමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

නැවුම් වත්සුනු රොනින් මත් වී
සිහින නිම්නය ආ… සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා ආ… පවුරු සිරි යහනේ

හිමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

පද රචනය:- ධර්මසේන පතිරාජ
සංගීතය:- ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය:- ටී. එම්. ජයරත්න සමග සුනිලා අබේසේකර

1980 දී පමණ තිරගත වූ ‘හංසවිලක්’ චිත්‍රපටයට ඇතුළත් වූ අදටත් ජනප්‍රියතාවයේ හිණිපෙත්තේ රැඳුණු ‘හෙමින් සැරේ පියා විදා’ ගීතය පිළිබඳ ප්‍රවීණ ගීත රචක ප්‍රියානන්ද විජේසුන්දර යන්ගේ මතක සහ විචාරයයි මේ.

***

‘හෙමින් සැරේ පියා විදා’ ගීතය ගැන කතා කරන්න හිතුනේ මෙහි තියෙන සදාකාලික බව සහ ජනප්‍රියතාව නිසා. අනෙක් අතට මේ චිත්‍රපටයේ කතා තේමාවටම උචිත ගීතයක් ලෙස එදා සිට අද දක්වාම දැනුණු නිසයි.

‘හංස විලක්’ චිත්‍රපටයේ ප්‍රධාන තේමාව බවට පත් වන්නේ ශ්‍රී ලාංකීය පවුල් සංස්ථාවක් බිඳ වැටෙන ආකාරයයි. දරිද්‍රතාවය, වෙනත් බැඳීම්, බලපෑම්, අවශ්‍යතාවයන් නිසා පවුල් සංස්ථාවන් අර්බුදයට යනවා අපි දකිනවා. මෙම චිත්‍රපටයෙන් කියවෙන්නේ එක් පවුලක බිරිඳක් සහ අනෙක් පවුලේ සැමියා අතර ඇතිවෙන ආදර සබඳතාවයක් නිසා නොයෙකුත් හැලහැප්පීම්වලට මුහුණ දීමට සිදුවන පවුල් දෙකක් ගැනයි.

මෙවැනි වූ සාර්ථක චිත්‍රපටයක් වු ‘හංස විලක්’ අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ධර්මසිරි බණ්ඩාරනායකයන්. ධර්මසිරි බණ්ඩාරනායක මා ඉගැන් වූ විද්‍යාරත්න විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. හොරණ විද්‍යාරත්නේ කියන්නේ කලාවට හොඳ තෝතැන්නක්. ධර්මසිරිටත් මෙවැනි කලාත්මක හා භාවාත්මක චිත්‍රපටයක් කිරීමට පාසලෙන් ලබාගත් අත්දැකීම් ඉවහල් වෙන්න ඇති පසු කාලයේදී.

‘හෙමින් සැරේ පියා විදා’ ගීතය රචනා කරන්නෙත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන ධර්මසේන පතිරාජයන් විසින්. ඔහු ගේය පද රචකයෙක් නොවුණත් මෙම රචනාවේ දී සිනමාපටයෙන් කිවයුතු සියල්ල මෙම ගීතය තුළ අන්තර්ගත කිරීමට ඔහු සමත් වෙනවා. සිනමා අධ්‍යක්ෂකවරයා කියන්න යන්නේ කුමක්දැයි යන්න පිළිබඳව පද රචකයා හොඳින් අවබෝධ කරගෙන තියෙනවා. ඒ අතින් ඔහු සාර්ථකයි. නිර්මාණශීලී චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් ගීතයක් තම නිර්මාණයට ඇතුළත් කරන්නේ දීර්ඝ කාල පරාසයක් තුළ කිවයුතු දෙයක් විනාඩි තුනක් වැනි කෙටි කාලයක දී ප්‍රේක්ෂකයාට සන්නිවේදනය කළ හැකි කලා උපක්‍රමයක් විදිහටයි. මේ ගීතයෙන් එය මනා ලෙස අත්විදින්නට පුළුවන් අපිට.

මෙම ගීතය ආරම්භ වන්නේ,

‘හිමින් සැරේ පියා විදා
හිමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්’

ලෙසින්. සිරි යහන කියන්නේ පූජනීය දෙයක්. එය කිළුටු කර ගන්නවා යැයි මා සිතන්නේ ආත්මීය පාපයක් විදිහටයි. සිනිඳු ඇතිරිලි සහිත යහනේ මෙතෙක් කාලයක් සැතපුනේ සැමියා සහ බිරිඳ කියන ආත්මීය බැඳීම. මනුෂ්‍ය ප්‍රාණ දෙකක් පමණක්ම නොවේ එය. ‘පලා ඇවිත් සිතුම් සියොතුන්’ කවුද මේ පලා යන සිතුම් සියොතුන්. ඒ තමා ආත්මීය බැඳීම නම් සියතුන්.

‘මලක් නම් එය මලක් වුව මැන
සිනිඳු සුකොමල ආ… රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර ආ.. දියෙන් උපදින’

අපේ සමාජය බලාපොරොත්තු වෙනවා මලක් නම් එය සියුමැලි පෙති ඇති අලංකාරවත් දෙයක් විය යුතුයි කියලා. ඒ වගේම තමා විලක් නම් එය පිරිසිදු ජලයෙන් පිරි මලින් පිරුණු දෙයක් විය යුතුයි කියලාත්. චිත්‍රපටයට අනුව නම් මේ චරිත දෙකට මෙවැනි පිවිතුරු බවක් නැහැ.

‘නැවුම් වත්සුනු රොනින් මත් වී
සිහින නිම්නය ආ… සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා ආ… පවුරු සිරි යහනේ’

පෙම් හබයක පැටලෙන මේ යුවලගේ උපවිඥාණික හැඟීම දෙවන අන්තරා කොටසින් විස්තර වෙනවා. ඔවුනොවුන්ගේ තැවරුණු වත්සුනු සුවඳ දිගේ ඔවුන්ට මතක් කරන්නේ දෙදරා යන පවුල ගැන තීරණයක් ගත යුතුය යන ඉඟියයි.

ලාංකික සංගීතය තුළ මතකයේ රැඳෙන සංගීත නිර්මාණ රැසක් නිර්මාණය කළ ප්‍රේමසිරි කේමදාසයන් තමා මේ ගීතය සංගීතවත් කරන්නේ. ආචාර්ය කේමදාසයන් මේ ගීතයට යෙදු සංගීතයෙන් ආදර සම්බන්ධතාවයක් නිසා බිඳ වැටුණු පවුල තුළ ඇතිවන මානසික ව්‍යාකූලතාවය, කලබලකාරී භාවය, නොසන්සුන්කම සංගීතය තුළින් ප්‍රේක්ෂකයාට ඇහෙන්න, දැනෙන්න සලස්වනවා. ඒ සඳහා එතුමන් උපයෝගී කරගන්නේ කෙටි සංගීත ඛණ්ඩ හරහා වචන වේගයෙන් ගායනා කිරීමයි. මේ ගීතයේ යටි පෙළින් ඇහෙනවා කාන්තා ස්වරයකින් ආ… ආ…. හඬක්. එයින් කේමදාසයන් ධ්වනිත කරන්න උත්සාහ කරනවා අර්බුදයට පත් වුණු කාන්තාවගේ විලාපය, දෝංකාරය. මෙය තව තවත් තීව්‍ර කරන්න දක්ෂ ඔපෙරා ගායිකාවක් වන සුනිලා අබේසේකරයන්ගේ හඬත් ඉවහල් වෙනවා. ඒ වගේම තමයි එවකට ආධුනික ගායකයෙක් වූ ටි.එම්. ජයරත්නයන්ගේ ගායනාවත්. කේමදාසයන් මේ ගීතයට මුසු කළ සංගීතය තව තවත් ඉහළ තලයකට ඔසවා තබන්නට මේ දෙපළගේ ගායනාවට හැකි වෙලා තියෙනවා.

Song reviewed by – Priyananda Wijesundara
Interviewed by – Dimuthu Wijesooriya – Wellington

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.