ශ්‍රී ලංකාරාමය විහාරස්ථානය මගින් සංවිධානය කරන ලද අවුරුදු උදානය සහ ආහාර සල්පිල 2024 අප්‍රේල් මස 7 වන දින ශ්‍රී ලංකාරාම විහාරස්ථානයට යාබද ෆෙයාබර්න් විදුහල් පරිශ්‍රයේ දී දෙදහසකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
විහාරාධිපති පූජ්‍ය වල්ගම මුනින්දවංශ නාහිමියන්ගේ අනුශාසකත්වය යටතේ ශ්‍රී ලංකා බෞද්ධ භාරකාරත්වය මගින් විශාල දායක දායිකාවන් පිරිසකගේ සහයෝගයෙන් මෙම උළෙල සංවිධානය කරන ලදී. 300 පමණ වූ තරුණ තරුණියන් පිරිසක් මෙම උළෙල සාර්ථකව සංවිධානය කර ගැනීම උදෙසා ස්වේච්චාවෙන් දකවන ලද සහයෝගය මෙහිදී පැසසුම් කළ යුතුය.
සාම්ප්‍රදායික අවුරුදු කෙලි සෙල්ලම් සහ සංස්කෘතිකාංග රැසකින් උළෙල සමන්විත විය. පැරණි ගැමි අසිරිය විදහාපාමින් ඉදිකර තිබු ආරච්චි වලව්ව සහ ගමේ කඩේ විශේෂාංග රැස්ව සිටි කාගේත් සිත් ගත්තේය. විවිධ වර්ගයේ ආහාර පාන මිලදී ගැනීමට හා රස විඳීමට ආහාර සල්පිල මගින් අවස්ථාව සලසා දී තිබුණි. අවුරුදු සමය වෙනුවෙන් අවුරුදු රස කැවිලි මිලදී ගැනීමේ අවස්ථාව ද රැස්ව සිටි සැමට උදාවිය. ජාති ආගම් භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා විවෘත වූ උත්සවයක් හැටියට මෙම උළෙල සංවිධානය කර තිබුණි.