අමෙරිකාවේ කනෙක්රිකට් විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක් හදාරමින් සිටියදී ලෝක වෙළඳ සංවිධානයේ (WTO) ආර්ථික විශේෂඥයෙක් දේශනයක් සඳහා එහි පැමිණියේය. බොහෝ රටවලින් පැමිණ එම පාඨමාලාවට සහභාගී වුණු 42 අතුරින් කෙනෙකු වූ මම එතුමාගෙන් ප්‍රශ්නයක් ඇසීමට නැගී සිටියෙමි. ඔහු එක්වරම මා පැමිණියේ ශ්‍රී ලංකාවෙන්දැ යි විමසීය. මාගේ රට කුමක්දැයි මා සඳහන් නොකළ හෙයින් ඔහු මා පැමිණි රට නිශ්චිතවම පැවසුවේ කෙසේක්දැ යි මට විමතියක් ඇති විය. මාගේ දේහ ලක්‍ෂණ ඊට පාදක වන්නට ඇතැයි අනුමාන කළෙමි. එම දේශකයා ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන (Export) භාණ්ඩ තුනක් ඇතැයි පැවසීය. තේ හා රබර් යන දෙවර්ගය සඳහන් කළ විට, ඉතිරි භාණ්ඩය “පොල්’ යයි ඒ පිළිබඳ කටපාඩමෙන් දත් මම සිතුවෙමි. එහෙත් එතුමා පැවසුවේ තෙවන භාණ්ඩය ශ්‍රී ලාංකිකයන්ගේ “මොළය” (Brain), (ලෝක ප්‍රකට ලාංකික ආර්ථික විශේෂඥයන්, විද්‍යාඥයන්, ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන් එවකට ද විවිධ රටවල සිටි හෙයිනි.)
වොෂිංටනයේ පවත්වාගෙන යන ලෝක ප්‍රසිද්ධ භූ විද්‍යා කෞතුකාගාරයේ මිල කළ නොහැකි නිල් මැණිකක් ප්‍රදර්ශනයට තබා ඇත්තේ එය ශ්‍රී ලංකාවෙන් ලද එකක් බව සඳහන් කරමිනි. ඒ දෙසට අත දිගු
කරමින් “මම ශ්‍රී ලංකාවෙන්’ යයි එය නරඹමින් සිටි අයට හදුන්වා දුනිමි. ඔවුහු මහත් සොම්නසින් මා දෙස බැලූහ !
ලෝක කුසලාන තරගාවලිය නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේ ආරම්භ වූ විට මුල් නැටුම් සංදර්ශනය ශ්‍රී ලංකාව වෙනුවෙන් පැවැත්වුණු විට මාගේ දෑසට කඳුළු ගලා ආවේය. මේ අපේ කලාව නොවේදැ යි මට හැඟිනි.
මේ උපුටා දැක්වූයේ අපේ අනන්‍යතාව ප්‍රදර්ශනය වූ අවස්ථා දෙක තුනකි. ඒ අපේ අභිමානයයි. පෞද්ගලිකව මෙන්ම පොදුවේ ද අපේ අනන්‍යතාව හා අභිමානය ජනිත කරවන ආකාරයට කටයුතු කිර්ම අප හැම දෙනාගේම කර මත පැට වී ඇති වගකීමකි. එහෙයින් අපටම ආවේණික වූ සිරිත් විරිත්, සංස්කෘතික අංග හා කලා ශිල්ප, හැදියාව කුමක්දැ යි අප හඳුනාගත යුතු අතර ඒවා යාවත්කාලීන කරගනිමින් ඉදිරියට ගෙනයාම වර්තමානයේ ජීවත් වන අපගේ වගකීම වේ.
නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මොරීවරුන් ඔවුන්ගේ ඇදහිලි, ආගමික ගොඩනැගිලි, නැටුම් හා සංදර්ශන සම්ප්‍රදායානුකූලවත්, අඛණ්ඩවත් පවත්වාගෙන යාමට දරන වෙහෙස ඔබට නිරීක්‍ෂණය කළ හැක. ඔවුන් වෙනුවෙන්ම පවත්වාගෙන යන ටී.වී චැනලය බලන්න. ඔවුන් එය කෙතරම් අභිමානවත් ලෙස පවත්වාගෙන යන්නේදැ යි ඔබට පෙනෙනු ඇත. “හක” සංදර්ශන කෙතරම් අභිමානවත් හා මනරම්ව යි පෙනී යනු ඇත.
එරටට බැහැරේන් පැමිණි විදේශිකයන් හා මෙරිවරුන් කෙතරම් හොඳින් පෑහී ඇත්ද යන්න ඔබට පෙනී ගොස් ඇතැයි සිතමි. එසේම “විදේශිකයන්” ස්වදේශිකයන් හා මුසුව කෙතරම් සොඳුරු ලෙස ජීවත්වන්නේ දැයි ඔබට දැකගත හැක. මේ ඒකාන්ත සහජීවනයයි. එක් ජාතියක් තම අනන්‍යතාවත්, අභිමානයත් රැකගනමින් ඉදිරියට යන ආකාරයයි.
ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් නවසීලන්තයේ ස්ථිර පදිංචිය සදහාත් අධ්‍යයන කටයුතු වැනි තාවකාලික අරමුණු සඳහාත් පැමිණ සිටිති. තරුණ පරපුර, දෙමාපියන් හා ඇතැම්විට ඔවුන්ගේ මව්පියවරුන් යන තෙකොටසම මෙහි සිටිති. ඔවුන් දෙස පරීක්ෂාවෙන් බැලූ මා හට වැටහුණු කරුණු කිහිපයක් කෙරේ අවධානය යොමු කිරීම මේ ලිපියේ අරමුණයි.
රටවල් කිහිපයකම සැරිසැරූ මා හට පෙනී ගිය විශේෂ කරුණක් නම්, ශ්‍රී ලාංකිකයන් වන අපට, දේශයට හා සමාජයට අනුව හැඩගැසීමට ඉතාමත් පහසු හා යහපත්ම රට නවසීලන්තය බවයි. ඒ බැව් පුන පුනාම කිව යුතුය. ඔබ දැනට ජීවත්ව සිටින පරිසරය හා ඇසුරුකරන ජනතාව කෙතරම් ප්‍රසන්නද, නම්‍යශීලීද හා ආචාරශීලී ද යන්න බලන්න. ඔබට අහිතකර කිසිදු දෙයක් නවසීලන්ත වැසියන් නොකරන බව පැහැදිලිව පෙනෙනු ඇත. (හුදෙකලා සිදුවීම් නොමැත්තේන්ම යයි කිව නොහැක.) එබැවින් සමාජමය වශයෙන් හෝ නීතියට අනුකූල වන අයුරින් ජීවත්වීම “පිටතින් පැමිණිඅපගේ වගකීම වන්නේය. එය ප්‍රශංසනීය බව අවකවම ප්‍රකාශ කරමි.
මේ ධන ලක්‍ෂණ අතරේ ඍණාත්මක ලක්‍ෂණ කිහිපයක් ද නිරීක්‍ෂණය වී තිබේ.
නවසීලන්තයට පැමිණ පදිංචිව සිටින ඇතැම් ශ්‍රී ලාංකික අය තම රටේම වැසියන් එකිනෙකා පරයා නැගී සිටීමට උත්සාහ දරන අවස්ථා දක්නා ලදී. මෙමගින් ඉදිරියෙන් සිටින අය නැතහොත් ඉදිරියට පැමිණෙතැයි අපේක්ෂා කළ හැකි අය කපා හරිමින් නැගී සිටීමට උත්සාහ කරන බව පෙනේ. මේ නම් වර්තමාන ශ්‍රී ලංකික සමාජයේ පවත්නා දුර්ගගුණයක් වෙනත් රටවලටද කාන්දු වන බව පෙන්වන සාධකයකි. නවසීලන්ත සමාජය ලාංකිකයන් අතර ඇති මෙම දුර්ගුණය තවමත් හඳුනාගෙන ඇති බවක් නොපෙනේ. සියලු වැර යොදා මේ දුගුණය මකා ලිය යුතුව තිබේ.
වසර ගණනාවක් නවසීලන්තයේ පදිංචිව සිටින දෙමාපියන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන භාෂා මාධ්‍යය ඉංග්‍රීසි හෙයින් ඔවුන් කතා කරන්නේ ද එම භාෂාවෙනි. එහෙත් දෙමාපියන් සමග හෝ නෑ හිතමිත්‍රාදීන් සමග සිංහල භාෂාව කතා කරන්නේ ඉතා සුළුවෙනි. ඇතැම් විට නිවසේ දී වුව කතා කරනුයේ ඉංග්‍රීසි භාෂාවෙනි. පොදු තැනකට පැමිණි විට ද ඔවුහු ඉංග්‍රීසි භාෂාවෙන්ම කතා කරති. මෙමගින් සිංහල භාෂාව අභාවිතයට යනවා පමණක් නොව එම බසින් රචිත ග්‍රන්ථ කියවීමෙන් ද බැහැර වෙති. අපගේ සංස්කෘතික දෑ උකහා ගැනීමට මින් ඉමහත් බාධාවක් ඇති වන බව මාපියන් තේරුම් ගත යුතුය. ශ්‍රී
ලංකික සංස්කෘතියේ අංග වටහාගැනීමට කිසිවක් ඔවුනට ඉතිරි නොවන අතර තවත් අවුරුදු 10-15 ක් යන විට ඒ පිළිබඳ හැඟීමක් පවා නොමැති වීමට ඉඩ ඇති බවත් සැලකිල්ලට ගත යුතුය. යටත් පිරිසෙයින් භාෂණයේදී සිංහල භාෂාව පාවිච්චි කිරීමේ අපහසුතාවක් මට නම් නොපෙනේ.
තම දරුවන් නිවසේ සිටියදී දෙමාපියන් රැකියාවට යන අවස්ථාවේදී ආච්චි හෝ සීයා නැතහොත් ඒ දෙදෙනාම හෝ එහි ඇත්නම්, දරුවන් එම වැඩිහිටියන් සමග සංවාදයේ නොයෙදීම අඩුවක් හැටියට සැලකිය හැක. මෙවන් විටක එම වැඩිහිටියෝ හුදකලා බවට – තනි වූ බවට – පවෙති. මේ ගැන ද දෙමාපියන් තම අවධානය යොමු කළ යුතුය.
නිවසේ දී පමණක් නොව ආගමික කටයුතුවලදී සංදර්ශන, රැස්වීම් හා උත්සව ආදිය පවත්වන අවස්ථාවලදී සිංහල භාෂාවෙන් කතා කිරීම තම අනන්‍යතාවත්, අභිමානයත් ජනිත කරගැනීමට වටිනා ප්‍රවේශයක් වන බව සිහියට ගත යුතුය.
තමන් පදිංචි ප්‍රදේශයේ හෝ ඇසුරු කරන සමාජ කණ්ඩායම් මගින් සංවිධානය කරනු ලබන ක්‍රීඩා උත්සව, ව්‍යාපෘති, සමාජ සේවා වැඩ හා වැඩමුළු ආදියට ශ්‍රී ලාංකිකයන් සහභාගී වනුයේ ඉතාමත් කලාතුරකින් බව නිරීක්‍ෂණය වී ඇත. මෙබඳු අවස්ථාවලදී තමාගේම කුසලතා වර්ධනය කර ගැනීමටත් තම අනන්‍යතාව ප්‍රදර්ශනය කිරීමටත් ලැබෙන අවස්ථා එවිට මගහැරේ. ”ඕවාට යන්නට අපට වෙලාවක් නැහැ” යි නිදහසට හේතු දැක්වීම නිෂ්ඵලය. යහපත් සමාජානුයෝගයකට මුලපිරෙන්නේ එබඳු ක්‍රියාවලට සම්බන්ධවීම මගිනි.
වරක් වෙලිංටන් හි සංස්කෘතික පෙරහරක් මහා මාර්ගය පුරා පැය 2 කට අධික කාලයක් සංදර්ශනයක් වශයෙන් පැවැත්විණි. එහි නවසීලන්තයේ වෙසෙන විවිධ ජාතීන්ගේ සංස්කෘතික අංග ඉදිරිපත් කරන ලදී. එහෙත් ශ්‍රී ලාංකික කිසිවෙකුත් ඊට සහභාගී වූ බවක් නොපෙනුනි. අපගේ අනන්‍යතාවත්, අභිමානයත් පළ කිරීමට තිබුණු හොදම අවස්ථාවක් එමගින් ගිලිහී ගිය බව මට හැගුනි.
(ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය සමග තරග වැදුණු දිනයේ මහාමාර්ගයේ පවත්වන ලද අනගි ලාංකික සංදර්ශන දහස් ගණනක් ප්‍රේක්‍ෂකයන් ආශාවෙන් නැරඹූ බව මෙහිදී ඔවුනට ගෞරවයක් වශයෙන් සඳහන් කරනු කැමැත්තෙමි.)
දෙමාපියන් හැම දෙනාම පාහේ විවිධ රැකියා සදහා වෙනස් වෙනස් වේලාවන්හි නිවසින් බැහැරව සිටින හෙයින් ආගමික කටයුතු වලට සහභාගී වීමට ඇති ඉඩ ප්‍රස්ථා ඇහිරී ඇත. දානමානාදී කටයුත්තකට වුවද සහභාගී වීම සඳහා නිවාඩු ලබාගැනීම ගැටලුවකි. ශ්‍රී ලංකාවේ මෙන් අසීමිත නිවාඩු ඔවුනට නැත.
මේ නිසා දානය වැනි කටයුත්තකට සහභාගී විය හැක්කේ සෙනසුරාදා හෝ ඉරිදා දිනක විය හැක. එයද වැළකෙන අවස්ථා තිබේ. එමගින් ආගමික පැත්තට නැඹුරු වීමට ඉඩකඩ ඇහිරී යයි. ශ්‍රී ලංකාවේ මෙන්
ආසනයේ විහාරස්ථාන හා භික්ෂූන් වහන්සේලා සුලභ නොවන හෙයින් මෙම කරුණ බෙහෙවින් බලපාන බවක් පෙනේ. බොහෝ අවස්ථාවල දුටු කරුණක් වන්නේ භික්ෂූන් වහන්සේලාට දානය පිළිගැන්වීමට හෝ බණ ඇසීමකට සහභාගී නොවන බොහෝ දෙනා ඉන්පසුව පවත්වන සංග්‍රහ භුක්ති විඳීමට පැමිණෙති. මෙය ශ්‍රී ලංකාව තුළද රටාවක් බවට පත්වෙමින් පවතී. මෙය හුදෙක් චාරිත්‍රයක් පිළිපැදීම මිස ආගමික නැඹුරුවක් ලෙස සැලකිය නොහැක.
වෙලින්ටන්හි දහම්පාසල අඛණ්ඩව පවත්වාගෙන යාමට එහි විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ස්වෙච්ඡාවෙන් කරනු ලබන සේවාව අතිශයින්ම ප්‍රශංසනීයයි. කෙසේ වෙතත් දැන් දැන් ඊට සහභාගී වන දරුවන්ගේ සංඛ්‍යාව සීමිතය. ප්‍රායෝගික ගැටලු කිහිපයක්ම පවතී. මේවා සාකච්ඡා මාර්ගයෙන් විසඳාගෙන ක්‍රමානුකූලව පවත්වාගත යුතුය.
අඩුවෙන් තක්සේරු කරනු ලැබ ඇති තවත් කරුණක් ද සඳහන් කරනු කැමැත්තෙමි. ළමා පරපුරට උරුම කරදිය යුතු නැටුම්, ගැයුම් වැනි කලා ශිල්ප තවදුරටත් රැකගත යුතුය. මෙය දෙයාකාරයකින් පෝෂණය විය යුතුය. අධීක්‍ෂණයට ලක් විය යුතුය. එකක් නම් මේ සඳහා විධිමත් පාඨමාලාවක් සුදුසු මණ්ඩලයක් මගින් අනුමත විය යුතු අතර ඒ අනුවම පුහුණුවීම් කටයුතු සිදුවිය යුතුය. අනෙක් අතට කුසලතා ඇති දරුවන් කිසිදු භේදයකින් තොරව ඉදිරියට ගත යුතුය. එමගින් දරුවන්ගේ කුසලතා වර්ධනය කරගැනීමට ඉඩ හළ යුතුය.
වෙනත් රටවල් කිහිපයකත් මා අත්දුටු තවත් කරුණක් මෙහිදී ප්‍රදර්ශනය වන හෙයින් ඒ ගැන ද . අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. 1980 ගණන්වල සිටම වයස අවු. 12 ක් පමණ ඉක්ම වූ අමෙරිකානු (පිරිමි) දරුවන් එරටේම සැතපුම් දහස් ගණනක් ඈත නගරවලට හෝ ප්‍රංශය වැනි විදේශීය රටවලට තනිවම යාමට හා වෙන්ව ජීවත්වීමට ඉඩ ලබාදෙනු පෙනුනි. ඔවුහු නිවසින් පමණක් නොව දෙමාපියන්ගෙන් ද වෙන්ව වාසය කිරීමට කැමැත්තක් දක්වති. පවුලේ බැඳීම කඩා දමති. ජර්මනියේ ස්තර තුනකි. ආච්චි හා සීයා කොපමණ වයස වුවත් තනිව ජීවත් වෙති. ඉතා මහළු අය තණ පිට්ටනි ආදියේ බංකු මත වාඩි වී අයිස් ක්‍රීම් වැනි දේ වල රස විඳිමින් තනිව කතාබහේ නිරත වෙති. වයස අවු. 12 ට පමණ අඩු දරුවන් සමග දෙමාපියෝ වෙනම කණ්ඩායමක් ලෙස ජීවත් වෙති. තරුණ දරුවෝ වෙනම කල්ලි ගැසෙති. දෙමාපියන් සමග ඇසුරක් නැතුවා සේය. ඕස්ට්‍රේලියාවේදී ද මේ ලක්‍ෂණ දක්නට ලැබිනි. නවසීලන්තයේ ඇතැම් ශ්‍රී ලාංකික පවුල්වල තරුණ දරුවෝ නිවසට එති. නිවසින් පිටව යති. එහෙත් දෙමාපියන් සමග වැඩි කතාබහක් සතුටු සාමීචියක් ඔවුන් අතර නැත. දෙමාපියන් පවසන්නේ ඔවුන් තමන්ගේ පාඩුවේ ඉගෙනීම් කටයුතු හා රැකියාවල නිරත වන බවයි. පරම්පරා ගණනාවක් තුළ ශ්‍රී ලාංකික සමාජය එකාවව බැදී ඇත්තේ දරුවන් දෙමාපියන් හා ඔවුන්ගේ මාපියවරුන් එක පුරුකක් වන ආකාරයට ජීවත්වන හෙයිනි. එහෙත් විවිධ හේතූන් නිසා මීට පෙර තිබූ මේ ලක්‍ෂණය දැන් ක්‍රමයෙන් ගිලිහී යමින් පවතී. ඉහත සඳහන් “වෙන්ව සිටීමේ” ප්‍රවණතාව නිසා දෝ තරුණ අය අතර ගැටලුකාරී තත්වයන් මතුවන බවට ඉඟි පහළ වෙමින් පවතී. බොහෝ විට ශ්‍රී ලාංකික පිරිමි දරුවන්ගෙන් සමහර දෙනෙකු විදේශීය දැරියන් සමග විවාහ වීමට උත්සාහ දැරීමේදී කුමන හෝ කරුණක් නිසා ගැටලු මතුකරගන්නා අවස්ථා තිබෙනු දක්නට ලැබේ.
එක්කෝ එම ක්‍රියාවලට දෙමාපියෝ විරුද්ධ වෙති. නැතහොත් වෙනත් සමාජමය ප්‍රශ්න මතු වී ගැටලු ඇති කරයි. (ගැහැණු දරුවනටද මෙය අදාළය). මෙම තත්වය උග්‍ර වූ විට සිය දිවි නසාගැනීමට තරම් ඔවුහු පෙළඹෙති. මුළු රටටම අදාළ සංඛ්‍යා ලේඛන මා සතුව නැතත් මෙය බරපතල ගැටලුවක් බවට පත්වන බවක් මෑතදී සිදුවුණු සියදිවි නසාගැනීමේ කිහිපයකින් පෙන්නුම් කරයි. මේ කරුණ ගැන වැඩිහිටි සමාජය අවධියෙන් නොසිටියහොත් තත්වය බරපතල විය හැක.
මාගේ අවධානයට ලක්වුණු තවත් කරුණක් නම් ශ්‍රී ලංකාවේ තරම් ආකර්ෂණීය අකම්, සිත්තම්,ගෙත්තම්, රුක් කලා ආදිය වෙන කිසි රටක නැති වුවත් ඒ කිසිවක් පිළිබඳ වැටහීමක් නවසීලන්ත වැසියනට නැති බවය. චීනය හා වියට්නාමය වැනි රටවල නිෂ්පාදිත දෑ ඕනෑම තැනකදී දැකිය හැකි නමුත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන රෙදිපිළි, අත්කම් භාණ්ඩ, චිත්‍ර ආදී කලා කෘති, කැටයම් භාණ්ඩ, වෙස්මුහුණු ආදී නිෂ්පාදන කිසිවක් ලබාගත හැකි තැන් නවසීලන්තයේ නැත. බොහෝ ඉන්දියානුවන් එරට නිෂ්පාදනය වූ ඒවා පමණක් නොව නවසීලන්තයට පමණක් විශේෂ වූ සිප්පි කටු භාණ්ඩ, ආභරණ ආදිය ඉහළ අගයවලට විකුණනු පෙනේ. නවසීලන්තවාසී ඇතැම් අය ලී අරටු වලින් තැනූ විසිතුරු භාණ්ඩ සාදා වෙළඳපොළට එක්කරති. ශ්‍රී ලාංකිකයන් ලාංකික නිෂ්පාදන කිසිවක් ඉදිරිපත් කරනු දක්නට නොලැබේ. මෙහි ඇති වෙළඳපොළේ විශාලත්වය ඔවුහු නොදකිති. නොතකති. එපමණක් නොව සුපිරි වෙළඳසැල් වල හෝ අනිකුත් එබඳු තැන්වල ලාංකික වාණිජ භාණ්ඩයක් වී ඇත්තේ ‘ඩිල්මා” තේ පමණක් බව එම සමාගමට ගෞරවයක් වශයෙන් සඳහන් කළ යුතුය. ශ්‍රී ලංකාවේ ඇති රසවත් හා ගුණවත්, පැකට් කරන ලද පාන වර්ග හෝ TJC අඹ වැනි ඉතා රසවත් පළතුරු වර්ග රටට ඇතුළු වී නැත. එපමණක් නොව මෙහි වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට අවශ්‍ය කුළුබඩු වර්ග පවා මිලදී ගනු ලබන්නේ ඒවා වෙනත් රටවලින් ආනයනය කරන වෙළඳසැල් වලිනි.
මා නවසීලන්තයේ ගත කළ කෙටි කාලය හා සීමිත ප්‍රදේශ තුළ දුටු දෑ නිරීක්‍ෂණය කිරීමෙන් එකතු කරගත් කරුණු කිහිපයක් මෙහි සදහන් කොට ඇත. මේවායින් එකක් හෝ කිහිපයක් හෝ වැරදි විය හැකි නමුත් සියල්ලම අත්‍යන්තයෙන්ම අසත්‍යය යයි මම නොසිතමි. එහෙයින් මේවා පිළිබඳව එහි පදිංචිව සිටින සියලුදෙනාගේම අවධානය යොමු කරනු ඇතැයි විශ්වාස කරමි.
ඇන්.එච්. පෙරේරා