කල්ප සුවහස් කාලයක් මුළුල්ලෙහි මිහිකතට ආලෝකය පතුරමින් එහි අස්සක් මුල්ලක් නෑර දැක ගන්නට වාසනාවන්ත වූ සඳ මම වෙමි. වනාන්තර, සමුදුර මෙන්ම ගොඩබිම්ද මගේ දසුනට සුපුරුදුය. කිසිවෙකුගේ නෙතට හසු නොවුන අලංකාර දසුන් මෙන්ම, හිත කළඹා මා දුකට පත් කළ දසුන්ද මගේ දිවිය තුල අනන්තය අප්‍රමාණය.
එදාත් සුපුරුදු ලෙසට දඹදිව ආලෝක කරමින් ගිය ගමනේදී, ලුම්බිණියේ සල් උයනේ සල් ගස් අතු පතුරින් ඒ ආශ්චර්යමත් උප්පත්තියෙන් පිනා ගොස් සතුටු වෙන ශාක්‍යයන් අතරේ සිටි පින්වන්ත කුමරා මම දැක ගත්තෙමි. කිසිවෙකුටත් ලං වෙන්නට බැරි තරමේ රැකවල් දමා තිබුණත්, මම මගේ ආලෝකධාරා පතිත කරමින් අහස් කුස සිට ඒ අසිරිය නැරඹුවෙමි.
එදා පටන් කුමරා දිනෙන් දින වැඩෙන අයුරු කුමරුගේ මාලිගාවේ යහන් ගැබට රැස් දහරා යවා කාටත් හොර රහසේ මම දැක ගතිමි. කුමරා අනෙකුත් කුමර කුමරියන් සමඟ කෙළි සෙල්ලම් කරන අයුරු මම බලා ගත්තේ හිරු පායා එනතෙක්ම ගෙදර යාමට අමතක වී අහසේ කොනක සිටි දවස්වලය. කුමරා දුනු ශිල්ප, කඩු ශිල්ප ඉගෙන ගත් තක්සලාව ඉහලින් අහසේ සිට ඒ හරඹ දැක ගත්තෙමි. රාජ සභාව ඉදිරියේ දේවදත්ත කුමරු හා දුනු හී සටනට එළඹි කුමරාගේ අයස්කාන්ත දේහධාරී රුව මණ්ඩපයට ඉහලින් විහිදුන රැස් කැරලි තුලින් මම දැක ගත්තෙමි.
කාලයත් සමඟින් යෞවනයට එළඹි කුමරා මගේ රැස් දහරා වැතිරුණු ගම්බිම් ඔස්සේ චන්න සමඟ අසුපිට ගිය අයුරු මට මතකය.
යශෝධරා කුමරිය හා උයනේ ඇවිද යමින් පරිසරයේ චමත්කාරය විඳි කුමරාගේ සිනාවත මඳ අඳුරේ මම දුටුවෙමි.
දඹදිව වැසියන් වීදි පුරා නටමින් ගයමින් අමන්දානන්දයට පත් වූ එදවස කුමරා යශෝධරා කුමරියගේ අතිනත ගත් දා හද පිරි සතුටින් මම බලා සිටියෙමි. එදා මගේ රැස් කැරළි උඩ පැන නටමින් මාලිගාව ආලෝකමත් කළේ ඒ සංසාරගත ආදරණීය බැඳීම අවුරුදු දහස් ගණනක් තිස්සේ මා දුටු මගේ මතක ඇවිස්සූ නිසාමය.
කුමරාත් කුමරියත් ආදරයෙන් වෙලී මාලිගාවෙන් මාලිගාවට එක් එක් සෘතුවලදී ගමන් කරද්දී මමද ඔවුන් ගිය මඟ ආලෝකමත් කළෙමි.
පිපී හිනැහුන මල් අතරේ සුවඳැති සුන්දරම මල් කුමරිය වූ යශෝධරාවන් ගැබ්බරව උයනේ සැන්දෑවේ ඔබමොබ සක්මන් කරද්දී මගේ රැස්වලින් නහවා උයනේ චමත්කාරය වැඩි කර ඇය සතුටු කළෙමි.
රාහුලයන් ඉපදුන ඒ රාත්‍රිය මගේ මතකයෙන් කිසිවිටකත් බැහැර නොවේ. මුළු මහත් මාලිගාවම සතුටින් ඇලලී ගිය රාත්‍රියේ මමද රැස් පතුරවමින් මාලිගාව ඉහල අහසේ ඔවුන්ගේ සතුටට එක් වූයෙමි.
මාලිගයේ කාටත් නොදන්වා යශෝධරාවන් හා පුතණුවන් හැරදා කුමරා රහසින් අභිනිෂ්ක්‍රමණය කළ ඒ රාත්‍රියේ හැඬූ මගේ කඳුළු, පිණිබිදු ලෙස දඹදිව පුරා විසිරෙන්නට ඇත. චන්න සමඟින් කුමරු නේරංජනා ගංතෙරට ගිය එදවස මමද කුමරා පසුපස ගියෙමි. අක්බඹරුවන් බඳු වු කෙස් කලඹ කඩුවෙන් කපා දමා, රාජ අබරණ චන්නට බාර දුන් ඒ මොහොතේ කන්ථක අසු හදවත පැලී මිය යද්දී මහ පොලොව සලිත වනු ඉහල අහසේ සිටි මටද දැනුනි.
පුරා අවුරුදු ගණනාවක් දුෂ්කර ක්‍රියා කරමින් ඝණ කැලෑවල ලඳුවල ගල්ගුහාවල දිවි ගෙවූ කුමරා පසුපස මමද ගියෙමි. උතුම් සම්‍යක් සම්බුද්ධත්වයට කුමරා පත් වූ වෙසක් පොහොය දිනයේ මගේ රැස් වළලුවලින් නහවමින් ඒ භග්‍යවතුන්වහන්සේ අසල මම රැඳුනෙමි.
එතැන් පටන් උන්වහන්සේ යොදුන් ගණන් පා ගමණින් වැඩම කළ හැම තැනකටම උන්වහන්සේ පිටුපස මම ගියෙමි. සුද්ධෝදන රජු හා යශෝධරාවන් බැහැ දකින්නට කිඹුල්වතට වැඩි ඒ දිගු ගමනේදී මම උන්වහන්සේට ආලෝකයක් වුනෙමි.
හතලිස්පස් වසක් ලෝ වැසියන් දුකෙන් මුදමින් උන්වහන්සේ වැඩ සිටි ජේතවනාරාමය ඇතුළු සියලුම ආරාම කරා මම ගියෙමි. දහස් ගණන් වූ බැතිමතුන් උන්වහන්සේගේ බණ අසා නිවන් දකිනවා මම දුටුවෙමි. රජවරු දෙවිවරු උන්වහන්සේ නමඳිනවා මම දුටුවෙමි. අංගුලිමාල, සෝපාක, සුනීත, පටාචාරා, කිසා ගෝතමී වැනි උන්වහන්සේගේ කරුණාවට පාත්‍රවූවන් මෙන්ම, විශාකා සිටු දියණිය, අනේපිඬු සිටානන් හා සැරියුත් මුගලන්, කාශ්‍යප, ආනන්ද, සීවලී, රාහුල තෙරුන්ද, ප්‍රජාපතී ගෝතමිය, යශෝඹරා තෙරණියන්ද මම දුටුවෙමි. ඒ අයට දෙසූ දම්පද මා තරම් ඇසුවෙකු නොමැති බව දනිමි.
සකල සත්වයාට මහත් අනුකම්පාවෙන් සසරෙන් එතෙර වෙන්නට දෙසූ ඒ උත්තමයාණන් වහන්සේ දුර්වලව මල්ලව රජදරුවන්ගේ උයනේ සැතපී සිටිනු දුටුවෙමි. සඳ රැසින් මුළු මහත් දඹදිවම ඒකාලෝක වූ වෙසක් පුන් පොහොය දිනක සිදුහත් කුමාරෝත්පත්තියද, බුද්ධත්වයද, පරිනිර්වාණයද සිදු වනු දුටු මා, තථාගතයින් දුටු සඳ වෙමි.
By Indra Dayamani Kolambage – Auckland