fbpx
8.7 C
New Zealand
Thursday, May 9, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ආවර්ජනා | ඉන්ද්‍රා දයාමණී කොළඹගේ | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

නවසීලන්තයේත්  අනිකුත් රටවලත් ජලගැලීම් නායයෑම් සුළිසුළං හා කුණාටු ආදිය රූපවාහිනිය ඔස්සේ දැක තිබුණත්  ‘ඒ මිනිස්සු පව්’ වගේ හැඟීමක් ඇති වුනා මිසක ඒ අයගේ මානසික තත්ත්වය කොයි වගේද කියා නිකමටවත් නොසිතුනේ ඒ අත්දැකීම මා විඳ නොතිබූ නිසා හෝ මට කරදරයක් නෑනෙ යන ආත්මාර්ථකාමී සිතුවිල්ල හිතේ කොහේ හෝ තිබූ නිසාදැයි නොදනිමි.  හැමවිටම ලෙඩක් දුකක් කරදරයක් සිදු වන තෙක්ම ජීවිතය රසගුලාවක් ලෙස සිතමින් උපතින් බෞද්ධ වුවත් දුක ගැන නාම මාත්‍ර හිතුවිල්ලක් නැති අපේ ජීවිත ගලා ගියේ මරණය පිළිබඳ කිසිම බියක් නැතිවමය.  මරණයේ දොරකඩට ගිය මිනිස්සු ඒ ගැන අපට කිව්වත් එවෙලෙට එය අසා අමතක කර දමා අපි අපේ නොනිමෙන ගමන මෙතෙක්  ගියෙමු. 

පහුගිය ජනවාරි 27 වෙනිදා දවස වෙන් වූයේ මාස ගණනක් තිස්සේ වෙහෙස මහන්සි වී සුදානම් කොට තිබූ 28 වෙනිදාට වේදිකාගතවීමට නියමිතව තිබූ අපේ ‘සිත් රූ’ සංගීත ප්‍රසංගයට  අප හා එක්වීමට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට එදා හිමිදිරි උදේ ගුවන් තොටුපලට පැමිණි ‘රිද්ම රාත්‍රී’ කණ්ඩායම පිළිගැණීමට යාමටය. 

 දවස පටන් ගත්තේ මොර සූරන වැස්සක් සමඟිනි.  මහ වැස්සේම ඔවුන් ගුවන් තොටුපලේ සිට කැඳවා ගෙනවිත් සංග්‍රහ ආදිය නිම කොට ඔවුන් වෙන් කොට ගෙන තිබූ නිවසට ඇරලුයේ එදා රාත්‍රියේ අපේ මිතුරෙකුගේ නිවසේ පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහයේදී අපි සියලු දෙනා නැවත මුණ ගැසීමේ බලාපොරෙත්තුවෙනි.  

සියල්ල කණපිට හැරෙන්නට ගියේ පැය කිහිපයකි. උදය පුරා ඇද හැලුණු වැස්ස හා තද සුළඟ තව තවත් දරුණු වෙමින් හවස් වෙන විට ගිගුරුම් සහිත වැසි බවට පත් වූයේ අමුතුම ආකාරයකටය. කිසිම දවසක ඕක්ලන්ඩ් නගරයේ ජලගැල්මක් ගැන අත්දැකීමක් නොතිබූ මම රාත්‍රී භෝජන සංග්‍රහයට යෑමට වැස්ස අඩු වේ යයි සිතමින් හෙට දවසට අවශ්‍ය දේ ගොනු කරමින් සිටියෙමි. 

එක්වරම හවස හයට පමණ වැස්ස මහා ධාරානිපාතයක් වී ඇද හැලෙමින් මිදුලේ වතුර මට්ටම ඉහළ යන්නට විය. ගේ පිටුපස වවා තිබූ මල් පෝච්චි වතුරේ පා වෙනවා වීදුරු තුලින් දුටු මම වතුර බැස යන කාණු පද්ධතිය හිර වී ඇතැයි සිතා කාට හෝ කතා කරන්ට දොර දෙසට ගිය විට දුටුවේ මහා ජලකඳක් ගේ මිදුල යට කරමින් ඉහළ යන ආකාරයයි. 

එවෙලේම නාන කාමරය දෙසින් මහත් ශබ්දයක් ඇසී බැලු විට නාන කාමරයේ වතුර බැස යන කාණුවෙන් වතුර ගේ තුලට ගලා එනු පෙනුනි. කිසිවක් සිතා ගත නොහැකි වූ මම දුරකතනයේ කැමරාවෙන් වතුර ගලා එන අයුරු රූපගත කළේ  කාට හෝ යවා සිදු වී ඇති දේ කියන්නටය. එහෙත් තවදුරටත් රූගත කරන්නට නොව  තව මිනිත්තු  කීපයකින් ගේ වතුරෙන් යට වෙන බව තේරුම් ගත් මම හැකි වෙර දමා බිම තිබූ භාණ්ඩ සමහරක් ඇඳ උඩට හා මේසය උඩට දැමුවත් ගේ ඇතුලේ වතුර මගේ දණහිස දක්වා ඉහල ගිය පසු උදව් ඉල්ලා කෑ ගසනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් මට ඉතුරුව නොතිබුණි.  එක්වරම දණහිස් මට්ටමටත් ඉහළින් ආ සැඬපහරේ නිවස තුළ තිබු බඩු පාවෙන්නට විය.  මගේ කෑ ගැසීම ඇසී එහි පැමිණි  ශක්තිමත් මිනිස්සු දෙදෙනෙක් එහි තිබූ මේසයක් මතට මා නැංගුවේ නැති නම් ජලකඳේ සැඩපහරට මා ගසා යන්නට තිබුණි.  නිවාස සංකීර්ණයේ සිටි සිරුරින් කුඩාම තැනැත්තිය මා විය. 

අපේ මහල් නිවාස සංකීර්ණයේ අනික් නිවාසවලත් යට තට්ටු සියල්ල වතුරෙන් යට වුන අතර අතේ තිබු දුරකතනයෙන් මේ ගැන මගේ මිතුරන්ට දැන්වූවත් ඒ කිසිවෙකුට යාම් ඊම් කළ  නොහැකි වූයේ අප සිටි මුළු ප්‍රදේශයම මහා ජලකඳට යටවී තිබුණු හෙයිනි.  අදටත් සිතා ගත නොහැකි වූ ඒ ජලකඳ තවත් පැය කීපයකට පසු අඩු වූයේ මා සතුව තිබු සමහර වටිනා දේවල් මට අහිමි කරමින් වුවත් ජීවිතය බේරීම ගැන පමණක් අද මම සතුටු වෙමි. 

පාරවල් වසා ගමනාගමනය අත්හිටුවා පොලිස් බාධක දමා තිබූ නමුත් ප්‍රසාදිනීත් කපිලත්. හර්ෂත් මහා වැස්සේම පැමිණ ඔවුන්ගේ නිවසට මා ගෙන ගියේ කුණු කාණුවලින් ගලා ආ ජලකඳින් යටවුන නිවසේ තවදුරටත් මට සිටීමට නොහැකි වූ නිසාය. ඒ මහා ගංවතුරේ ඔවුන් කෙලෙසක ආවාදැයි මට අදටවත් සිතා ගත නොහැකිය. 

මහත් කම්පනයකින් සිටි මට දවස් දෙකක් යන තෙක් කිසිවක් හරියට සිහියට නොආවත් යලි පැමිණි පසු දුටුවේ යකුන් නැටූ පිටියක් ලෙස තිබූ නිවසයි.  කිසිම ලී බඩුවක් නැවත ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වන සේ විනාශ වී තිබු අතර පෙඟුණ  බුමුතුරුණුවලින් නැඟුනේ මහත් ගන්දස්කාරයකි. රතු ස්ටිකරයක් අලවා තිබූ නිවසින් පැය කිහිපයක් තුලදී ඉවත් වෙන ලෙස දී තිබුණු නියෝගය මත ඉතුරුව තිබූ භාණ්ඩ රැගෙන වෙනත් නිවසකට යන්නට මට සිදු විය.  ජලගැල්ම දවසේ මා බේරා ගත් මිතුරු කැල සේම යලිත් ඉතුරු බඩු රැගෙන අලුත් නවාතැනට යන්නට ප්‍රේම්නාත් සහ නිශාන්තත් ගත් වෙහෙස ගැන ලියන්නට මට වචන නැත. 

ජීවිතය අස්ථිර යයි කියන දේශනා මුළු ජීවිතකාලය පුරාම අසා තිබුණත් ජීවිතය කොයි තරම් කෙටි කාලයක් තුළ නැති වී යා හැකිද යන්න තේරුම් ගන්නට තරම් මානසික මට්ටමක් යලිත් මට ලැබුනේ මේ සිද්ධියෙන් කීප දවසකට පසුවය. එතෙක් හීනෙන් ඇවිදිනවා වැනි යාන්ත්‍රික ගැහැණියක වී සිටි මම සිදු වුන විනාශය ගණනය කර හරියටම තේරුම් බේරුම් කර ගත් පසු ජීවිත ස්වභාවය තේරුම් ගත්තෙමි.  

මේ වන විට ජලගැල්මෙන් පසු පැමිණි කුණාටුව දවසේ මම නොනිදා පහන් කලේ නැවත ජලගැල්මක් ඇති වේ යයි යන බියෙනි.  මුළු රෑ පුරා අවදිව සිටි මට පසුදා උණ ගත්තේ හිතේ තිබූ බියටමය.  එයින් මා තේරුම් ගත්තේ ජලගැල්ම කොතරම් දරුණු භීතියක් මගේ හිතට ඇති කර ඇද්ද යන්නයි. 

නමුත් කුණාටුව නිසා රටේ පහළ කොටසේ සිදුවී ඇති මරණ හා විනාශය දෙස බැලූ විට ඒ අයගේ මානසික තත්ත්වය තේරුම් ගන්නටත් ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්නටත් හැකි වුවා මෙන්ම මට සිදු වූ විනාශය කොයි තරම් අල්පදැයි සිතා හිත හදා ගන්නටත් හැකි විය.   

ඒ බිහිසුණු මානසික මට්ටමට මාද නොවැටෙන්නට  පෙරදා මෙන් ඒ අසරණ වූ මිනිසුන්ගේ හැඟීම මට කිසිසේත් නොදැනෙන්නට තිබුණි.  

මා අසරණ වූ ඒ අවස්ථාවේ මා වෙනුවෙන් වෙහෙස වූ වචනයකින් හෝ මට සහනයක් වූ  දුරකථන ඇමතුම් හා මල් එවූ හැම දෙනාටම නම් වශයෙන් සඳහන් නොකලත් මගේ ආදරය පළ කරමි. 

පුවත්පතේ ‘ආවර්ජනා’ තීරුවට ලියන්නට සිදු වූ භයානකම සිදුවීම මෙලෙස සටහන් කිරීමට සිදුවීම මගේ ජීවිතයේ නොමැකෙන ආවර්ජනයක්ද වනු ඇත.   මා අසරණ වූ විට මට ශක්තියක් වූ පුවත්පතේ කාර්ය මණඩලයට මගේ ආදරය පළ  කරමි. 

මගේ කතාව ලියන්නට මෙරටේ මට පුවත්පතක් තිබීම කොයි තරම් අගනේද? 

By Indra Dayamani Colombage – Auckland

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.