පීතෘත්වය (කොටස් 10 කින් යුත් කෙටි කතාව) 8 වන කොටස
මෙතෙක් කතාව :
පාලිතගේ ජීවිතය උඩු යටිකුරු කරමින් දිනක්,තම පැරණි පෙම්වතිය වූ,කාංචනාගේ දියණිය ඔහු මුණ ගැසීමට කාර්යාලයට එයි. ඇය තමාගේම දියණිය බව සනාථ වෙද්දී ඔහු තම හද තුළ වැඩෙන පිය සෙනෙහසට ඉඩ දෙමින් ඇයගේ පීතෘත්වය භාර ගනියි. එය ප්‍රශ්න වැලක ආරම්භයද ? අද එතැන් සිට…..
තමාට පාඩුවක් වෙතත් කිසි දෙයක් හංගා ගෙන සිට පුරුදු නැති පාලිතට මෙය තම බිරිඳට කියන්නේ කෙසේදැයි ගැටලුවක් විය. ඔහු කාංචනා සමඟ තිබූ සම්බන්ධය ගැන බිරිඳට විවාහ වීමට පෙරම කියා තිබුණි. නමුත් ඇයට තිබූ සම්බන්ධයක් ගැන නම් ඇය පාලිතට කීවේ විවාහ වූ පසුය. මෙය කිව්ව විට නම් ඇය ආවේස වනු ඇත. ඇයගේ අපහාස උපහාස ගැරහීම් උත්සන්න වනු ඇත. ම්ම්.. පුතාට කියන්නේ කුමක්ද ? ඔහුත් කාරණා තේරුම් ගන්නට පුළුවන් වයසේය. නමුත් මෙයට ඔහු කෙසේ මුහුණ දෙයිද ? කෙසේ බලපායිද ? සියල්ල තියෙන්නේ නෙත්මිණි අතේය. ඇයට මා ළඟට එන්න අවශ්‍ය නම් මා ඇයව භාර ගනිමි. එසේ නැතුව ඇය අම්මා ළඟ විසීම ප්‍රිය නම් එසේ වුණාදේ. මට බිරිඳගෙන් දික්කසාද වී කාංචනාව කසාද බඳින්න පුළුවන් ද ? විකාර. එතකොට පුතා මට අහිමි වේ. එය කළ හැක්කක් නොවේ. පුතා මගේය. දුවත් මගේය. අම්මලා දෙන්නෙකි. හයියෝ ! මේ මොන කරුමයක් ද ? කාංචනා කියන්නා සේම මං මහ බය ගුල්ලෙක්. කාංචනාගේ පියාට බිය නොවී මට කාංචනාව බඳින්නයි තිබුණේ. ඇය එය අපේක්ෂාවෙන් සිටියා. එසේ නොකොට මං කරේ නිවාඩු දමා ගමට පලා යාමයි. ඇය මාව සොයා තිබුණා. අපේ ගමේ ගෙදරට ටෙලිෆෝන් නෑ. ඇය කෙසේ මාව සොයා ගන්න ද ? ඇය කොතරම් අපහසුතාවයකට පත්වන්න ඇත් ද ? ෂිහ් , මං වගේ ජරා මිනිහෙක්. මට මං ගැනම ලැජ්ජයි. පාලිත කොතරම් තදින් කල්පනාවේ නිමග්න වී සිටියේද යත් තම ලේකම්වරිය කාමරයට පැමිණ මේසය ඉදිරිපිට සිටගෙන සිටිනු දැක්ක විට ඔහු ගැස්සී කෙලින් විය.
‘සොරි සර්. සර්ට මොනවත් ඕනෙද ? මං ඕෆ් වෙන්නද අහන්න ආවේ’
‘ආ…කමක් නෑ. කීයද වෙලාව දැන් ?’
‘හතයි කාලයි සර්’
‘මොනවා…මට තේරුනේම නෑනේ. ඉට්ස් ඕකේ. ඔයා ඕෆ් වෙන්න’
පාලිත කාංචනාට ඇමතුමක් ගෙන සියලු විස්තර කීවේය. ඔහුගේ සිතේ යම් ආඩම්බරයක් ඇති වුණි. තමාගෙන් වූ අතපසුව ගැන පාලිත සමාව යැද්දේය. කාංචනා නිහඬව අසාගෙන සිටියාය. ඉන් පසු ලිපි ගොනුවක් අතට ගත් පාලිතට ඒ ගැන සිත යොමු කිරීම අපහසු විය. කාර්යාලයෙන් පිටවූ පාලිත තම රථයට එන විට රියැදුරු සූදානම්ව සිටියේය. මඳක් කල්පනා කළ පාලිත,
‘ඩිල්ශාන්ගේ ගෙවල් පන්නිපිටියේ නේද ? ම්ම්.. මට අද පොඩි ගමනක් යන්න තියෙනවා. අපි ඔයාගේ ගෙදර ගිහිල්ලා, ඊට පස්සේ මං වාහනේ අරගෙන යන්නම් ’
‘අනේ ඕනා නෑ සර්.මට බස් එකේ යන්න පුළුවන් ’ කියා රියැදුරු පාලිතට යතුරු දී ගියේය. පාලිත නෙත්මිණි බැලීමට රාජගිරියට ගියේය. පාලිත ඇය කැටුව Pizza එකක් කෑමට ගියේ සතුටු සිතිනි.
‘දැන් දුව මගේ බව තහවුරුයි. මං අම්මත් එක්ක කතා කරා. මේක ඇත්තටම මගේ අතින් වුණ වැරැද්දක්. මට නිවැරදි තීරණය එදා ගන්න බැරි වුණා. ඒකට මට සමාවෙන්න දුව. හැබැයි දැන් දුව ගන්න තීරණයක් එක්ක මං ඉන්නවා ’ පාලිත ස්ථිර හඬින් කීවේය. නෙත්මිණිගේ දෑස් දැල්විනි.
‘තාත්තා, මං ඔයාගේ දුව බව දැන ගෙන ගොඩක් කල්. එදා ඉඳන්ම මගේ තාත්තා ඔයා. මං අම්මට ගොඩක් ආදරෙයි. ඒත් එයාට ගෙදර දාලා එන්න බෑ. මට ඒ ගෙදර තවත් ඉන්නත් බෑ. මට ඕනේ තාත්තා එක්ක ඉන්න. එහෙම පුළුවන්ද ?’ ඇය ඇසුවේ අසරණ ලෙසය. පාලිතගේ ඇස්වලින් කඳුළු කඩා වැටුනි. ඔහු කතා කළේ අපහසුවෙනි.
‘මගේ රත්තරං දුව. තාත්තා කෙනෙකුට තමන්ගේ දරුවෝ තාත්තා කියලා කතා කරන එක තරං ගෞරවයක් මේ ජීවිතේට තවත් නෑ. ඔයා මගේම දුව තමයි. ඒක පෙනුනේ නැති මමයි වැරදි. දුව මා ළඟට එන්න. මං දුවව මගේ පණ වගේ රකිනවා’ පාලිත දුවගේ අත් අල්ලාගෙන කීවේය.
‘ඔය ඇත්තමද ? තෑන්ක්යූ තාත්තා.’ කියා නෙත්මිණි නැගිට පාලිත සිටි තැනින්ම ඇවිත් වාඩි විය. ඔහු ඇය වටා අතක් දමා ඇයව තුරුල් කර ගත්තේය. ඇයට තම තොරතුරු කියන්නට තරම් සිහියක් ඔහුට නොවිනි. එතනින් පිට වූ ඔවුහු නැවතත් රාජගිරියට ගියහ.
‘දුව ගෙදර යන්නේ කවදද ?’
‘මං හෙටම යනවා.හෙට උදේම කෝච්චියට නගිනවා. මං අනිද්දා ආපහු කොළඹ එනවා.’
‘හොඳයි දුව.අම්මත් එක්ක කතා කර ගන්නකෝ. ආපහු කෝච්චියේ එන්න එපා, මං එන්නං ඔයාව ගන්න.’
‘ෂුවර් ? ෂහ් නියමයිනේ එහෙනං. තාත්තට අම්මවත් බලන්න පුළුවන් එතකොට.’ පාලිතට සිනා ගියේය. ඔහුගේ මුහුණ ලැජ්ජාවෙන් රතු වෙන්නට ඇත.
‘අනේ තාත්තට ලැජ්ජා හිතුන තරමක්. මට අම්මා කියලා තියෙනවා, ‘පාලිත හරි ලැජ්ජාකාරයා’ කියලා. ’ කියා නෙත්මිණි සිනාසුනාය. පාලිත පුදුමයෙන් ඇය දෙස හැරී බැලුවේය.
පාලිත ගෙදර ආවේ සිහිනයක ජීවත් වනවාක් මෙනි. දුක, වේදනාව, පසුතැවිල්ල, සතුට, ආඩම්බරය, පිය සෙනෙහස, ලැජ්ජාව, චකිතය , බය යන මේ සියලු චෛතසිකයන් වරින් වර ඔහුගේ සිතේ ඇති වෙමින් දෝලනය වෙමින් තිබුණි. දින දෙකක් තුළ ජීවිතය උඩු යටිකුරු වුණි. බිරිඳට මෙය කියන්නේ නැතුව බෑ. මට නෙත්මිණිව ගෙදර ගෙන්වා ගන්න ඇත්නම්. අපි හතර දෙනාටම එකට ජීවත් වන්න බැරිද ? දරුවෝ දරුවෝමය. කාගේ දරුවාත් තමන්ගේ කියා සිතන්නට බැරිද ? මා බිරිඳගේ තැන සිටියා නම් මා මෙයට කොහොමද මුහුණ දෙන්නේ ? මට නම් පුළුවන් ඒ දරුවා භාර ගන්න. ම්ම්.. ඇත්තමද ? කිසිම ඊර්ෂ්‍යාවක් සිතේ ඇති නොවේවිද ? පාලිතගේ සිත ව්‍යාකූලය. රෑ අහස ද වැහිබර ගතියෙන් අඳුරු වී පොද වැස්සක් වැටෙමින් ඇත. ඉදිරියෙන් ආ මෝටර් රථයක නොගැටී බේරුනේ අනූ නවයෙනි. රථයේ රියැදුරා වීදුරුව පහත්කර බැණ වදිමින් ගියේය.
පාලිත තමා පත්වී සිටින උභතෝකෝටිකයට මුහුණ දෙන්නේ කෙසේද ? ඉදිරි කොටසෙන් බලමු…
By Pantaka Bhatiya Siriwardhana – Sri Lanka