fbpx
14.7 C
New Zealand
Saturday, July 27, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

රෝස පෙති | කෝසල තිලකරත්න | ශ්‍රී ලංකාව

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

කැලණි ගං දිය සිප ගෙන හමන සිසිල් සුලඟින් නිරතුරුවම නැහැවෙන ‘මේද්‍රිස් වලවුව’ විශාල ඉඩමක මැදට වෙන්ඩ ඉදි කෙරුනු ප්‍රතාපවත් ගොඩනැගිල්ලක්. හොඳින් සුදු හුනු පිරියම් කර, දිස්නය දෙන්ඩ දොර ජනෙල් ඔප දමා තිර රෙදි බුමුතුරුනු ආදියෙන් අලංකාරවූ මේ ගෘහය එහි වසන්නන් ගේ තේජස වඩාත් තීවුර කරන්නක් උනා.

හොඳට ඉඩ කඩ ඇති පිවිසුම් මාර්ගය වලව්ව ඉදිරියෙන් රවුමට කරකැවී ඒ මැද රෝස මල් උයනකට ම උචිත බිම් කඩක් නිර්මානය වී තිබුන.

උත්තුංග දේහ ධාරියකු වන මේ නිවසේ ප්‍රධානියා ගමේ රාලහාමි ලෙස ගෟරවනීය දිවි පෙවතක් ගෙවුව. කොලඹ උසස් විදුහල් වලට දරුවන් ඇතුල් කර, පංසලේ ප්‍රධාන දායක කම සේම ගමේ කුදු මහත් පොදු කටයුතු වලදී මූලිකව ක්‍රියා කළා.

ඔහු ගේ වැඩි මහල් සොහොයුරිය අසාර්ථක විවාහයකින් අසරනව සිය දරුවන් සමඟ එම නිවසේම පදිංචි උනා. නිවසේ හැම සම්පතක්ම නොපැකිලී පරිහරනය කල එම රුවන්ට කිසි විටකවත් මෙය පිට ගෙයක් ලෙස දැනුනේ නැහැ.

ඔහුන්ගේ වැඩිමලා, ලොකු බේබි නෝනා  දිගු අක්බඹර කෙස් කලඹක් සහිත ස්ත්‍රී ලාලිත්වයෙන් අනූන නිරෝගී සුකුමාල සිරුරකට උරුම කියුව. පවුලේ රුවැත්තිය පොඩි බේබි නෝනා  පැහැපත් චවි වර්නයක්, 

සිහින් උස් සිරුරක් සහ සඳක් සේ සුන්දර උවනකට හිමිකම් කියුව.

තාරුන්‍යයේ කඩඉම අසලට ම පැමින සිටින මේ දෙ සොහොයුරියන් මුලු රටේම මගුල් කපුවන් ගේ නිබඳ අවදානයට නතුව තිබුන.

සංසාර පුරුද්දක්ද දන්නේ නැහැ, මොකක් හෝ හේතුවක් හොයා ගෙන ඔවුන් දෙදෙනා නයි පොලොඟුන් සේ එක්නෙකා හා පැටලුනා. ඉඳ හිට කෙස් වලු පටලවා ගන්න තරමට ම මේ ගැටුම් උග්‍ර උනා. ඒත් සමහර පොදු කටයුතු වලදී ඔහුන් අදහා ගත නොහැකි තරමට සමීප වෙනව.

නිවස ඉදිරිපිට වට රවුමේ ‘රෝස උයන’ එහෙම එකක්.

දන්න කියන හිතවතුන් ගෙන් ඉල්ලා ගෙන, දුර්ලභ පැල මිලයට ගෙන දීර්ඝ කාලයක ඇවෑමෙන් ඔවුන් දර්ශනීය රෝස උයනක් බිහි කලා. සිය එදිරිවාදි කම් පසෙක ලා  හැම උදයකම දෙ සොහොයුරියන් මේ වෙනුවෙන් කැප වෙනව. කිසිම පංගු බේරුවක් නැතුව කල යුතු දේ කරනව.

අවසන ඔවුන් ගේ උත්සාහය ඵල දරමින් සිය ගනනක් පාට පාට මල් වලින් පිරිච්ච හරිම ලස්සන රෝස උයනක් බිහි උනා. 

ගමේ විවාහ රෙජිස්ටාර් වන රාලහාමි ගේ බිරිඳ තීක්ශන බුද්ධියකින් යුත් ඉවසිලිවන්ක තැනැත්තියක්. නිතරම ප්‍රසන්න සනහවකින් මුව සරසා ගත් යහපත් කාන්තාවක්. ගමේ මහිලා සමිතියේ සභාපතිනිය වන ඇය සොයා ප්‍රභූ පැලැන්තියේ ගැහැනුන් නිතරම වලවුවට පැමිනියා.

ඒ අය අතරින් මහා විශාල වාහනයක එනදෑත පුරා රන් වලලු දමා ගත් පිටි මුට්ටයක් සිහි ගන්වන ‘පීරිස් නෝනා’ මේ සුන්දර රෝස උයන හදවතින්ම අගය කරන්නියක්. හැම දාම රථයෙන් බැස්ස විගසම උයන වටේ රවුමක් යන ඇය,

ඇස් වහක් කට වහක් නැහැ,’ යි  හයියෙන් ම කියල- බේබි නෝනලා තරහෙන් පුපුරා යද්දි හොඳට පිපී තියෙන මලකින් පෙති කීපයක කඩාගෙන කටේ දා ගන්නව. 

රෝස පෙති කාපුවහම හම පැහැපත් වෙනව’ හැමදාම එකම දේ කියනව.

පන්සලට එපිටින් ගඟ අද්දරට වෙන්ඩ පදිංචිව ඉන්න ඔවුන් ගේ පුංචි අම්ම හැම උදයකම වාගේ මහ ගෙදර එනව. තමා හැදී වැඩුනු ඒ ගෙදර සි සමීපතයන් සමඟ පැය කීපයක් ගත කරනව.

එදා පුංචි අම්ම ගෙදර එනකොට පීරිස් නෝනා පිට උනා විතරයි. දෙ සොහොයුරියන් රොස් උන මුහුනින් ඔවුන් තුල පුපුරා හැලෙන කේන්තිය පුංචි අම්මා ඉදිරියේ ගලා යන්ඩ ඉඩ හැරිය.

අර ගෑනි ඊරි වගේ අපේ මල්ටික කනව.’

මම බලා ගෙන ඉඳිද්දීම මල් හතරක පෙතිකෑව.’

දවසක්ද- දෙකක්ද- මේක හරි කරුමයක් නේ.’

ඇයි ඕගොල්ලෝ එපයි කියන්නෙ නැත්තෙ?

එක මලකින් පෙති දෙක තුනක් විතරයි කන්නේ. රෝස පෙති කාපුවහම හම සුදු වෙනවලු.’

ඉතින් හොඳයිනේ. අපිත් කමුකො,’  ගැටලු සමතයට ඇය සතු ප්‍රබලම අවිය වන සිය නිර්ව්‍යාජ සිනහවෙන් මුව සරසා ගෙන පුංචි අම්මා පැවසුව.

අක්ක නංගි දිහා බැලුව. නංගි අක්ක දිහා බලා ගෙන ඉඳල ගෙට දුව ගිහින් රෙදි හෝදන්ඩ ගන්න ලොකු සුදු බේසම අරන් ආව. කිසිම ලෝබ කමක් නැතුව අක්කයි නංගිය් රෝස පෙති වලින් බේසම පුරව ගත්ත.

තුන් දෙනාම රෝස පෙති දෙක තුන බැගින් කටේ දමා ගත්ත. ඒත් මේ පිරිල තියෙන බේසම කොහොම කාල ඉවර කරන්ඩද?

මේක මෙහෙම පෙනුනට ඉවුවොත් ඇබින්දක් වෙයි.’  පුංචි අම්ම කියුව.

හීනියට ලියා ගත්තු ලූනු කෑලියි, උම්බලකඩ කෑලියි, අරවයි මේවයි දාල, දක්ෂ සූප වේදිනියන් දෙදෙනෙකු වන බේබි නෝනලා හරි අපූරුවට ‘රෝස පෙති ව්‍යන්ජනය’ පිලියෙල කෙරුව.

බත බුලතින් සපිරුනු සමුර්ධිමත් කාල වකවානුවක් වූ එවක කෑම වේලක් කියන එක ඉතා සුලු දෙයක්. මැද මිදුලට යාබද කෑම කාමරයේ මේසය මතට දවල් දොලහ වෙනකොට කෑම අරිනව. නිවැසියන් ගේ පරිබෝජනයෙන් පසුවත් තවත් හතර පස් දෙනෙකුට කන්ඩ කෑම ඉතුරු වෙනව. හවස තුන හතර වෙනකම්ම කවුරු ආවත් නොකා යන්ඩ ලැබෙන්නේ නැහැ.

එක් දීසියකට පමනක් සීමාවූ රසම රස රෝස පෙති ව්‍යාන්ජනය සමග පුංචි අම්මයි දුවල දෙන්නයි කෑමට ඉඳ ගත්ත.

වෙනද වගේම තවත් පැයක් විතර ඉඳල පුංචි අම්මා ගෙදර යන්ඩ පිටත් උනා. පන්සල පසු පසින් වැටී ඇති බොරලු පාරට පිවිසුනා විතරයි, කුස තුල සිදුවන ආගන්තුක පෙරලිය ඇයට දරා ගැනීමට අපහසු අදික වේදනා ගෙන දෙන්නක් උනා.

අපොයි දෙවියනේ මේ මොකද?’

කොහොම හරි ගෙදර යා ගන්ඩ ඇය පය ඉක්මන් කෙරුව. එහෙත් ඊට පෙරාතුව ඇය ගේ ආහාර ජීරන පද්දතිය කෙලවර පිහිටා තිබෙන තිරිංග, බට තුවක්කුවක වෙඩි හඬක් වැනි ශබ්දයක් සමගින් ස්වයංක්‍රීයව විවෘත උනා.

උදරයේ  වේදනාව අභිබවා  නැග එන ලැජ්ජාවෙන් අසරන වූ ඇයට තිබුනු එකම අස්වැසිල්ල ඒ ගිනි මද්දහනේ කිසිවෙක් ඒ මග නොමැති බව දැන ගැනීම පමනයි.

දැන් ඉතින් කරන්ඩ දෙයක් නැහැ.’

දෙපා අතරින් අත දමා සාරියේ පසු පසින් අල්ලා ඉදිරියට ඇද ගෙන දෙදන දක්වා කෙටි උන වස්ත්‍රයෙන් ඇය හනිකට හනිකට පිය මැන්න.

ගෙට යන්නෙ නැතුව පිට පාරෙන් ගිහින් කුස්සියේ ජනේලයට තට්ටු කලා.

සුමනෝ, මගේ ගවුමයි සබන් කෑල්ලයි අරගෙන ඉක්මනට ගඟට වරෙන්.’

හැමදාමත් ලොකු නෝනා ගේ කරුනාබර වදක් පමනක් අසා ඇති  සුමනා උඩ ගිහින් බිම වැටුන. මොකක්ද මේ හදිස්සිය? ලොකු නෝනා ලොකු අවුලක බව ඇය තේරුම් ගත්ත. දඩි බිඩි ගාල කියපු දේවල් අරගෙන නාන තොට වෙත දිවුව.

මේ සිද්ධියට සමගාමීව තවත් නාටකයක් වලවුවේ රඟ දැක්උනා.

දවල් ආහාරයෙන් පසුව ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ ඇලවී කුකුල් නින්දක් ගහන ලොකු බේබි නෝනා එදත් ඒ සුව පහසු පුටුවේ දිග ඇදී දෑස් පියා ගත්ත. හිටි අඩියේම යටි බඩේ හටගත් ගින්නක් සර්වාංගය පුරාම විහිදී ගියා.

මේ මොකද?’

කිසිම පෙර දැනුමි දීමක් නැතුව එක පාරටම.

කිසිවක් තෝරා බේරා ගන්ඩ නිනවුවක් නැතුව එක පිම්මේ දිව ගිය ඇය මැද මිදුලේ කොනටම වෙන්ඩ, මේ සත් කාර්යය වෙනුවෙන්ම ඉදි වී ඇති කුටියට රිංග ගත්ත. වතුර බාල්දිය බිමින් තියල දොර වහ ගන්ඩ ඇයට කාලය ඇති උනා.

ඒ නිමේශයේ දීම ඇතුල් ගෙයි සිට මැද මිදුලට පැමිනි පොඩි බේබි නෝනා අක්ක දොර වසා ගන්නව දැකල  ‘අයියෝ’  කියල මොර දුන්න. අනතුරුව ලෝක කෙටි ධාවන ශූරියගේ වාර්තාව සුනු විසුනු කෙරෙන වේගයකින් ගෙයින් එපිට ට වෙන්ඩ තිබුනුසේවකයන් ගේ වැසිකිලියට දිව ගියා.

ඇඳි වත පිටින්ම දියබුං ගහන ලොකු නෝනා ගේ දසුන සුමනාවතීව විසඳා ගත නොහැක ප්‍රශ්න රාශියකට මැදි කෙරුව. ඇඳ සිටි ඇඳුම් එකින් එක සෝදා දමා සුපුරුදු ප්‍රසන්න සිනාවෙන්  මුව සරසා ගෙන දියෙන් ගොඩ උනු හාමිනේ පවසා සිටියේ වචන දෙකක් පමනයි.

රෝස පෙති.’

ඒ වචන දෙකේ තේරුම දැන ගන්ඩ සුමනිවතී ට සෑහෙන කාලයක් ගත උනා. 

පහුවදා උදයේත් පුංචි අම්මා වෙනදා වගේම මහ ගෙoර ගියා. ඇය ගේ දසුනත් සමග පුපුරා ගිය නිවසියන් ගේ සිනහව බලලා මල්ලෙන් පැන ඇති බව ඇයට පසක් කර දුන්න. 

දැන් ඉතින් මුව පුරා සිනහ නොවී වෙන මොනව කරන්ඩද? අන්ද මන්දව සිටි බේබි නෝනලාත් පුංචි අම්මාත් සමඟ අන්‍යයන් ගේ සිනහවට හවුල් උනා.

හරියටම ඒ වෙලාවේම පීරිස් නෝනා ගේ විශාල මෝටර් රථය නිවස ඉදිරිපිට නැවතුනා. ආයාසයෙන් සිනහව නවත්වා ගත් බේබි නෝනලා වනීතව ඇයට ආචාර කලා. 

අනේ ඇස් වහක් කට වහක් නෑ,’ හැමදාම කරන විදිහට ඇය රෝස පෙති කීපයක් කටේ ඔබා ගත්ත.

ඊයේ මල් පෙති නෙලා ගත් බේසම අතට ගත් බේබි නෝනා නිර්ලෝබීව  එය පිරී යන්ඩම මල් පෙති කඩා ගත්ත. නැන්දා  රාජකාරි කටයුතු නිමකර පැමිනෙන පීරිස් නෝනා වෙත ලං උනා.

ඔයා හැමදාම එක පෙත්ත එක පෙත්ත නේ කන්නෙ. මෙන්න අද මම ගොඩක් එකතු කලා. බේසම පිටින්ම ගෙනියන්ඩ.

අපොයි, ඔයාට පිස්සුද බේබි නෝනඕව ඕනෑවට වැඩිය කෑවොත් බඩ බුරුල් වෙලා අසනීප වෙනව.’

බෙිසම දෙස නොබලා ම ඇය සිය සුව පහසු වාහනයට ගොඩ උනා.

මේ ගෑනිට කලින් ඔය කතාව කියන්ඩ තිබුන නේ.’ 

පුංචි අම්මයි, දුවල දෙන්නයි, උනුනුන් දෙස බලා ගත් බැල්මෙහි ඔවුන් ගේ සිත් තුල දැවෙන වෛරයෙන් ඔබ්බට ගිය පරායක සටහනක් තිබුන.

නාලන්දයේ ආදි ශිෂ්‍යයෙකු වූ කෝසල තිලකරත්න මහතා වෘත්තියෙන් මුද්‍රණ කරුවෙකි. ‘මෝසම් වැස්ස’ ඔහු පළකළ පළමු කෙටි කතා සංග්‍රහයය. ‘මිදෙල්ල වැටිය’ නව කතාවය. ‘රෝස පෙති’ අප වෙත එවූ එක් කෙටි කතාවකි.

 

By Kosala Tillakaratne

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.