හුස්ම ගැනීම මේ තරම් අපහසු වූයේ කෙසේද? උපන්දා සිට මේතාක් කිසිදු ආයාසයකින් තොරව අනවරතයෙන් සිදුවූ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය මේ සා වෙහෙසකාරී වූයේ කෙසේද?? තවදුරටත් මට තනිව හුස්ම ගත නොහැක. මා සිටින ඇඳ වෙනත් කාමරයකට තල්ලුකරගෙන යනු දැනේ. එහි ‘Intensive Care’ යැයි ගසා ඇත. කෘතිම ශ්වසන උපකරණයක් මගේ මුහුණට සවි කරනු පෙනේ. දොස්තරවරු හා හෙදියන් කිහිප දෙනෙක් මා වටාය. මාගේ ප්‍රගමනය නිරික්ෂණය කරන යන්ත්‍රවල ‘බීප්‘ ‘බීප්‘ ශබ්දය ඇරුණුකොට මුළු වටපිටාවම නිශ්චලය. උපකාරක යන්ත්‍රය ආධාරයෙන් පවා හුස්ම ගැනීමට අසීරු බවක් දැනේ. මුලින් හෙමිහිට උස් පහත් වූ පපු පෙදෙස දැන් දැන් භයංකාර තෙරපුමකට ලක්වී ඇති සෙයකි. මේ වේදනාව ඉක්මනින් ඉවරයක් විය යුතුය. අවසානය එළඹිය යුතුය. ශරීරය අත්හැර දැමීමට කාලය පැමිණ ඇත. වටපිටාවම නිලංකාර වෙයි. ඒ අතරින් මගේ දරු දෙදෙනාගේ හා බිරිඳගේ මුහුණු මැවී පෙනේ.
යන්ත්‍රයේ ‘බීප්‘ ‘බීප්‘ නාදය විලාපයක් බවට පත්වී ඇත. කිහිප දෙනෙක් කාමරයට දිව එනු පෙනේ. දෑස් නිලංකාර වී යයි. සිත සනසාලන කණාමැදිරි එළියක් ඈතින් පෙනේ. මම ඒ වෙත ඇවිද යමි. වෙර වෑයමෙන් අවසන් හුස්ම වා තලයට එක් වනු දැනේ. සියල්ල අන්ධකාරයෙන් පිරී යයි. සියල්ල නිශ්චලය. සියල්ල හිස්ය. සියල්ල අවසානය.
අනන්ත අපරිමාන වා තලයෙන් මා ඉහලට ගත් එක් සුසුමක සැඟවී නාස් පුඩු තුළින් ශ්වාස නාලය හරහා ගමන් කොට පෙනහැල්ලේ ගර්ත තුළ සිර වුනු ‘කොරෝනා’ වෛරසයක් මා මරා දමා ඇත.
ඉටි රෙද්දක ඔතා ඇති මගේ පණ සුන් සිරුර රෝහල් උපස්ථායකයකු වේගයෙන් තල්ලු කරගෙන යනු පෙනේ. මේ යකා නම් ගිය අත්මේ ‘Formula 1’ ඩ්‍රයිවරයෙක් ද කොහෙද. “හිමිං යං යකෝ! තව පොඩ්ඩෙන් බිම!!” මට කෑ ගැසෙයි. ඒත් ඌට වගේ වගක් නැත. හැකි ඉක්මනින් මේ ‘මළ මඟුලෙන්‘ ගැලවීමට ඔහුට අවශ්‍ය වී ඇති සෙයකි. මෝචරියේ ලාච්චු පිරී ඇත. ට්‍රොලිය එක කොනකට තල්ලු කළ උපස්ථායකයා ආවට වඩා ඉක්මනින් නොපෙනී ගියේය. මගේ මරණය ගෙදරට දන්වන තුරු තව ටික වේලාවක් මෙසේ රැඳී සිටින්නට සිදුවනු ඇත. ‘කොරොනා‘ නැතුව මැරුණා නම් මෙලහකට මා මල් ශාලාවක එම්බාම් කර, උන්නාටත් වඩා ලස්සනට මිනිය සාදා, මිල අධික පෙට්ටියක් ඇතුලේ හොවා තබනවා ඇත. තිබුණු හොඳම සූට් එක අන්දා ටයි පටියකින් ගෙල හිරකර බඩ මත අත් තබා, පණ සුන් සිරුර නැරඹීමට සුදුසු තත්ත්වයකට ගෙන එනු ඇත. නමුදු, ‘කොරොනා‘ ට පින් සිද්ද වෙන්න ඒ ‘මංගල්ල‘ මුකුත් නැත.
ආතාගේ මළ ගෙදර මතකයට නැගේ. පුංචි මාමා කැනඩාවේ සිටි නිසා ඒ කාලයේ ඔහු එනතුරු ආතාගේ මිනිය දින පහක් කල්තබා ගැනීමට සිදුවිය. අවුරුදු 85 ක් ජීවත් වී මිය ගිය ආතාගේ මළ සිරුර ඒ දින 5 තුළ දෙවරක් එම්බාම් කිරීමට සිදුවිය. පලමු රාත්‍රිය සිදුවීමකින් තොරව ගතවුවත් දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි රාත්‍රියන් උත්සවයක සිරියක් ගත්තේය. මුළු ගමේම කොල්ලො මහ ගෙදරට සෙට් වූයේ, මේ කාලයේ ෆේස්බුක් පාටියකට සෙට් වෙන කොල්ලෝ කෙල්ලෝ පරිද්දෙනි. සමහරු, ඉස්තෝප්පු කාමරයේ දොර වසාගෙන බූරුවා ගැසූ හැටි මට මතකය. බබලත් උදවිය රෑ පහන් වනතුරු උන්ට තේ කෝපි සහ ‘කෙටි කෑම’ සපයනු මතකය. ඒ, උන් සීල් බෝතල් වල මදි පාඩුවට ‘සුදුවා‘ යින් පවා ගජරාමෙට සප්පායම් වී සිටි බව නොදැන නොවේ. බූරු ගහන උන් මහ හඬින් ඔට්ටු අල්ලති. තව කොනක තරුණ පහේ ගැටව් ‘ඕමි‘ පාරකය. පොඩි උන් ටිකක් කෑ කොස්සන් ගසමින් කැරම් ගසයි. මුළු මළ ගෙදරම එකම කාලගෝට්ටියකි. මළ ගෙදරකට වඩා උත්සව සිරියකි. සාලෙ මැද තනිව නිදන ආතගේ මුහුණු දෙස බලා සිටි මට වටේ සීද්ද වන්නේ මොන කෝලමක් දැයි සිතුණු වග හොඳින්ම මතකය. අවසානයේ පුංචි මාමා ආ පසු භූමිදානය සිදුවිය. අවමංගල්‍යය කතා වලදී ආතා ගැන වැඩිමනක් කතා වුණ බවක් මට මතක නැත. එහෙත් අනිත් උන් ගැන නම් ඇති පදමට කතා වුණු බව මට හොඳින් මතකය. මේ විකාර හිතේ පැළපදියම් වී තිබුණු නිසාද මන්දා අපේ තාත්තා මිය ගිය පසු අවමංගල කතා පැවැත්වීමට මුලින්ම විරුද්ධ වුණේ මා ය. මෙච්චර කාලයක් ගමේ ඉපිද, පසු කාලයේ ගමේ ජීවත් වී, ගමේ මියගිය තාත්තා වෙනුවෙන් කතාවක් නොපැවැත්වුවහොත් එය හරි මදි යැයි වැඩිහිටියෝ කීහ. ඒත් ඒ ඉල්ලීම කාරුණිකව ඉවත දැමු නිසා තාත්තා ‘කතා නැතුවම‘ යන්නට ගියේය. ඒ ගැන තාත්තා, මා සමඟ අමනාපයක් නැතැයි මම දනිමි. හොඳ වෙලාවට ‘කොරොනා‘ නිසා මගේ මළගමේ කතා කරන්නට කට මැදන් බලන් හිටි උන්ට ‘වෙන එකෙක්‘, ‘වෙන එකක්‘ නිසා මැරෙන තුරු බලා ඉන්නට සිදු වනු ඇත.
ගෙට හැරෙන හන්දියේ කුරුස කොඩියක් නැත. ෆොටෝෂොප් කොට හින්දි නළුවෙක් සේ හැඩගන්වා ගත් (දන්න කියන ගෑණු කෙසේ වෙතත් හිරිමල් වියේ ගැටිස්සියන්ට පවා ‘අනේ‘!, කියැවෙන) ෆොටෝ සමඟින් එල්ලෙන බැනර් නැත. ගොක්කොළ, සුදු වියන් මග දෙපස එල්ලෙන්නේ නැත. එල්ලන්න කොල්ලන්ද නැත. පත්තරේ, ගුවන් විදුලියේ අවමංගල දැන්වීම් නැත. අක්කලා, මල්ලිලා, නෑනලා, මස්සිනාලා වැඩ කරන තැන් වලින් සහ වැඩ පොලේ, පාසැලේ ආදි ශිෂ්‍ය සංගමයේ හැට හුටහමාරක් ශාඛා වල xx වසරේ සිසුන්ගේ “සාතිශය සංවේගය” යැයි ගැසූ බැනර් නැත. කොටින්ම තාප්පයක අලවන්නට මරණ දැන්වීමක් පවා නැත.
සහෝදර සහෝදරියන්, නෑ හිතමිතුරන් මේ වුණු දේ අසා තුෂ්ණිම්භූතවී සිටියත් අම්මට නම් මා මළ බව කිව යුතු නැත. මහ මෙරක් සේ දාහක් දේ දරා ගත්තත් ඇය, ඇගේ ජීවිතේ සැඳෑ සමය සැනසීමෙන් ගත් කළ යුතුය.
මගේ මිතුරු කැළට වූ දෙයක්! වැඩ අහවර වී ‘නා’ කියාගෙන සුදු ටී ෂර්ට් එකකින් හා ඩෙනිමකින් සැරසී මළ ගෙදරට පැමිණ කුණුහරුප කතා කියමින් බෝතලයක් සුද්දකර ‘නයිටක්’ අදින්නට අවස්ථාවක් උන්ටත් නැත. (සොරි ඈ…. මචංලා).
දන්න කියන කාලෙ ඉඳන් කා බී ජොලියේ ජීවත්වූ මට, මළාට පසු මිනිය පවුලේ උන්ටවත් ගෙයි හතර මායිමකට නොගන්නට හේතු වන සේ කාරණා ඉෂ්ට සිද්ධ වූ අයුරු කනගාටුදායකය. එය මහා දුකකි! එහෙත් එයම සැපතකි!!
එම්බාම් නැත. සුවඳ පැනින් නැහැවීම් නැත. ජේත්තුවට ඇඳුම් නැත. රිදියෙන් මල්කම් ලියකම් කළ මිල අධික පෙට්ටි නැත. බොරු ඇත් දළ නැත. ඔප දා ‘කිටි කිටියේ’ දිලිසෙන Hearse නැත. මල් නැත. මල් වඩම් නැත. ඉටිපන්දම් නැත. කුරුස නැත. ගීතිකා නැත. ඔරසන් නැත.මළ බතක් නැත. හත් දවස, තුන්මාසෙ යැයි කියා හතර වරිගයට දෙන ‘දාන පාටි‘ මුකුත් නැත. මන්දයත්, ‘කොරෝනා’ හැදී මැරුණු එකෙකුගේ ගෙදර පැත්ත පළාතකට දන්න කියන කිසිවෙක් එන්නේ නැති නිසාය.ඒ තියා, කවදා හෝ මැරුනු දාක ගමේ මිනි පිට්ටනියේ දන්න කියන එවුන් මැද්දෙ ‘වැළලලෙන්නට’ තිබුණු ආසාවටත් ‘ආයිබෝං‘ කියන්න සිදුවීම පුදුම සහගතය.
මට යෑමට කාලය පැමිණ ඇත. පාළු මූසල කනත්තේ ඔලුවේ ඉදන් පහලට ආවරණය කරගත් තිදෙනෙක් ඈතින් මට පෙනේ. බිමට යොමාගත් ඔවුන්ගේ උරහිස් සෙමින් ගැස්සේ. ඒ මගේ දූලා දෙන්නා සහ බිරිඳ විය යුතුය. සැරින් සැරේ හිස ඔසවා මා හොවා ඇති රබර් ලෑලි පෙට්ටිය දෙස බලන ඔවුන්ගේ දෑස් කඳුළින් පිරී ඉතිරී යන හැටි මට පෙනේ. අනේ,… ඔවුන්ව සනසාලන්නට යමක් කියන්නට මට හැකිනම්………
අලුතින් කැපූ මිනී වළවල් පෙලියක කෙළවර මගෙ මිනි වළ පෙනේ. ඒත් මිනිය වළ තුළට හෙමින් පහත් කරන විට ගායනා කරනා “සෙවනැලි මත, සෙවනැලි මත, සෙවනැලි එන්නේ” ගීතිකාව ගයන්නට කන්තාරු කණ්ඩායමක් නැත. “මළා වූ ආත්මයන් දේව දයාබරකමින් සමාදානයේ සැතපෙන ලද්දේවා” යැයි කියා ආසිරි පැන් ඉසින්නට පියතුමෙක් වත් “ආමෙන්” කියන්නට බලු බල්ලෙක්වත් පේනතෙක් මානෙක නැත.
කවුන්සිලයේ ‘ලඩියේ‘ දමා ගෙන ආ මගේ සිරුර සේවකයින් සිව්දෙනෙකු විසින් උස්සා වළට අත හරියි.
දඩිං!!! සැර වැඩිද මන්දා අතහැරිය විදිහ. ආයි පණ එයිද කියලා මොහොතකට හිතුණා මට.
හෙමි හෙමිහිට වැටෙන පස් පිඩ වල් වෙනුවට ‘බැකෝ‘ මැෂිමකින් එක ‘හෝසෙට’ වළ වසනුපෙනේ. මොහොතකින් කවුන්සිලේ ‘ලඩිය‘ ‘ගොරොද්දේ‘ අදිමින් පිටව යනු ඇසේ.බොඳව යන සිරුරු තුනක් පමණක් තවමත් ඈතින් දිස්වේ. අධීක්ෂණ නිලධාරීන් ඔවුනට ඉවත්වන්නට යයි අණ කරනු ඇසේ. මා වෙතින් ඈතට පිය මනින තුන් දෙනාගේ රුව බොඳව යන්නේ කෙසේද? බොලේ…… මළත් තාම ඇස් වල කඳුළුය!
‘රැහැයි’ හඬ තීව්රව ඇසේ. ආණ්ඩුවේ කනත්තට රාත්‍රිය උදාවී ඇත. කිසිම ප්‍රාණියෙක් පැත්ත පළාතකවත් නැත. සැතපෙන්නට කල් හරිය.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මම “සමාදානයේ සැතපෙමි”.
ක්‍රිෂාන්ත වෑවිට, වෙලිංටන් නුවර – 03/04/2020