කුරේ අතිශෝක්තියක්දැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් පුරාවෘත යනු දශක ගණනාවක් ගියද නැවත නැවත කතාන්දර ලෙස කියාදිය හැකි පූර්වාදර්ශ වන නිසා කුරේගේ උදාහරණය අතිශෝක්තියක් නොව යකඩ හදවතකින් සහ ඩහදියෙන් නිමැවූ සජිවී නිමැවුමක් බව අවසානයේ ලියාතබන්නෙමි.
මා ඔබට මෙ ලිපිය ලියන්නේ සිහින හඹායන මිනිසුන් සහ ඔවුන්ගේ අප්‍රතිහත ධෙර්ය පිලිබද අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සජිවී උදාහරණයක් සපයන නිසාය. දිවුලපිටියේ කුඩා ගමක ඉපිද දැනට ලන්ඩනයේ බර්කින්හැම් නගරයේ පේස්ට්‍රි සාදන්නෙකු ලෙස ජිවත්වෙමින් ක්‍රීඩා කළ පුංචි මිනිසෙකුගේ යකඩ හදවත ගැන ලියා තබන්නය.
නමින් අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ වන ඔහු ලංකාව වෙනුවෙන් මැරතන් ක්‍රීඩාව දික්විජය කළ පුරාවෘතයක් බඳු මිනිසුන් වන කේ. ඒ. කරුණාරත්න (ඇට්ලන්ටා ඔලිම්පික් 1996), ලුසියන් රෝසා (1972 මියුනිච් ඔලිම්පික්) සම තැන්හි තැබිය හැකි ක්‍රීඩකයෙකි. ඔලිම්පික් තරගාවලි තුනක්: 2004 (ඇතැන්ස්), 2012 (ලන්ඩන්) සහ 2016 (රියෝ) නියෝජනය කළ කුරේගේ නම බොහෝ දෙනෙකු දන්නේ නැත.
ළමා කාලය.
1978 දිවුලපිටිය ගම්මානයේ තුන් දෙනෙකුගෙන් යුතු පවුලේ දෙවැන්නා ලෙස කුරේ උපත ලැබීය. පියාගේ රැකවරණය නොලැබුන ඔහුගේ පවුලේ පියාගේ මෙන්ම මවගේ කාර්යභාරය ඉටුකිරිමට සිදුවුයේ ඔහුගේ මවටය. කලාතුරකින්පාසල් ගිය අනුරාධ කුරේ ජිවිතය පිළිබඳව හෙම්බත් වී සිටියේ අභියෝගවල කෙලවරක් නැති නිසාය. එහෙත් ඔහුට අපූරු උත්ප්‍රේරණයක් ලැබුනේ ඔහුගේ මාමා ගමේ අවුරුදු උත්සවයේ මැරතන් තරගයකින් ජයග්‍රහණය කළ දිනයේ ගමෙන් ලැබුනු ප්‍රතිචාරය නිසාය. එතැන පටන් මැරතන් ක්‍රීඩකයකු වන්නට සිහින මැවූ අනුරාධ, මාමා සමග අවට ගම්මාන සියල්ලේම අවුරුදු ගම හරහා තරග සඳහා එක්වුණු අතර එයින් ජයග්‍රහණ ලබා ගන්නට සමත් විය.
පසුව පාසල් තරග බිමට එක්වුණ අනුරාධ, මිටර් 5000 පාසල් සමස්ථ ලංකා තරගාවලියට සුදුසුකම් ලබා ගත්තත් අවාසනාවට සමස්ත ලංකා තරගාවලිය අවලංගු වූ නිසා ඔහුට එයට සහභාගි වීමට නොහැකි විය. අවසානයේ දි සමස්ථ ලංකා පාසල් තරගාවලියට සපත්තු නැතිව පිට පළාතකින් පලමු වරට කෘතිම පිටියක දිවූ අනුරාධ, සියල්ලෝම පුදුමයට පත්කරමින් අදටත් නොබිඳුනු ප්‍රථම වාර්ථාව අනුරාධ කුරේ නමට සටහන් කරමින් අවසන් කළේය. පාසල් කාලයේම ආසියානු පරිසාදන මට්ටම ලබා ගත්තත් අවසන් මොහොතේ ඔහුගේ නම ඉවත් කර තිබුනේ බලධාරින්ගේ කෙනෙහිලිකම්වල පළමු අත්දැකීම ඔහුට ලබාදෙමිනි.
ගමෙන් ආ නන්නාඳුනන තරුණයා.
ඔහුට මැරතන් ක්‍රීඩාවට ඉමහත් ලැදි කමක් තිබුණේය. පාසල් සමයේම 1998 දී සිරස රූපවාහිනිය සංවිධානය කළ ජාතික මැරතන් තරගයකට ජීවිතයේ ප්‍රථම වතාවට වන්නට තීරණය කළේය. තරගයේ මැද සීමාවේ අනුරාධ ඉදිරියේ ගමන් කළේ එවක ජාතික ශුරයා පෙනෙන මානයේ නැති ලෙසටය. අනුරාධගේ නම රුපවාහිනී නිවේදකයන් නොදැන සිටි අතර ඔවුන් ඔහු හැඳින්වූයේ. ‘ගමෙන් ආ තරගකරුවා’ ලෙසය.
නමක් නොදන්නා මෙම යකඩ කොලුගැටයා පිළිබඳව ලංකාව පළමුවරට දැනගත්තේ මෙම තරගාවලියෙනි. අවසානයේ මොටර් රථයකින් පැමිණි නිවේදකයෝ ඔහුට සමීපව, ‘මල්ලි, ඔයාගේ නම මොකද්ද? ‘ ලෙස ඔහුගේ නම ඇසූ බව වාර්ථා පොත් අතර සටහන් වෙයි. අනුරාධ පිළිබඳ පළමු සලකුණු දැන ගත්තේ එම සිදුවීමෙනි.
ජිවිතයේ අභියෝග වලින් ජයගන්නටත් ක්‍රීඩාවේ දිගටම යෙදෙන්නටත්, පසුව යුධ හමුදාවට එක්වුන අනුරාධ, බ්‍රිගේඩියර් පෙරි ලියනගේ මහතා යටතේ පුහුණු වීම් ආරම්භ කළ අතර 1999, 2001, දි සාෆ් තරගාවලියේදී මිටර් 10,000 රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. එමෙන්ම 2004 වසරේම ඔලිම්පික් තරගය සදහා ලංකාව නියෝජනය කළේ ය.
එහෙත් බලධාරීන්ගේ නොසැලකිල්ල හා කෙනෙහිලිකම් නිසා ඔහු කලකිරී සිටියේය.
එංගලන්තයට සංක්‍රමණය.
අභියෝගවලට විසඳුමක් සොයන්නට සිතූ අනුරාධ එංගලන්තයට සංක්‍රමණය වන්නට සහ කිසිදු තරගයකට සහභාගී නොවන්නට තීරණය කළේය. ජිවිතය අවන්හලක පේස්ට්‍රි සාදන්නකු බවට පත් වෙමින් ග්‍රෙග්ස් පේස්ට්‍රි (Greggs London) අවන්හලේ ජිවිතයේ අවසානය තෙක් ගතකරන්නට තීරණය කළේය. එහෙත් එක්තරා අහඹු සිදුවීමක් ඔහු නැවත ක්‍රීඩාවට ආකර්ෂණය කරවන්නට සමත් විය.
2008 ඔලිම්පික් තරග විකාශනයේ තරගය නරඹන අතරතුර අනුරාධ හිත යටින් දුක් වෙමින් සිටියේය. රූපවාහිනියේ සම්මුඛ සාකච්ඡාවකට එක්වුණු ක්‍රීඩා පුහුණුකරුවකු වන යෝගානන්ද ජයසුන්දර අනුරාධ පිළිබඳ සඳහන් කළ අතර සමහර විට ලංකාවේ සිටියානම් ඔලිම්පික් වරම් ලැබෙන බව කීවේය. ඉන් ලැබුණු උත්වේගයෙන් නැවත මැරතන් බිමට පිවිසෙන්නට අනුරාධ තීරණය කළේය.
ලන්ඩන් මැරතන්.
ලන්ඩන් නුවර බකින්හැම්ශයර් ග්‍රෙග්ස් අවන්හල් ජාලයේ වැඩකරන අතර ඔහු පුහුණුවීම් කළේය. උදයේ හා හවස අවන්හලට කිලෝමීටර 20 කට ආසන්න දුරක් ලන්ඩන් නුවර උදේ හවා දිවගිය අනුරාධ පිළිබඳ අවන්හලේ කිසිවකු නොදැන සිටි අතර ඔහු ඔලිම්පික් ක්‍රීඩකයකු බව දැන ගත්තේ BBC ප්‍රවෘත්ති සේවයේ පළවූ සටහනක් නිසාය. පසුව ග්‍රෙග්ස් අවන්හල් ජාලය ඔහුගේ නමින් පේස්ට්‍රි ආහාරයක් නිකුත් කළේ නමක් නොදැන එහෙත් යකඩ දිරියෙන් වැඩකළ කුරේ පිළිබඳ දැනගැනීමෙන් පසුය.
පසුව ලන්ඩන් මැරතන් තරගයට එක්වුනු කුරේ, ඉන් 14 වෙනි ස්ථානය ලබාගත්තේය. තම ජීවිතයේ සාර්ථකතම තරගය, එනම් පැය 2යි මිනිත්තු 13යි තත්පර 47යි සමග අවසන් කළ කුරේ, 1975දී ෆුකුඔකා මැරතනයේ දී ලුසියන් රෝසා සටහන් කළ පැය 2යි මිනිත්තු 14යි තත්පර 31යි ජාතික වාර්තාව වසර 40 කට පසුව 2015 ලන්ඩන් මැරතන් දී අලුතින් ලියන්නට සමත් විය.

වෘත්තීීය හොඳම වාර්තා
- පිරිමි මැරතන්: පැය 2යි මිනිත්තු 13යි තත්පර 47 (ජාතික වාර්තාව)
- පිරිමි අර්ධ-මැරතන්: පැය 1යි මිනිත්තු 4යි තත්පර 45 (ජාතික වාර්තාව)
- පිරිමි 10000m: මිනිත්තු 29යි තත්පර 32
ලන්ඩන් මැරතන්
- 2015 –14වැනි ස්ථානයට (2:13:47) සහ ජාතික වාර්තාවක් සමගය. මෙය 1975දී Lucien Rosa විසින් Fukuoka මැරතන්හිදී පිහිටවූ 2:14:31 ජාතික වාර්තාව බිඳ දමන ලදී.
- 2013 – 14වැනි ස්ථානයට (තරගකරුවන් 35,000 ක්)
- 2012 – 32වැනි ස්ථානයට (තරගකරුවන් 37,500 ක්)
ආසියානු ශූරතාවලිය
- 1999 – නේපාලයේ කත්මන්ඩු හි 10000m තරගයේදී 2වැනි ස්ථානය
- 2000 – ඉන්දුනීසියාවේ ජකාර්තා හි 10000m තරගයේදී 5වැනි ස්ථානය
- 2002 – ශ්‍රී ලංකාවේ කොළඹහි 10000m තරගයේදී 4වැනි ස්ථානය
- 2004 – පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි මැරතන් තරගයෙන් 1වැනි ස්ථානය
ජිවිතයේ අභියෝග දිනන්නට පේස්ට්‍රි සාදමින් ලන්ඩන් ඔලිම්පික්, රියෝ ඔලිම්පික් නියෝජනය කළ අනුරාධ සරල මිනිසෙකි. මව්බිමෙන් ඈත රටවල තම ක්‍රීඩා සිහින අත්හැර දමා ගත් ලාංකික ක්‍රීඩකයන් විවිධ රැකියාවන්වල නිරතවෙමින් තම සමීපතමයින්ගේ ජිවිත සුවපත් කිරීමට අප්‍රතිහත වෙහෙසක් ගන්නා අතරම මව්බිමේ කෙනෙහිලිකම් මැද වුවත් උපන් රට වෙනුවෙන් ඔලිම්පික් තරගාවලි තුනක් ක්‍රීඩාකල මව්බිමෙන් ඈත ජිවත්වන මිනිසුන් අතිශය විරලය.
එංගලන්තයේ පුරවැසියෙක් බවට පත්වුන මෙම ක්‍රිඩකයා ලංකික ක්‍රීඩකයන්ගේ නොපසුබස්නා දිරිය සහ රටක් ලෙස ක්‍රීඩකයන් පිළිබඳ දක්වන නොසැලකිල්ල පෙන්නුම් කරයි. දැනට ලන්ඩනයේ බකින්හැම්හි ජිවත්වන අනුරාධ පිළිබඳ පොත්, කතාන්දර, චිත්‍රපටි සැදිය යුත්තේ ඔහුගේ ජිවිතය බාධක දිනන්නට දිරියක් දෙන නිසාය. ලංකාව වෙනුවෙන් ක්‍රීඩා බිමට එක්වුනු අනුරාධගේ වාර්තා තවමත් නොබිඳී, මෙම යකඩ හදවතක් ඇති සුමට මිනිසාගේ දිරියවන්තකම පිළිබඳ අභිමානය උසුලා සිටී.
කුරේ අතිශෝක්තියක්දැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් පුරාවෘත යනු දශක ගණනාවක් ගියද නැවත නැවත කතාන්දර ලෙස කියාදිය හැකි පූර්වාදර්ශ වන නිසා කුරේගේ උදාහරණය අතිශෝක්තියක් නොව යකඩ හදවතකින් සහ ඩහදියෙන් නිමැවූ සජිවී නිමැවුමක් බව අවසානයේ ලියා තබන්නෙමි.
බුද්ධි මාතරආරච්චි – ඕක්ලන්ඩ්







