ගති පුරුදු සහ හුරුපුරුදු ගැන පසුගිය කලාප දෙකක පලකළ ලිපි දෙකක් මගින් හුරුපුරුදු ඇතිවීමට ලෝබ, ද්වේශ, මෝහ මුල් නොවන බවද එනිසා ඒ හුරුපුරුදුවලින් මිනිසුන් සසර පවත්වාගෙන යන යන බව බීජ සාදා ගන්නේ නැති බවත් විස්තර කළෙමි.
පුනබ්බව වෙමින් පුන පුනා බව බීජ හදමින් විවිධාකරයේ ජාති තත්වයන් ඇති කරගනු ලබන්නේ අප තුළ මුල් බැසගෙන ඇති ගති පුරුදු ප්‍රධානවශයෙන් තුනක් ලෙසට පවත්වාගෙන යාමෙන් බවද පෙන්වා දිණි. මෙම ගති තුන ප්‍රධානකොටගෙන එදිනෙදා සිතට අරමුණු වන රූපාරම්මණ ඔස්සේ සංචේතනා පැවැත්වීම නිසාවෙන් සත්වයින් කම්ම කරගනු ලබති.
‘චේතනාහං භික්ඛවේ කම්මං වදාමි’ ලෙස බුදුන් දේශනා කළේ ඒ කම්ම ඇතිවන ආකාරයයි.
සත්වයින් මෙසේ කම්ම කර ගැනීමට තුඩුදෙන සංචේතනා පැවැත්වීමට උපකාරී කරගන්නේ තමන් බිහිකරගන්නා විකෘති විෂම, මායාකාරී වේමත්තතාවයක් සමග, ආවේගයක් වේගයක් ඇති චිත්තයන් වන විංඤාණ චිත්තයි. විංඤාණ තත්වය යනු සිතේ අපිරිසිදු ස්වභාවයයි. බුදුන්වහන්සේ, පෙන්වාදුන් අවිජ්ජාමූල පටිච්චසමුප්පාද ක්‍රියාවලියක් ඔස්සේ කලින් කී බව, බීජ තත්වය උපදවාගන්න ආකාරය ගැන ඉදිරියට යාමට පෙර මෙකී විඤ්ඤාණ ගැන මේ ලිපියෙන් යම්දුරකට විස්තර කිරීම වැදගත් වේයයි සිතමි.
සත්වයා එදිනෙදා ජීවිතයේ විවිධාකාර වූ සයදොරෙන්ම (ඇස, කණ, දිව, නාසය, ක්‍රියාකාරී-ශරීරය, සහ මන) ලබාගන්නා ආරම්මණ (නැතහොත් ඇවිත් මන රමණය කරමින් බිහිවන්න හිත රුප්පනය කරන අවුලුවන සතර මහාභූත හෙවත් රූප) වලට කැමැත්තෙන්ම ලෝබයෙන්, ද්වේශයෙන් සහ මෝහයෙන් වෙලී බැදීමෙන් හෙවත් පටිච්චවීමෙන්ම පමණක්, එතන උපදින චිත්තය හිත රුප්පනයවී අවුලුවන චිත්තයකි. ආරම්මණවලට එසේ ලෝබ, ද්වේශ, මෝහ යෙන් පටිච්ච නොවුණොත් එතනදී උපදින චිත්තය හිත අවුලුවන සිතක් නොවේ.
මෙසේ ඇවිලීමක්, වේගයක්, වේමත්තතාවයක් ලෙස ආරම්මණවලට පටිච්ච වී නැතිනම් ඒවාට කැමැත්තෙන් බැඳී වෙලී හටගන්නා චිත්තයට ඒ ආරමුණුවලින් ලැබෙන පණිවිඩය අපට යථාවාදී තථාකාරී ලෙස ග්‍රහණය නොවේ. එය ග්‍රහණය කරගන්නේම මායාකාරී විකෘති වූ දැනුමක් හෙවත් විකෘති කරගත් ඥානයකින්ය. එම දැනුමත් සමගම චිත්තය හෙවත් සිත ඇවිලී වේගයක්, වේමත්තතාවයක් සිතේ උපදවාගනී. එම චිත්තයට තමා විඤ්ඤාණ චිත්තය කියන්නේ.
අද මිනිසුන් හිතන් ඉන්නේ ජීවත්වන සෑම පුද්ගලයෙක්ගේම විඤ්ඤාණයක් ඇතියයි යන වැරදි අදහසක් දරාගෙනයි. ‘නමුත් අරහතුන් ලබන ආරම්මණවලින් විඤ්ඤාණ උපදවාගන්නේ නැත.’ එමනිසා විඤ්ඤාණය යනු විකෘති විෂම වූ ප්‍රකෘතිය නොදකින ඥානයක් හෙවත් දැනුමකි. අරහතුන් ලබන සෑම අරමුණක්ම ප්‍රකෘති ඥානයකින්ම දකී. එය ප්‍රකෘති ඥාන හෙවත් පංඤා යනුවෙන් මාගධී බසෙන් කියවේ.
චඡක්ක සූත්‍රයෙන් වෙනත් ආකාරයකට විග්‍රහ වන පටිච්චසමුප්පාදය ආරම්භ වන්නේම, ඔය විඤ්ඤාණය අරමුණුවලට පටිච්චවී උපදවාගන්න හැටි පෙන්වමිනුයි.
සය ද්වාරවල ඇස සම්බන්ධව ගත්තොත් එය කියවෙන්නේ මෙසේයි ‘චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං’ ලෙසටයි. එසේ අරමුණට පටිච්චවුනොත් පමණක් නැතිනම් ලෝබයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් බැඳුනොත් පමණක් එතන විඤ්ඤාණයක් සමග වේගයක්, වේමත්තතාවයක් උපදවාගනී. එම වේගය දින 7 ක් දක්වා පවත්වාගෙන යන්න සත්වයින්ට උපකාරීවන බව බුදුදහමේ කියවේ.
අවිජ්ජා නිරෝධ නිද්දේශයේ එම පැවැත්මට අවශ්‍යය විඤ්ඤාණ ශක්තිය නූපදවන හැටි මෙසේ විස්තර කෙරේ.’චක්ඛුංච න’පටිච්ච රූපේ අනුප්පාදෝ අපවත්තං’. එයින් කියවෙන්නේ රූපයට සිතින් පටිච්ච නොවුණොත් එතන උත්පාදයක් ඇතිවන්නේ හෝ පැවැත්මකට උපකාරී දෙයක් වන්නේ නැති බවයි. එසේ ලෝබයෙන් හෝ ද්වේශයෙන් මෝහයේ එකතුවෙන් පටිච්ච නොවුණොත් එතන උපදින්නේ පඤ්ඤා සිතක් හෝ අව්‍යකත සිතකි. එම සිත්වලින් බව හෙවත් පැවැත්ම ගෙනයන බීජ හැදෙන්නේ නැත.
වර්තමානයේ ඉන්නා සම්මත දේශකයින් සියල්ලන්ම මෙන්ම ඔවුන්ගේ සියලුම ශ්‍රාවකයින් මේ විඤ්ඤාණය කුමක්දැයි කිසිසේත්ම වටහාගෙන නැත. එතනින්ම බුදුදහමේ පදනම බිඳ දමාගෙන ඇත.
නිමල් වන්නිගම – ඕක්ලන්ඩ්