නෙල්සන් නගරය ආලෝකමත් කරණ වෙසක් පහන් කූඩුව මෙවර හතර වැනි වරටත්.
අප මහා තිලෝගුරු බුදු රජාණන් වහන්සේගේ තෙමගුල සිහි කරමින් නවසීලන්තයේ නෙල්සන් නගර මධ්යයේ පිහිටි කැතිඩ්රල් පරිශ්රය ඉදිරියේ දී මෙවර හතරවන වරටත් දර්ශනීය වෙසක් මහා පහන් කූඩුව 2025 මැයි 24 සහ 25 සෙනසුරාදා සහ ඉරිදා දිනවල ප්රදර්ශනය කරන ලදී.
ලෝකවාසී සියලුම බෞද්ධයන්ට වෙසක් දිනය වැදගත් වන්නේ අප මහා බුදුරජාණන්වහන්සේගේ උපත , බුද්ධත්වයට පත්වීම සහ පරිණිර්වාණය යන තෙමඟුල එදින සිදුවූ බැවිනි. මෙය ලොව පුරා බෞද්ධයන් විසින් සන්සුන් මනසකින් යුතුව ආමිස පුජා, දන්සැල් ප්රමුඛ කොට ගනිමින් සමරනු ලබනවා.

ශ්රී ලංකාවෙන් ඉතා දුර රටක ජීවත් වුවද, ඉහත ප්රමුඛතා සඳහා අවස්ථාව ලබාදෙමින් නවසීලන්තයේ නෙල්සන් නගරය තුළ ජීවත්වන ශ්රී ලාංකිකයින් විසින් වෛවර්ණ විදුලි ආලෝක පද්ධතියකින් නිර්මාණය කරන ලද, පරිවාර කූඩු රාශියකින් සමන්විත කැරකෙන වෙසක් පහන් කුඩුවක් මෙවරද ප්රදර්ශනය කිරීමටත්, එය නැරඹීමට එන සියලු දෙනා සඳහා දන්සැල් පැවැත්වීමටත් කටයුතු කළ බව පහන් සිතින් දැනුම් දෙමි.
එපමණක් නොව අපගේ දරුවන් වෙත සහ බෞද්ධයන් නොවන පිරිස් වෙත අපගේ සංස්කෘතික අගයන් පිළිබඳව දැනුවත් කිරීම සදහාත් මෙය විශිෂ්ට අවස්ථාවක් කරගැනීමටද සංවිධායක මඬුල්ල අවස්ථාවක් කර ගති. මෙම අවස්ථාවට නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්රී රේචල් බෝයැක් මහත්මියගේ සහභාගී වීම තවත් විශේෂත්වයක් ගෙන දුන්නේය. නෙල්සන් නගරයේ ජීවත්වන ශ්රී ලාංකීයන් බොහෝ පිරිසක් මෙම අවස්ථාව සංවිධානය කිරීමටත්, වැඩිහිටි තරුණ ළමා බොහෝ පිරිසක් එය නැරබීමට පැමිණීම මගිනුත් මහත් සහායක් ලබාදීම කැපී පෙනෙන දෙයක් බවට පත් විය. මේ වනවිට මෙම වෙසක් පහන්කුඩුව ප්රදර්ශනය කිරීම නෙල්සන් නගරයේ වාර්ෂික කටයුත්තක් බවට පත්වී ඇත.

නෙල්සන් නගරයට මෙම වෙසක් වෙසක් පහන් කූඩුව හඳුන්වාදීමට සහ මෙවරත් නිර්මාණය කිරීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ කැපවීමෙන් කටයුතු කළ නිලන්ත සොහොයුරාගේ නිර්මාණාත්මක අදහස මුල් කරගනිමින්, කුමුදිත, ඉෂාන් , කුමාර සහ තවත් ශ්රී ලාංකිකයින් බොහෝ දෙනෙකුගේ මහන්සියේ ප්රතිඵලයක් ලෙස මෙවරද මෙම පහන්කුඩුව ප්රදර්ශනය කිරීමට හැකිවිය.
එදින තවත් විශේෂතත්වයක් වුයේ නවසීලන්තයේ නෙල්සන් නගරයේ පදිංචි ශ්රී ලාංකික ජනතාව එකමුතුව වෙසක් පහන් කුඩුව නැරඹීමට එන හිතවතුන් සදහා විවිධ වූ ආහාර පාන සහිත දන්සල් සුදානම් කර තිබීමයි. සෑම වසරකදී මෙන්ම මෙවරද ඉඟුරු තේ පානයට සුවිශේෂී ස්ථානයක් හිමිවිය.
මෙම උත්සවය නෙල්සන් නගරයට අලංකාරයක් එක් කළ අතරම ශ්රී ලාංකීය සංස්කෘතික වටිනාකම්ද ආදරණීයව සමාජගත කිරීමට අවස්ථාවක් කරගනු ලැබිණ.
ලබන වසරවලද මෙවැනි උත්සව සංවිධානය කිරීමට හැකියාව ලැබේවායි අපි සියලුදෙනා ප්රාර්ථනා කරමු.
සිතාරී රණවක – ඕක්ලන්ඩ්






