නව රටකට සංක්‍රමණය වී, ඒ රටේ සංස්කෘතියට අනුගත වෙමින්ම අපේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහ මානුෂීය ගුණාංග ලොවටම පෙන්වීමට හැකිවීම අප සැමටම මහත් ආඩම්බරයකි. සවීන් ගුණරත්න මහතා, බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජතුමාගේ නිල අනුමැතියෙන් යුතුව ‘Order of St John’ රාජකීය නයිට් නාමාවලියේ ‘සාමාජික’ (Member) පදවියෙන් පිදුම් ලබා තිබේ.
මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ මෙම සම්මානයේ ඇති ඓතිහාසික සහ රාජකීය වටිනාකමයි. 1888 වසරේදී වික්ටෝරියා මහ රැජින විසින් ලබාදුන් රාජකීය ප්‍රඥප්තියක් (Royal Charter) මගින් පිහිටුවන ලද මෙම සංවිධානයේ ප්‍රධානියා (Sovereign Head) ලෙස කටයුතු කරන්නේ වර්තමාන බ්‍රිතාන්‍යයේ තෙවන චාර්ල්ස් රජතුමාය. මෙම රාජකීය නාමාවලියට ඇතුළත් වීම ඉතා අපහසු කරුණකි. ඒ සඳහා නාමයෝජනා කළ යුතු අතර, කලාපීය සහ ප්‍රායරි කමිටුවල (Regional and Priory Honours committees) දැඩි පරීක්ෂාවකින් පසු ජාත්‍යන්තර කාර්යාලය හරහා අවසන් අනුමැතිය සඳහා තෙවන චාල්ස් මහ රජතුමා වෙත යොමු කෙරේ. සාමාන්‍යයෙන් මෙම ගෞරවය හිමිවන්නේ දශක ගණනාවක් පුරා අඛණ්ඩව ප්‍රජා සේවයේ යෙදුණු පරිණත පුද්ගලයින්ට වන අතර තවමත් වයස අවුරුදු විසි ගණන්වල මුල පසුවන තරුණයෙකුට කෙටි කලක් තුළදී මෙම ගෞරවය හිමිවීම දුර්ලභ සිදුවීමකි.

එසේම මෙය හුදෙක් නවසීලන්තයට පමණක් සීමා වූ දේශීය ඇගයීමක් නොවීම මෙහි ඇති තවත් වැදගත්ම කරුණකි. ‘ශාන්ත ජෝන්’ (Order of St John) යනු ලොව පුරා රටවල් 40කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන දැවැන්ත ජාත්‍යන්තර සංවිධානයකි. එබැවින් සවීන් ගුණරත්න මහතාට හිමිවූ මෙම ‘Member’ පදවිය දේශීය සීමාවන් ඉක්මවා ගිය, ගෝලීය තලයේ ඉහළම පිළිගැනීමක් (International Recognition) ලෙස සැලකේ. ලෝකයේ කුමන රටක සේවය කළද, මෙම සංවිධානයේ ඉහළම ගෞරව සම්මාන පිරිනමනු ලබන්නේ සමස්ත ගෝලීය සංවිධානයේම ප්‍රධානියා වන බ්‍රිතාන්‍යයේ රජතුමාගේ සෘජු අනුමැතියෙනි. විදෙස් රටකදී මෙවැනි අතිඋත්කර්ෂවත් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබීමට තරම් අපේ ශ්‍රී ලාංකික තරුණයෙකු සුදුසුකම් ලැබීම, සමස්ත ශ්‍රී ලංකාවටම ජාත්‍යන්තර තලයේ හිමිවූ දැවැන්ත කීර්තියක් සහ අභිමානයකි.
2013 වසරේදී සිය දෙමාපියන් සමඟ නවසීලන්තයට ආගමනය වුණු ඔහු, 2014 වසරේදී නවසීලන්තයේ ‘Hato Hone St John’ ආයතනයට ස්වේච්ඡා කැඩෙට්වරයෙකු ලෙස එක්විය. තවමත් විසි හැවිරිදි වියේ මුල් කාලය ගත කරන සවීන්, මෙතරම් අඩු වයසකින් සහ කෙටි සේවා කාලයක් තුළ මෙවැනි රාජකීය සම්මානයක් හිමිවීම අපගේ ඊළඟ පරපුරට ලබාදෙන්නේ මහත් ආදර්ශයකි. මේ කාලය තුළ ඔහු ‘Grand Prior’s Award’ සහ මධ්‍යම කලාපයේ ‘වසරේ විශිෂ්ටතම කැඩෙට් භටයා’ (2019/2020) යන ගෞරවයන් දිනා ගත්තේය.

ඔහු හුදෙක් සමාජ සේවකයෙකු පමණක් නොවේ. ව්‍යාපාරික උපාධියක් ලබා ඇති ඔහු, මේ වන විට ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි සහතිකයක් (Postgraduate Certificate in Project Management) හදාරමින් සිටී. එපමණක් නොව, ඔහු වයිකාටෝ විශ්වවිද්‍යාලයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, එක්සත් රාජධානියේ (UK) Fernhurst ක්‍රිකට් සමාජයේ කනිෂ්ඨ ප්‍රධාන පුහුණුකරු ලෙසත් කටයුතු කරමින් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා නායකත්වයක්ද පෙන්වා ඇත.
මෙම ජාත්‍යන්තර පිළිගැනීම සහ ගෞරවය තහවුරු කරමින් 2025 වසරේදී ‘The London Gazette’ හි නිල වශයෙන් ප්‍රකාශයට පත් වූ මෙම සම්මානය වෙනුවෙන්, 2026 ජූලි 04 වැනිදා ඕක්ලන්ඩ් නුවරදී පැවති විශේෂ උත්සවයකදී ඔහු වෙත මෙම රාජකීය පදක්කම පළඳවනු ලැබීය.
එරංග කවිරත්න – හැමිල්ටන්







