මොනතරම් කෙණෙහිලිකම් කළත් ඇය මත පය තබා ජීවත්වන මිනිසුන්ට, සතුන්ට මෙන්ම ගහකොළ ද අවශ්‍ය ආරක්‍ෂාව, පරිස්සම ලබා දීමට ඇය කිසිදාක පසුබට නොවීය. එදා මෙදා තුර ඇය සපථ කළ සත්‍යය වන්නේ ඇය මත ජීවත් වූ සියල්ලන්ම කිසිදු භේදයකින් තොරව ඇය ආරක්‍ෂාව ලබා දීමට ගනු ලැබූ උත්සාහයයි. නමුත් ඇය තම දිවි දෙවැනිකොට සුරක්‍ෂිත කරන ඇගේ ජනතාව විසින් ඇය ඉතා සාහසික ලෙස කෙලෙසීමකට ලක් කර ඇතත් තම භුමියේ ජීවත්වන සැමට ආදරය කිරීම ඇගේ සංසාරගත පුරුද්ද වී ඇත. එය වැළැක්වීමට සමත් බලවේගයක් ලොව නොමැති බව අද දක්වා ආපසු හැරී බැලීමේ දී නැවත නැවත සහතික කරන සැබෑවයි.
අපගේ මිනිසුන් සටන් වැදුනේ එවන් උත්තම භුමියක් ආරක්‍ෂා කර ගැනීමට බව අපි දනිමු. ඇයට හැකි පමණ ඇය තම ජනතාව සුරක්‍ෂිත කිරීමට කැප වුවද එම ජනතාවගෙන් සුළුතරයක් තවමත් සිටින්නේ මිනිස් වාසයට සුදුසු භුමියක ජීවත්වීමට තරම් මානසික තත්ත්වයක නොවීම නිසා ඇගේ අනවරත උත්සාහයන් යම් යම් තැනකදී පසුබෑමකට ලක් වී ඇත. එවන් සුළුතරයක් වන නොමිනිසුන් දමනය කරලීමට අවශ්‍ය වනනේ සෘජු, එඩිතර, මනා බුද්ධියක් සහ දැක්මක් සහිත නායකත්වයයි. ඉඳින්, අපි කළ යුතු වන්නේ සුළුතරයක් වන නොමිනිසුන් සමග ගැටුමකට යාම නොව ඉතා පැහැදිලි පිළිතුර වන මව්බිමේ හෘද ස්පන්දනය හඳුනාගත් ඇගේ උත්සාහයට උපරීම දායකත්වය ලබා දීමට අවශ්‍ය නායකත්වය රට තුළ නිර්මාණය කිරීමයි.
අපේ මිනිසුන්ගේ හැකියාව සහ දක්‍ෂතාවය මෙන්ම මානසික ජවය තේරුම් ගැනීමට සමත් නායකත්වයක් රටට සිටී නම් නායකත්වයේ එක වචනයකින් මුළු රටක් එක රැයකින් වෙනස් කිරීමේ බලය ඇත. එවන් වූ නායකත්වය තව දුරටත් සුරක්‍ෂිත කරමින් යහපත් භුමියක් නිර්මාණය කිරීමට අප සැම එකා මෙන් අත්වැල් බැඳ ගත යුතු කාලය එළඹ ඇත. දේශපාලන මතවාද, සංකල්ප සහ ඇදහිලි අමතක කර අපටත් අනාගත දරු පරපුරටත් යහපතක් වන ආකාරයට අවශ්‍ය මූලික පදනම මේ මොහොතේදී ආරම්භ කිරීමට දායකත්වය ලබා දීම යනු ආදරණීය මාතෘභුමිය වෙනුවෙන් අප කළ යුතු උදාරතර සත් ක්‍රියාවක් බව අවධාරණය කර සිටිමි.
ඉන්දික ප්‍රසාද් ගමගේ – ශ්‍රී ලංකාව
go2indika@gmail.com