fbpx
16.6 C
New Zealand
Sunday, March 16, 2025

The Only Sri Lankan Community Newspaper in New Zealand

උකුසු ගැන්සිය – 05 | පන්තක භාතිය සිරිවර්ධන | ශ්‍රී ලංකාව

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

මෙතෙක් කතා ව 

බ්‍රයන්, ජැකා, කස්සා   සහ ටොම්බා   කොළඹ, හැටේ වත්තේ ඉපිද ලොකු මහත් වූ කොලු ගැටයන් ය. විවිධ දුක් ගැහට විඳිමින් ජීවත් වන ඔවුන් තම වැඩිහිටියන් අනුකරණය කරමින් තම ගැන්සිය වූ උකුසු ගැන්සිය පිහිටුවා ගනී. දුම් පානයට, ගංජා  බොන්න පුරුදු වෙන ඔවුන් කුලියට රණ්ඩු සරුවල්වල පැටලෙති. කිසිදා   සොරකම් නොකරන ලෙසත් කුඩු නොබොන ලෙසත් ඔවුන් ගිවිස ගත්තෝය.   සාමාන්‍ය පෙළ විභාගය අසමත් වෙන මොවුන් ගොල්ෆ් ක්ලබ් එකට යන්නේ රැකියාවක් බලාපොරොත්තුවෙනි. එහිදී  ඔවුන්ට මූණ පෑමට සිදුවන්නේ ලිංගික අතවරයකටය. එය තම වාසියට හරවා ගන්නට තරම් කොලු ගැටවු  ඇට්ටර වූහ. මේ එතැන් සිට …

‘මේ හලෝ  අපිට වැඩක් නෑ  ඔය ලොකු ලොක්කො.  අපේ වත්තම බැස්සුවොත් මේ ක්ලබ් එක වහනවා , හරිද? විසිදාහක් ඕනේ. අපි තමුසෙ ගැනත් බලා ගන්නම්’ බ්‍රයන් සැරෙන් කීවේය. එවිට හොම් මහතා නැගිට්ටේ මුදල් නෝට්ටු කීපයක් අතැතිවය. සේවකයා ඔහුට සන් කළේය.

‘හරි, මෙතන පහළොස්දාහක් තියෙනවා. අපි මෙතනින් මේක ඉවර කරමු. ඒක කාටත් හොඳයි’

හොම්හට කවදාවත් ඇති නොවුණ බයක් ඇති වුණි. මීට කලින් මෙවැනි සිදුවීම් දෙකක් සිදු වී ජාමේ  බේරා ගත්තත් මේ කොලුවා ගාණට වැඩි බව පෙනේ. කස්සා ද මොකාද කියන කලු කොල්ලා කරේ රඟපෑමක් බව ඔහුට වැටහේ.  ලැජ්ජාව පසෙකලා ඩී.අයි.ජී. රොහාන්ට දිය යුත්තේ එක කෝල් එකකි. නැත්නම් ඇමති සමරසිංහට කිව්වොත්… මූට දඬුවමක් දෙන්න පුළුවන්. සමරසිංහව නම් විශ්වාස කරන්න බැරි එකා. මේ නහරයාව මිනිහගේ මැරසේනාවට බඳවා ගනී ද කියන්නත් බෑ  !

ළමා  මුහුණක් ඇති හොමා ගේ මුහුණ දෙස බලා සිටින බ්‍රයන්ගේ සිතට ද යම් බියක් ඇති විය. කාරණාව දිග්ගැස්සුනොත් වැඩේ ලෙඩක් වෙන්න පුළුවන් බව ඔහුට වැටහුනේ තාම සිහියෙන් හිතන්න මොළයක් ඉතුරු වී ඇති බැවිනි. ඔහු ගැන්සිය දෙස බැලීය. ඔවුන්ගේ දෑස් දීප්තිමත්ය.

‘තව දාහක් දෙනවා, අපි හතරදෙනාට බෙදා ගන්න පුළුවන් එතකොට’. තව දාහක් ලැබුණි. සල්ලි ගත් බ්‍රයන්ලා පස්ස නොබලා එතනින් මාරු විය.

ගැන්සිය කනත්ත අස්සට රිංගුවේ බියර් කෑන් සහ කොත්තු රොටි රැගෙනය.

‘ඒයි වැඩේ ගොඩනෙ මචං… තුන්දාස් පන්සීය ගාන අපි ගත්ත, ඉතුරු දෙදාහෙන් මේ පාටිය. අප්පට හුඩු.. එළනෙ මචං..’ කස්සා බියර් උගුරක් බී නැටුවේය.

‘නැතුව නැතුව. මාසෙට මේ වගේ දෙක තුනක් වනා ගත්තනං අපි ගොඩනෙ බං’. ටොම්බ කීවේ සොහොන් ගලක් මත වාඩි වී බියර් කෑන් එකක් එක හුස්මට බීගෙන ගියාට පසුය.

‘මේව නෙවෙයි මචං අපි කරන්න ඕනේ. ලොකු ගාණක් අතට එන වැඩ. ‘අපි  කවුද?’ බ්‍රයන් බියර්  කෑන් එක උස්සා  ඇසීය.

‘උකුස්සෝ’ හතර දෙනාම කෑගැසුවේ මළවුන් නැගිට්ටවන්න තරම් සද්දයෙනි.

පසු දිනක, උකුස්සෝ ගොල්ෆ් ක්ලබ් එකේදී ඔවුන්ව පාවා දුන් සේවකයාටත්  සුද්දයක්  දුන්නෝය.

ගැන්සිය  කොළඹ සමාජශාලා, ක්‍රීඩා සමාජ, කැසිනෝ   වැනි ලොකු ලොක්කෝ   ගැවසෙන තැන්වලට ගොස් කප්පම් වැඩේට බැස්සේ ගොල්ෆ් ක්ලබ් වැඩෙන් ලැබූ අත්දැකීමෙන් පසුය.  වැඩ  දෙක  තුනක්  ගැස්සී ගුටි කන්නට  වූ  පසු  ආයුධයක  අවශ්‍යතාවය මතු  විය. ඉන්පසු කොයිවෙලේත් කිණිසි ඉනේ ගසා ගෙන සිටින්නට පුරුදු  වූ  ඔවුන් අවුරුදු තුන හතරක් සාර්ථකව වැඩ කරගෙන ගියහ. පොලිසියට  කීප වරක්  අහු  වුණත්  සාක්ෂ නොමැතිව  කූඩුවේ දී  ගුටි   කා  එළියට ආහ. අතේ මුදල් යහමින් ගැවසුන බැවින්  හතර දෙනාම විවිධ මාදිලියේ මෝටර් සයිකල්  මිල දී ගත්හ. ගමන් බිමන් ගියේ ඒවා යෙහි නැගී ඉගිල්ලී ගෙනය. අනතුරුත්  සිදු  නොවුනා  නොවේ.  මත්පැන් සහ ගංජා   බොන්න පුරුදු වුණේ ඉබේටමය. සමාජයේ ඉහළින් වැජඹෙන සල්ලිකාරයන් ලොකු හෝටල්වල සල්ලි විසි කරමින්  මිල අධික මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයුරු ඔවුන් බලා  සිටියහ. එම  හැසිරීම්,  ජීවන රටාව ඔවුන් තම සිත්වල ධාරණය කරගත්තේ  නොමැකෙන ලෙසය. සමාජයේ පිළිගැනීම එය යැයි හිතන්න ඔවුන් පෙළඹුණහ.

ඉන්පසු  ආවේ  ස්පා රැල්ලයි. ඔවුන් එහි අන්තයටම  ගියහ. බ්‍රයන් කෙල්ලක් සමඟ පෙම් සබඳතාවයක් පටන් ගත්තේ ඔය අතරේය. ඒ ටොම්බගේ පෙම්වතියගේ ඥාති නැගණියක් සමඟය. පෙම් කරන අතරම ගුටි බැට රණ්ඩු සරුවල්වල ද  ඉවරයක් නොවිනි. බ්‍රයන් යහමින් ගාණක් දී පාතාලයකුගෙන් පිස්තෝලයක් ගත්තේ ගැන්සියේ ආරක්ෂාවට ය. එය තව ගැටුම් ගොඩක ආරම්භය විය. වැඩි  කල්  යන්න  මත්තෙන් ගැන්සියේ පළමු මිනීමැරුම සිදුවුණේ කොල්ලුපිටියේ කැසිනෝ එකක් ඉදිරිපිටය. පොලිසියේ ඇස් වසමින්  හැංගිමුත්තන් කෙලිමින් හිටි ටොම්බා  පළමුවරට රිමාන්ඩ් භාරයට වැටුනේ ඒ මිනීමැරුමත් සමඟය. අනිත්වුන් පාතාලයට පලා ගියහ.

මෙතෙක් කල් දිනපතා තම අම්මා ගේ අතින් හැදූ කෑම කෑ බ්‍රයන්ට එක එක තැන්වලින් කෑම වැටුණේ පිළිවෙලකට නොවේ. දිනපතා ඇහුන අම්මාගේ බැණවැදීම්, අවවාද කිරීම් ද ඔහුට හිසරදයක් විය.  ඔහු යහළුවන්ගේ ගෙවල්වල නතර වන්නට වීමත් සමඟ සුළුවෙන් හෝ මව කෙරෙහි තිබූ බය ගෞරවය නැති විය. අලුත් යහළුවන් බොහෝ දෙනෙක් පාතාලයෝ ය. කොළඹ  පුරා  පැතිරී ඇති  වතුවල, මහල් නිවාසවල  ජීවත් වන මේ මදාවියන්ගේ ගෙවල්වල මාරුවෙන්  මාරුවට නැවතී සිටින බ්‍රයන් එක් නිවසක දින දෙකකට වඩා ඉන්නට බිය විය. ගැන්සියේ අනිත් උන්ගේ තත්ත්වය ද මෙසේම විය. ඔවුන් අතට ගිනි අවි එන්නේ කෙසේද කියා කිසිවෙකුත් නොදත්හ. වත්තේ එකම ගණන්කාරයන් බවට උකුසු ගැන්සිය පත්වුණේය. පැත්ත පළාතටම අණසක පතුරවන පාතාල නායකයා බවට බ්‍රයන් පත් වුණේ නිරායාසයෙනි. වත්තේ නොසිටියත්  ඔහු තම  ගැන්සියට  නායකයකත්වය දුන්නේය. බර වියදම් කොට නීතිඥවරු අල්ලා ටොම්බාව ඇප මත එළියට ගත්තේය.

ගුණවර්ධන ඇමතිට බ්‍රයන් වැඩ කරන්න ගත්තේ ඡන්දය ළංවූ දා  සිටමය. එතැන් පටන් බ්‍රයන්ගේ අතට මුදල් ගලා ඒම වැඩි විය. ඒ කප්පම් ගැනීම වැඩි වූ නිසා බව මිනිස්සු කීහ. ඇමති වෙනුවෙන්  ප්‍රතිවාදීන්  දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරුනි. මාසයක් යන්න පෙර බ්‍රයන් සහ ජැකා යන  දෙදෙනා රිමාන්ඩ්  එකෙන්  එළියට ආවේ දේශපාලන හයියෙනි. බ්‍රයන්ගේ කීර්තිය තව තවත්  පැතිරුනි. ටික කලකින්ම ඔහු බස් රථයක් පාරට දැම්මේ රැස්  විහිදුවමිනි. බිය වැද්දීම්, කප්පම් ගැනිම්, දාමරිකකම්, මිනීමැරුම් කරන බ්‍රයන්ට හොඳ චරිත සහතික දෙන්න අයත් නොඅඩුව සිටියහ. සැක පිට පොලිස් අත්අඩංගුවට පත්වන බ්‍රයන් ඇප ලබා එළියට එයි.

-මතු සම්බන්ධයි.

පන්තක භාතිය සිරිවර්ධන – ශ්‍රී ලංකාව

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.