ටයිම්ස් සගරාව 2022 දී ලෝකයට වැඩියෙන්ම බලපෑමක් කළ පුද්ගලයින් තිදෙනෙකු ලෙස යුක්රේන් ජනාධිපති සෙලෙන්ස්කි, චීන ජනාධිපති ක්ෂි ජින්පින් හා රුසියානු ජනාධිපති පුටින් නම් කළේ ය. 26 වියැති නිළියක් වන සෙන්ඩයා කෝල්මන්, 23 හැවිරිදි ලේඛකයෙකු හා ක්‍රීඩකයෙකුවන නාදන් චෙන් හා 18 හැවිරිදි ක්‍රීඩිකාවක වන අයිලීන් ගූ ද මේ නම් ලැයිස්තුවේ වූහ. වයස 17 දී 2014 නෝබල් සාම ත්‍යාගය ලැබූ පකිස්තාන් ජාතික මලාලා යවුසෆ්සායි උපන්නේ 1997 දි ය. පරිසර ක්‍රියාකාරී දැරියක වූ, සිව්වරක් නෝබල් ත්‍යාගයට නම් කෙරුණ ලාබාලම, වසරේ පුද්ගලයා ලෙස ටයිම්ස් සගරාව නම් කළ ගීතා තුන්බර්ග් උපන්නේ 1996 වසරේ ය.
1995-2010 කාලයේ උපන් මේ සෑම කෙනෙක්ම, අපගේ සයවැනි කලාපයේ ලිපියක (Multi Generation) හදුන්වා දී තිබූ පරිදි ඉසෙඩ් පරම්පරාව (Generation Z) ට අයත් වෙති. බිලියන 2.5 ක් හෙවත් ලෝක ජනගහණයෙන් 32% ක් වූ අපගේ දූ දරුවන් වන මෙම පරම්පරාව ඉදිරි දශක කිහිපයක්ම ලෝකය මෙහෙයවන බලගතුම සාධකය වන්නේ ය. මෙම පරපුරෙහි සංයුතිය, ගති පැවතුම් හා චර්යාවන් සෑම රටකම ආර්ථික දේශපාලන හා සමාජ තලයන්හි සෑම ක්‍රියාකාරිත්වයකටම බලපානු ඇත. විවිධ අධ්‍යයනයන් මගින් පෙන්වා දී ඇති පරිදි ඉසෙඩ් පරපුරේ පොදු ලක්ෂණ කිහිපයක් මෙසේය.
ඔව්හු තමන් වෙන වෙන කාණ්ඩවලට අයත් අය ලෙස හදුනා නොගනිති. ජාති, ආගම්, වර්ණ ආදී බෙදිම් ඇති බව පිළිගත්ත ද අනෙක් සාමාජික කාණ්ඩ හා පහසුවෙන් මිශ්‍ර විය හැකි ගතිත බවක් දක්වති.
ස්මාට් ෆෝන්, සමාජ මාධ්‍ය හා විවිධ විද්‍යුත් මාධ්‍යයන් මගින් අනෙක් සාමාජිකයන් හා නිරතුරුවම සම්බන්ධ වි සිටිති. ඒ් මට්ටමට අවශ්‍ය තාක්ෂණික දැනුමකින් යුක්තවෙති. ජාති ආගම් කුල හා ලිංගිකත්වය වැනි භේද නොසලකා අන්තර්ජාල හා අන්තර්ජාල නොවන සෑම සාමාජිකයෙකුටම සමාන මට්ටමකින් සළකති. පොදු කාරණා සම්බන්ධයෙන් කෙලින්ම සාකව්ඡා කිරීමට පසුබට නොවෙති.
සම්ප්‍රදායික මත පිළිගන්නවාට වඩා සත්‍ය සොයා බලති. තොරතුරු ගැන දැඩි කුතුහලයකින් පසු වෙති. අදට පවතින පණිවිඩ හුවමාරු පහසුකම් මගින් යම් කාරණයක් ගැන සෑම පැතිකඩකින්ම ක්ෂණිකවම විශ්ලේෂණය කර ගනිති. වටාපිටාවේ සිදුවන සිදුවීම් ගැන හොද අවබෝධයකින් සිටිති. තමනට මීට වඩා ආර්ථිකමය, අධ්‍යාපනමය හා ව්‍යවසායකමය ලෙස ලබාගතහැකි බොහෝ දෑ ඇතැයි සිතති. අපේක්ෂා ඉහළය.
දියුණු තාක්ෂණයකින් හොද ආර්ථික පසුබිමකින් හා අධ්‍යාපනයකින් ඉමහත් ඉදිරි බලාපොරොත්තු සහිතව සිට වයස 20-24 ට පත් වයසින් මුහුකුරාම ගිය සාමාජිකයන්ගේ සියලු අනාගත අපේක්ෂා 2019 කෝවිඩ් වසංගතය නිසා එකවරම බිද වැටුණේ ය. ඊට අඩු වයස් මට්ටම්වල අයගේ අධ්‍යාපන කටයුතු අඩාල වීය. ඉවසීමකින් තොරව සියල්ලම ක්ෂණිකවම සිදුවිය යුතු යැයි සිතන මනෝමට්ටමක සිටි ඔවුන්ගේ අපේක්ෂා භංගත්වය විශාල වීය.
අනාගතය හා ආර්ථික ශක්තිය ගැන දැඩි අවිනිශ්චිත තාවයකට ඔව්හු ගොදුරු වූහ. මේ නිසාම යුරෝපය, ආසියාව, අප්‍රිකාව, ලතින් ඇමෙරිකාව හා ඇමෙරිකාව වැනි කවර භූගෝලීය බෙදීමක වුව පවතින තත්ත්වයට වූ විරෝධයට ඔව්හු එකවගේ එක් වූහ. පාලකයින් ආර්ථික තලයේ වන කඩා වැටීමට වගකිව යුතු යැයි කියා පෑහ. වීදි අරගලවලට එක්වූහ. කෙසේ වෙතත් අධ්‍යයනයන්වලින් පෙනී ගියේ මෙම කොටසේ බොහෝ දෙනෙකු පවතින ක්‍රමය විනාශකර දමනවාට වඩා ඒ තුළ සිටගෙන වන වෙනස්වීම් අනුමත කළ බව ය. වසංගතය ඇති කළ අවිනිශ්චිත තාවයද මෙයට හේතුවක් වන්නට ඇත. කෙසේහෝ ඔවුන්ගේ මේ සෘජු සහභාගිත්වය නිසා, පැවති ආර්ථික, සමාජ හා දේශපාලන තලයන්හි බොහෝ ධනාත්මක ප්‍රථිඵල ලැබුණි. තවදුරටත් වෙනස් කම් වියයුතුය යන අදහස ලෝකය පුරා පිළීගැණීමට ලක් වී ය.
අද වනවිට කෝවිඩ් පීඩනය සමනය වෙමින් පවතී. ඉසෙඩ් පරපුරේ අද අපේක්ෂා ඒ ඒ රටවල ආර්ථික මට්ටම අනුව වෙනස් වෙමින් පවතී. දියුණු ආර්ථික මට්ටමක සිටින නවසීලන්තයේ සෞඛ්‍යය, විරැකියාව, දේශගුණ විපර්යාසය හා පරිසරය සුරැකීම ඔවුන්ගේ මූලික අවධානයට පත්ව ඇත.
මෙසේ ඉදිරි දශක කිහිපයක ශ්‍රී ලංකාවේ පැවැත්ම සම්බන්ධයෙන් ඉසෙඩ් පරපුරේ බලපෑම ගැන සැළකිලිමත් විය යුතුය. සිංහල, දමිළ හා මුස්ලිම් ජාතීන් මෙන්ම බෞද්ධ, ක්‍රිස්තියානි හා හිංදු වැනි ආගමික කොටස් හා කුල වශයෙන් අප බෙදී ගිය ජාතියක් වුව ඉසෙඩ් පරපුර සාමාජිකයෝ මේ බෙදීම් නොසලකා එක් අරමුණක දී එක්වෙති. කෝවිඩ් පීඩනයත් සමග ඔවුනට විරැකියාව, දරිද්‍රතාවය, ණය බර, අනාගතයේ අවිනිශ්චිත බව උරුමව ඇත. අධික ඉහළ අපේක්ෂා ඇති, ව්‍යවසායක කුසලතා හිමි ඔවුහු මෙම ගැටලුවලට වගකිව යුතු අය සිටිතැයි විශ්වාශ කරති. යහපත් විචාරශීලී බවකින් හිමි ඔවුහු මේ ගැටලු නිවැරදිව විශ්ලේෂණය කර ගනිති. ඒ අදහස් තම පරපුර පුරා හුවමාරු කර ගනිති. තද නොඉවසිලිවන්ත ඔවුහු පවතින තත්ත්වය ඇතුළතම ක්ෂණික විසදුම් බලා පෙරාත්තු වෙති.
මේ සම්බන්ධ වූ සමික්ෂණවලින් ඉංග්‍රිසි/සිංහල අධ්‍යාපනයේ මට්ටම අනුව ඒ ඒ අයගෙන් ලැබුණ ප්‍රතිචාර වෙනස් බව පෙනී ගොස් ඇත. ඉංග්‍රිසි අධ්‍යපනය ලැබූ අය විරැකියාව, දේශපාලනය හා පරිසර සංරක්ෂණය ප්‍රධාන කාරණය ලෙස පෙළ ගැසුව ද සිංහල අධ්‍යාපනය ලැබූ අය දේශපාලන ගැටලුව මුල් කර ගනිති. තම පරපුරට ආවේණික ඉහත සදහන් ලක්ෂණ අනුව ආර්ථික වෙනසක් වෙනුවෙන් ඔව්හු වීදි අරගලවලට සම්බන්ධ වූහ. ස්වභාවයෙන් නොඉවසිලිමත් වූ ඔව්හු ක්ෂණික ප්‍රතිඵල අපේක්ෂා කළහ. නමුත් අධ්‍යයනයන්ගෙන් පෙනී ගිය පරිදි ඔවුන් වැඩි දෙනෙක් එකග වන්නේ පවතින තත්ත්වය විනාශ නොකර ඒ තුළ සිටම වෙනස්කම් වනවා දකින්නටය යන නිගමණය නිවැරදි වී තිබේ. දැනට ශ්‍රී ලංකාවේ පවතින Baby Boomers, මිලේනියම් පරම්පරාවලින් පැවත එන කිසිම දේශපාලන කදවුරකින් හෝ මෙම ගැටලු විසඳේදැයි යන අවිනිශ්චිතභාවය ඉසෙඩ් පරපුර ඉදිරියේ තවදුරටත් පවතිනු ඇත. මෙසේ, සෙන්ඩයා කෝල්මන්, නාදන් චෙන්, අයිලීන් ගූ, මලාලා යවුසෆ්සායි, ගීතා තුන්බර්ග් හා සම වයස් කාණ්ඩවල සිටින ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් වැදගත්ම සාධකය වන ඉසෙඩ් පරපුර අද සිටින්නේ පවතින තත්ත්වය තුළ තම අපේක්ෂා ඉටුකර ගැනීම සදහා සිදුවිය හැකි වෙනස්කම් පිළිබදව අවිනිශ්චිත අපේක්ෂාවකිනි.