භවය
තම පරිභෝජනය සඳහා අවශ්‍යයකරණ දේ බාහිර ලෝකයෙන් තමා විසින්ම සපයාගන්නා විට විශේෂයෙන්ම පරිහරණය කරන රූපයෙන් තමා බලාපොරොත්තු වන සුඛ වේදනාව නොලැබී ගොස් වෙනත් රූපයක් සඳහා පර්යේෂණය කරනවිට එය හඳුනාගැනීම සිදුවන්නේ ඉහත (අප 2 කොටසේ ඉදිරිපත් කළ) සමීකරණයට අනුවයි. නාමරූප සමග සැසඳීමෙනි. නාමරූපය සකස් වූයේ (බාහිර රූපය, තමා සහ විඤ්ඤාණය) යන පියවරයන් ඔස්සේය.
වර්තමාන ස්පර්ශය, නාමරූප සමග සංස්කාර මගින් සංසන්දනය කර රූපය හඳුනාගන්නේ නම් නාමරූප සකස් වූ ක්‍රියාදාමය නැවත වරක් ඒ ආකාරයටම සිදුවේ. අතීත වේදනාවම ලබා ගතහැකි රූපයක්ම හඳුනාගත්තේ යයි ද එනම් උපාදාන කරගෙන සිටි වේදනාවම නැවතත් ස්පර්ශ වූයේ යයි ද සතුටු වේ. භවය යනු භ්‍රමණ යයි. අතීතයේ සිටි ස්ථායකටම නැවත පැමිණීමයි. එකිනෙකට වෙනස් වේලාවන් දෙකකදී තමාට ස්පර්ශ වූයේ එකම රූපය යයි සලකයි. මෙම සම්පුර්ණ ‘කාලය’ තුළ තමා පැවතියේය යන හැඟීම නිසා ‘අත්තා’ හෙවත් ‘ජාතිය’ හටගනී. මෙම අත්තා විසින් වේදනාව ලෙස වර්තමාන රූපයෙන් අපේක්ෂා කරන්නේ වේදනා උපාදානස්කන්ධයේ නිත්‍යය යයි උපාදාන කරගත් වේදනාවමයි. සියල්ල අනිත්‍යය නම් උපාදාන කරගත්තා වූ කිසිවක් නිත්‍යයව පැවතිය නොහැක. පංච උපාදානස්කන්ධය නිසාම ඇතිවන වේදනාව දුකක්ම වේ. මෙම වේදනාව යනු වේලාවන් දෙකකදී ඇති වූ ස්පර්ශ දෙකක් නිසා හටගත් වේදනා දෙකක වෙනසයි. එනම් ‘සාපේක්ෂ වේදනාවකි’. අතීත වේදනාව (උපාදාන කරගත් වේදනාව), ශරීරය ජරාවට පත්වීමට පෙර වූ විඳීමක් නිසා වර්තමාන වේදනාව සෑමවිටම ඊට වඩා අඩුවේ. සොයන්නේ පෙර විඳි වේදනාවම නම් ලැබෙන්නේ ඊට වඩා අඩු වේදනාවකි. විශ්වයේ කොතනක හෝ ජීවත්වන සත්වයෙක් තම භවය පවත්වාගෙන යාමට අවශ්‍යය කරණ දේවල් තමා විසින්ම සපයාගනු ලබන්නේ නම් ඒ සෑම සත්වයෙකුටම මෙම ධර්මතාවය වලංගු වේ.
‘මෙයයි දුක්ඛ ආර්ය සත්‍යය’
කාලයත් සමග සියල්ල ජරාවට පත්ව ඇත.
මේ ආකාරයට මනසේ සකස්වන භවය මගින් ඕලාරික කය නඩත්තු කරයි. එමෙන්ම ඕලාරික කය මගින් මනසද නඩත්තු වේ. එහෙත් ඕලාරික කයේ මරණයත් සමග මනසේ භවය නතර නොවේ. වෙනත් ශරීරයකට ජීවය ලබාදීමේ හැකියාවක් එයට ඇත.
බාහිර ලෝකයෙන් සැපවත් ජීවිතයක් අපේක්ෂාකරණ පුද්ගලයාට දුකක් උරුමවන්නේ දෘෂ්ටියේ ඇති සාවද්‍යභාවය නිසාමය. මරණයෙන් මතු උපතක් නැතැයි විශ්වාස කරණ මිච්චාදෘෂ්ටිය ඇති මිනිසා බාහිර ලෝකයෙන් තෘප්තිමත් වීමට උත්සාහ කරමින් දුක සකස්කර ගනී. ලෞකික සම්මාදෘෂ්ටිය සහිත මිනිසා තමා උපාදාන කරගත් වේදනාවම සොයමින් සංස්කාර කරයි. මෙසේ සංස්කාර කරමින් සකස් කරගන්නා විඤ්ඤාණයේ අනිත්‍යයභාවය නිසාම දුක් විඳිමින් භවයෙන් භවයට සංසාරයේ සැරි සරයි. නිමාවක් නොමැත. ‘අවිද්‍යා පච්චයා සංකාරා’
පටිච්චසමුප්පාදය මගින් බුදුන් වහන්සේ දේශනා කළේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයයි.
බෞද්ධ විද්‍යාත්මක යාන්ත්‍රණයට අනුව වේදනාව යනු ස්පර්ශ දෙකක් සංසන්දනයකර, එනම් ‘සම්මත අගය හෙවත් උපාදානයට’ සාපේක්ෂව වර්තමාන වේදනාවට දෙනු ලබන අගයකි. එසේනම් උපාදාන අගයක් හෙවත් සම්මත අගයක් නොමැති නම් එවිට ඇත්තේ එක් වේදනාවක් පමණි. තනි වේදනා අගයකට සැප, දුක හෝ අදුක්කම-සුඛ වශයෙන් පැනවිය නොහැක. උදාහරණයක් ලෙස දිවට දැනෙන්නේ ආහාරයට ලුණු එකතුකර ඇතිබව හෝ නැතිබව පමණි. යොදා ඇති ලුණු ප්‍රමාණය ඇති/මදි/වැඩි වශයෙන් තීරණය කරන්නේ එක් එක් පුද්ගලයා තමාගේ සම්මත අගයට සාපේක්ෂව වේ. එකිනෙකට වෙනස් වේලාවන් දෙකක් දී ලබාගත් ස්පර්ශ දෙකක් සංසන්දනය නොකරන්නේ නම් එනම් සංස්කාර නොකරන්නේ නම්?
මෙසේ දුක්ඛ නිරෝධ සත්‍යය අවබෝධ කරගත හැකිවනවා ඇත.
ජී.එස්. ගුණරත්න – ඕක්ලන්ඩ්