fbpx
10.4 C
New Zealand
Sunday, August 9, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

ශ්‍රී ලංකාවේ වනයට එරෙහි සංග්‍රාමය | තුලිත අභයවර්ධන | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

වර්ග කිලෝමීටර් 65,610 ක වපසරියකින් යුත්, මහා අලි ඇතුන්ද වෙසෙන, විශාල ජෛව විවිධත්වයකින් සැදි කුඩා දූපතකි. මීට අමතරව මිලියන 22ක ජනගහනයකින් යුත්, කෘෂිකර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගයක් කරගත් මිනිසුන් පිරිසකි. ශ්‍රී ලංකාව නමැති මේ කුඩා භූමි ප්‍රමාණයේ මිනිස්-වනජීවී ගැටුමක් ඇති නොවන්නේ නම් එය පුදුමයකි.

ශ්‍රී ලංකාවේ මිනිස්-වනජීවී ගැටුමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වන සතුන් විසින් සිදු කරන වගා හානියයි. මේ හේතුවෙන් මීට මාස කිහිපයකට පෙර කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ දිගු කාලීන විසඳුම් වෙනුවට කෙටි කාලීන විසඳුම් තමාට අවශ්‍ය බවයි. මෙම ප්‍රකාශය අර්ථවත් මෙන්ම අදූරදර්ශී ප්‍රකාශයක් ලෙස ගත හැක. වගා හානි ඉතා දරුණු ලෙස සිදු වන්නේ නම් ගොවීන්ට ඉක්මන් විසඳුමක් අවශ්‍ය බැවින් එය අර්ථවත් විය හැකිය. නමුත් කෙටි කාලීන විසඳුම් බොහෝ විට ඊටත් වඩා විශාල ගැටළු වලට තුඩු දෙන බැවින් එය අදූරදර්ශී ප්‍රකාශයක් ලෙසද දැක්විය හැක.

ලංකාවේ මාධ්‍ය විසින් වඳුරන්, රිලවුන්, දඬු ලේනුන්, මුවන්, මොණරුන්, වල් ඌරන් සිට අලි ඇතුන් දක්වා සෑම ශාකභක්ෂක සහ සර්වභක්ෂක වන සතෙකුම පාහේ කෘෂිකාර්මික පළිබෝධකයන් ලෙස හංවඩු ගසා අවසන්ය. මෙනිසා සමහරුන් මෙම සතුන්ගේ සංඛ්‍යාව නියාමනය කිරීම උදෙසා උන් මරා දැමිය යුතුයි යන විසඳුම යෝජනා කිරීමට යුහුසුළු වී ඇත. නමුත් ඕනෑම විසඳුමක් ලබා දීමට පෙර, ගැටළුවේ සන්දර්භය පිළිබඳව තේරුම් ගැනීම වැදගත් වේ.

උදාහරණයක් ලෙස, මොවුන් ඝාතනය කිරීමට පෙර, මොවුන්ගේ සංඛ්‍යාව කොපමණදැයි අපි දන්නවාද? මෙම සත්ව විශේෂ සම්බන්ධයෙන් අවසන් වරට සංගණනයක් කරන ලද්දේ කවදාද? පසුගිය වසරේ (2024) දින තුනක අලි සංගණනයක් නම් පැවැත්වින. විසඳුම් සෙවීමට පෙර අනෙක් සතුන්ටද මෙවැනි සංගණන කල යුතුය.

බෝග හානි කරන්නන් අතරින්, රිලවා (Toque Macaque) අංක එකේ සතුරා බවට පත් වී ඇත. ඔවුන්ගේ සංඛ්‍යාව පිළිබඳව විවිධ අය විවිධ අගයන් ඉදිරිපත් කර ඇත. සමහරුන්ට අනුව එය මිලියන 3කි. නමුත් මෙය ගෝලීය දත්ත වලට බෙහෙවින් පරස්පර විරෝධීය. දැනට වැඩිම ගහනයකින් යුත් වඳුරු විශේෂය ලෙස සොයාගෙන ඇත්තේ ඉතියෝපියාවේ ගෙලාඩා බැබූන්ය (Gelada Baboon). එම සංඛ්‍යාවද 200,000 ක් පමණ වේ. එමෙන්ම IUCN රතු දත්ත පොතට අනුව ශ්‍රී ලංකාවේ රිලවා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් (Endangered) ලෙස ලැයිස්තුගත කර ඇත. රිලවා ඇත්තටම වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් නම්, වත්මන් වන්ධ්‍යකරණ වැඩසටහනද තිරසාර විසඳුමක් නොවනු ඇත. සමහර විට මෙම දත්ත යාවත්කාලීන විය යුතුව ඇති. එසේ නම් වර්තමාන දත්ත සමග එම ආයතන දැනුවත් කිරීම ශ්‍රී ලංකා බලධාරීන්ගේ වගකීමකි. කෙසේ නමුත් හුදු අනුමාන කිරීම්වලට වඩා පවතින දත්ත අනුව විසඳුම් සෙවීම වඩාත් ඥානාන්විත වේ.

රිලවා වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් යැයි සිතීම සමහරුන්ට අරුමයක් විය හැකිය. මන්ද ඔවුන් ඇති තරම් රිලවුන් දැක ඇති බැවිනි. නමුත් වනාන්තර එළි පෙහෙළි වීම නිසා, ඔවුන් මිනිසුන් අතරට ආහාර සොයා යති. වාසස්ථාන අහිමි වීම හැරුණු විට වැරදි අපද්‍රව්‍ය කළමනාකරණයද රිලවුන් හා වෙනත් බොහෝ සතුන් මිනිස් ජනාවාස වෙත ආකර්ෂණය වීමට තවත් හේතුවකි.

සමහර විට මෙම සමස්ත අර්බුදයට විසඳුම වචන තුනක් පමණක් විය හැක. එනම් විද්‍යාත්මක ඉඩම් කළමනාකරණයයි. මෙයට තිරසාර, නමුත් කාර්යක්ෂම කෘෂිකාර්මික ක්‍රම ද ඇතුලත් කල හැක. ශ්‍රී ලංකාවේ රජයන් නිසි පාරිසරික ශක්‍යතා අධ්‍යයනයන්ගෙන් තොරව ජනතාවට ඉඩම් බෙදා හැරීම (රක්ෂිත ඉඩම්වල නීති විරෝධී ජනාවාසද නැතුවාම නොවේ), සංවර්ධන ව්‍යාපෘති හා සංචාරක නිකේතන උදෙසා ඉඩම් වෙන් කිරීම ආදී කටයුතු සිදු කර ඇති බව අපි දනිමු.

විශේෂයෙන් අලි ඇතුන් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් සාමාන්‍යයෙන් ආහාර සොයා ගැනීම සඳහා අලි මංකඩවල් නම් විශේෂිත මාර්ගයන් භාවිතා කරයි. පසුකාලීනව මෙම මාර්ගවල මිනිස් ජනාවාස මතු වුවහොත්, එම අලි ඇතුන් ඒවා කඩා බිඳ දමා අවට බෝග වගා කොට ඇතිනම් ඒවාත් පාළුකොට යාම අරුමයක් නොව.

කලින් සඳහන් කල අලි සංගණනයේදී ඉරිදිපත් වූ නිගමනයක් වූයේ ලංකාවේ අලි ගහනය පවත්වා ගැනීමට වනාන්තර නොමැතිකමයි. මෙය සත්‍ය නම්, අලින් වැනි සුවිශේෂී සත්වයෙක් ඝාතනය කිරීම වෙනුවට කල යුත්තේ වන රෝපණය හා වනාන්තර සංරක්ෂණය පිළිබඳව බැරෑරුම්ව සලකා බැලීමයි. දකුණු කොරියාව සහ තායිවානය වැනි ඉහළ කාර්මික රටවල් පවා 50% ට අධික වනාන්තර ආවරණයක් නඩත්තු කරනවා නම් ශ්‍රී ලංකාවට එම ඉලක්කයට පැමිණිය නොහැක්කේ මන්ද?

මෙය බොහෝ දෙනෙකු කෝපයට පත් කරන මතභේදාත්මක විසඳුමක් ලෙස පෙනුනද, ඉන්දියාව වැනි රටවල ව්‍යාඝ්‍ර රක්ෂිත පුළුල් කිරීම සඳහා මිනිස් ජනාවාස වෙනත් ප්‍රදේශවල ස්ථානගත කර ඇත. බලාගාර හෝ මහාමාර්ග ඉදිකිරීම සඳහා මිනිසුන් වෙනත් ප්‍රදේශවල ස්ථානගත කරන්නේ නම්, වන රක්ෂිත පුළුල් කිරීම සඳහා එසේ නොකරන්නේ මන්දැයි යමෙකුට තර්ක කල හැක. මන්ද, ආර්ථික සංවර්ධනය මෙන්ම, සොබාදහම ද අපගේ පැවැත්මට වැදගත් වන නිසාය..

ශ්‍රී ලංකා රජයේ විසඳුම් සම්බන්ධයෙන් ගත් කල, එය සැමවිටම පැලැස්තර විසඳුම්ම වන්නේ නැති බව මෑතකදී පසක් විය. ළඟදී අලි ඇතුන් නිරීක්ෂණය කිරීම සඳහා GPS කරපටි සවි කිරීම මීට නිදසුනකි. දැන් හෝ දත්තවල වැදගත්කම බලධාරීන් විසින් අවබෝධ කර ගැනීම සතුටට කරුණකි.

කෘෂිකාර්මික පළිබෝධකයන් පාලනය කල යුතු බව අප සැමට එකඟ විය හැකි කරුණකි. නමුත් මේ පළිබෝධකයන් යැයි කියන සතුන් ස්වාභාවික පරිසර පද්ධතිවලට පමණක් නොව ගොවීන්ටද ප්‍රයෝජනවත් විය හැකි බවට ලොව පුරා උදාහරණ ඇත.

1959 සිට 61 දක්වා කාලය තුලදී චීනයේ මහා සාගතයක් හට ගත්තේය. මෙහිදී මිලියන 30 ක් පමණ ජනතාව කුසගින්නෙන් මිය ගියහ. වී කුරුල්ලන්ගේ වඳ වීම මීට එක් ප්‍රධාන හේතුවක් විය. සාගතයට පෙර, චීන රජය විසින් වී කුරුල්ලන් බෝග වලට හානි කරන බැවින් උන් වඳ කර දැමීමේ ව්‍යාපාරයක් දියත් කලේය. නමුත් ඔවුන් නොදත් දෙය නම්, වී කුරුල්ලන් බෝග ආහාරයට ගන්නවා සේම, පළිබෝධක කෘමීන්ද ආහාරයට ගැනීමයි. වී කුරුල්ලන්ගේ වඳ වීම බෝග වලට හානි කරන කෘමීන්ගේ වැඩිවීමට හේතු විය.

ශ්‍රී ලංකාවේ දැඩි පිලිකුලට පාත්‍ර වූ රිලවුන් පවා මලයාසියාවේ ගොවීන්ගේ මිතුරෙකු බවට පත්ව ඇත. මලයාසියාවේ ස්වදේශික රිලව් විශේෂයක් වන Pig-tailed Macaque, Oil Palm (කටුපොල්) බෝග වලට හානි කරන මීයන් ආහාරයට ගනිමින් එම ගහනය පාලනය කරමින් සිටී.

තවද, ඉන්දියාවේ කේරළයේ අලි ඇතුන් තේ වතු වෙත ගොස් තේ පැල වලට හානි කල හැකි වල් පැලෑටි කා දමති. සැබවින්ම, අප පළිබෝධකයන් ලෙස හඳුන්වන සතුන් අපටම ප්‍රයෝජනවත් වන්නේ කෙසේදැයි අප නොදන්නවා විය හැක. එබැවින්, උන් පාලනය කිරීම ප්‍රවේශමෙන් කලයුතු දෙයකි.

අවසාන වශයෙන් කිවහොත්, මේ මිනිස්-වනජීවී ගැටුම මිනිසුන්ටත්, සතුන්ටත් වාසි වන පරිදි විසඳිය හැක්කේ දත්ත මත පදනම් වූ ඉඩම් කළමනාකරණ ක්‍රම මගින් පමණි.

තුලිත අභයවර්ධන – ඕක්ලන්ඩ්
ඡායාරූප – ශ්‍රී ලංකා අලියා: Domenico Bertazzo, රිලවා: srageziyor

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.