අප තුළ මනසේ මුල්බැසගෙන ඇති ප්‍රධාන ගතිපුරුදු තුනක් නිසා රූප අරමුණු ගැන විකෘති මායාකාරී දැක්මක් ඇතිකරන විඤ්ඤාණ චිත්තයන් උපදින ආකාරය පසුගිය ලිපිවලින් විස්තර කරන ලදී.
මේ කියන විඤ්ඤාණ මගින් රූපාරම්මණවලට පටිච්චවෙමින් සංචේතනා පැවැත්වීම (චේතනාහං) කම්මං ලෙස බුදුන් පෙන්වා ඇත. එම චේතනාවලින් ඇතිවන කම්ම පෘතග්ජනයින්ගේ මනස අභිබවා චිත්ත මගින් බොහෝ අවස්ථාවල වචනය සහ ක්‍රියාව දක්වාම පැතිරිය හැක.
එසේ සංචේතනා කරමින් සලායතන ඔස්සේ රූපාරම්මණ සඳහා ලබන ආමිස වේදනාවන් නිසා ඒ ඒ අරමුණුවලට හා වීම තණ්හා නම්වේ. එවිට ඒ අරමුණු ඔස්සේ ඇති කරගන්නා ලෝබ, ද්වේශ, මෝහ ත්‍රිත්වයෙන්ම ඒවා උපාදානය කරගෙන බව ලෙසට බීජ තත්වය සාදාගනී. එම බීජ තත්වයට අදාළ ජාති ඉන්පසුව බිහිවේ.
මෙසේ නැවත නැවත පුනබ්බවවෙමින් අලුත් කරගන්නා ගන්නා ගති පුරුදු තුන නැවත නැවත ලෝබ බව, ද්වේශ බව, මෝහ බව ලෙසට සිත තුළට ගන්නේ අනුසය හැටියෙනුයි. එසේ නොගන්න කරන ක්‍රියාව ‘කායේ-කාය අනුපස්සනාව ලෙස’ දහමේ කියවේ.
අනුසය යන්නේ තේරුම අලුතින් ඇවිත් එකතුවන්න යනවා යන්නයි. (සය යනු එකතුවෙමින් යනවා යන්නයි). එසේ එකතුවන්නේ පටිච්චසමුප්පන්නව තණ්හා උපාදානයෙන් හදාගන්නා ‘බව තත්වයක්’ හෙවත් බීජයි. ඒවා චිත්තසංතානය ඇතුලට ගෙන තැන්පත් කරගත් පසු ඒ බීජ ‘ආසව’ නමින් නම් කෙරේ (ඒක වචනය ‘ආසය’ වේ). විඤ්ඤාණයෙන් සන්චේතනා පවත්වමින් කම්ම හදමින් මේ බව සාදන නිසා ඒ ආසවවලට ‘කම්ම බීජ හෝ විඤ්ඤාණ බීජ’ ලෙස ද බොහෝවිට හැඳින්වේ.
මිනිසුන් මේ ආසව පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ඔස්සේ ප්‍රධාන වශයෙන් කාණ්ඩ පහක් ලෙසට හදාගන්නා බව බුදුන්වහන්සේ ත්‍රිපිටක සූත්‍රවල පෙන්වාදී තිබේ. ලිවීම දිර්ඝ වන නිසා මාගධී සූත්‍රය පළනොකර කෙටියෙන් ලියමි.
- නිරිසත්ආකාරයටනිරයේගතිඅනුවආසවසකස්කරගැනීම.
- තිරිසන්ආකාරයට
- ප්‍රේත සහභූතආකාරයට
- දේවසහබ්‍රහ්මආකාරයට
- මනුස්සආකාරයට
මෙසේ හදා ගන්නේම ලෝබ, ද්වේශ, මෝහ ගති තුනම ඒ ඒ උපරිම මට්ටමින් හෝ අවම මට්ටමින් ඒ ඒ ආරම්මණවලට වන පටිච්ච වීම් මතයි. යම් අරමුණකට පෙරේත ආකාරයෙන් දැඩි ගිජුකමින් පටිච්ච වුවහොත් ප්‍රේත, භූත අයුරින් ආසව සකස් වේයයි අනුමාන කළ හැක.
මනුස්සයින් වූ සෑම දුප්පංඤස්ස පෘතග්ජනයින්ම වැඩිපුරම අරමුණුවලට පටිච්චවන්නේ ඉහත අංක 1, 2, 3 යන ආකාරයටයි. එවැනි අය ශාරීරික මරණින් පසු නැවත තම මනෝමයකාය පැලපදියම් වී අලුත් ශරීර කූඩුවක් සාදා ගැනීමේ ඉහළම සම්භාවිතාවයක් පවතිනේ තල 31 න් කුමන තලවලදැයි සිතෙන්නේ ද?
මිනිසුන් සය දොරින්ම ලබාගන්නා රූපාරම්මණවලට කැමැත්තෙන්ම බැඳීම නිසා තමන් තුළ වේගයක් වේමත්තතාවක් සහිත විංඤාණයක් උපදවා ගනිමින් ඒ විඤ්ඤාණ ඔස්සේ සංචේතනා පවත්වමින් පටිච්චසමුප්පන්න ක්‍රියාවක් ඔස්සේ බව සාදාගන්නා ආකාරය නැතිනම් ආසව සාදාගන්නා ආකාරය පැහැදිලියයි සිතමි.
ඉදිරියේදී විඤ්ඤාණ නිසාම නාම රූප සාදාගන්නා විදියත් ඒ ඒ නාම රූප නිසාම නැවත නැවත විඤ්ඤාණ සාදගන්න විදියත් විස්තර කිරීමට අදහස් කරමි.
නිමල් වන්නිගම – ඕක්ලන්ඩ්