fbpx
11.3 C
New Zealand
Wednesday, October 23, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ලෝක උරුමයක් වූ සීගිරිය | ඉන්ද්‍රා දයාමණී කොළඹගේ | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇති, නිල නොලත් ලෝකයේ අටවැනි පුදුමය ලෙස නම් කළ සීගිරිය ශ්‍රී ලංකාවේ අභිමානයක්.  පස්වැනි සියවසේ ඉදි කරන ලද සීගිරි බලකොටුව පෙරදිග සංස්කෘතික කෞතුකාගාරයකි.

සීගිරි පර්වතය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ දඹුල්ලට ආසන්න, මාතලේ දිස්ත්‍රික්කයේ කීඹිස්ස ප්‍රදේශයේ පිහිටා තිබේ.  මීටර් 180කට ආසන්න උසක් ඇති පර්වතය දැවැන්ත පැහැපත් පාෂාණ තීරුවකින් වසා ගෙන ඇති අතර ඒ නිසාම සීගිරිය විචිත්‍ර වර්ණවත් පර්තයක් සේ අපට දිස්වේ.

සීගිරිය ඛාදනයට ලක් වූ ගිණි කන්දකින් පිට වූ පාෂාණ සිසිල් වී ආග්නේය පාෂාණයන්ගෙන් නිර්මාණය වූවක් සේ සැලකේ. පර්වතය වටේට දිවෙන ඇළ මාර්ගයෙන් ඉහළට එසවුණ මෙම පර්වතය සැතපුම් ගණනාවක් ඈතට මනස්කාන්ත දසුනක් මවා පාමින් වැජඹේ.

සීගිරි ඉතිහාසය පිළිබඳ විවිධ පුරාවෘත්ත ඇති අතර පුරාතනයේ සිට පැවැත එන ජනප්‍රවාදයන් ද වේ.  විජය රජුගේ කාලයේ සිට පැවැත එන ඉතිහාස කතා බොහොමයක් භික්ෂූන්වහන්සේලා අතින් ලියවුණු අතර ඒවා ඔවුන්ට රිසි පරිදි හා ඒ ඒ රජවරුන්ගේ ක්‍රියාකලාපයන් හුවා දක්වමින් ලියැවී ඇති බවක් පෙනේ.

සීගිරිය රාවණාගේ ආලකමන්දාව ලෙසත් කාශ්‍යප රජුට පෙර සීගිරිය රාවණ රජුගේ බලකොටුවක් හා අලංකාර මන්දිරයක් තිබූ ස්ථානයක් ලෙසට සමහර ඉතිහාසඥයින් පෙන්වා දෙති. කාශ්‍යප රජුට පක්ෂපාතී නොවූ භික්ෂූන්වහන්සේලා ධාතුසේන රජු මරා දැමු පීතෘඝාතක රජෙකු ලෙස කාශ්‍යප රජු සැලකූහ.

 

සීගිරිය නරඹන්නට එන දේශීය හා විදේශීය සංචාරකයින්ගේ මාර්ගෝපදේශකයින් ඔවුන් දැනුවත්ව ඇති පරිද්දෙන් සීගිරිය ගැන විස්තර  කරති.  නිශ්චිත ඉතිහාස කතාවක් ඇතිව හෝ නොමැතිව, කවර නම් රජෙකු හෝ මේ පර්වතය මත තැනූ, අද නටබුන්ව තිබෙන මාලිගාව හා උයන විශ්වකර්ම වැඩක් සේ මට නම් හැඟේ.

සීගිරි මාලිගාව තනා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 477 දී යයි සැලකුණත් පුරාවිද්‍යාත්මක කැණීම්වලින් සීගිරි ඉතිහාසය ඊටත් වඩා දිගු කාලයකට දිව යයි. එම කැණීම්වලින් සොයා ගත් සෙල්ලිපිවලට අනුව දෙවනපෑතිස් යුගයේදී මෙම ප්‍රදේශය ආර්ය ජනාවාසයක්ව තිබූ බව කියැවේ. මෙහි වඩාත් විශ්මයජනක හෙළිදරව්ව වන්නේ එකල ඉතාමත් දියුණු යකඩ තාක්ෂණයක අවශේෂ හමු වී තිබීමයි.

පැරණි රජදරුවන් නිමවා ඇති වෙහෙර, විහාර, පොකුණු හා උයන් මෙන්ම සීගිරිය ද කෙනෙකු පුදුමයට පත් කරයි.  සීගිරිය ගැන යමෙකු සොයා බලන්නට පෙළඹෙන්නේ පව්ව පා මුල අදට ශේෂ වී ඇති සිංහ පාද යුගලයයි. සීගිරියට මෙම නම ලැබී ඇත්තේ මෙම සිංහ පාද නිසා යයි කියැවේ.  පර්වතයට පිවිසෙන මාර්ගයේ මෙම සිංහ පාද අතරින් ඉහළට නඟින කෙනෙකුට මෙය අද්භූත ස්ථානයක් ලෙස හිතට දැනේ.

කිසිදු පර්වතයක දැක ගත නොහැකි සීගිරි කැටපත් පවුර මටසිළුටු මතුපිටකින් හා තැඹිලි පැහැති වර්ණයකින් යුක්ත වන අතර සියවස් ගණනාවක සිට මෙතැනට පැමිණි සංචාරකයින්ගේ කාව්‍ය නිර්මාණවලින් හා සටහන්වලින් ඔප්ගැන්වී ඇත. සීගිරි ගී පැහැදිලිව හඳුනා ගත හැකි ගී 700ක් පමණ වන බවත් අතීත භාෂාවන් මෙන්ම සිංහල භාෂාව ක්‍රමිකව විකාශය වූ ආකාරයක් මේ කුරුටු ගීවල ඇතැයි සඳහන් වේ.

කැටපතක් ලෙස ඔප දැමු මතුපිටකින් යුක්ත වූ නිසා කැටපත් පවුර ලෙස හඳුන්වා ඇති අතර ක්‍රි.ව. 7 – 13 සියවස්වලට අයත් කුරුටු ගී, සීගිරියේ බිතුසිතුවම් හා හාත්පස පරිසරය පිළිබඳ වූ සෞන්දර්යාත්මක හැඟීම් මනාව කාව්‍යයට නඟා ඇත.

මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරින් මෙම කුරුටු ගී 685 ක් කියවා “සීගිරි කුරුටු ගී” නමින් ග්‍රන්ථයක් එළි දැක්වූ අතර පසුකලක තවත් විද්වතුන් ද කුරුටු ගී හා සටහන් කියවා ප්‍රකාශයට පත් කොට ඇත.  මේ වන විට කැටපත් පවුර මත ලිවීම නතර කොට ඇතත් එහි සේවය කරන කාරුණික නිලධාරීන්ගේ උදව්වෙන් එහි තිබු වටිනා කුරුටු ගී හා සටහන් බලා ගැනීමටත් ඒවායේ අර්ථ දැන ගැනීමටත් හැකිවීම සතුටකි.

පෙරදිග චිත්‍රකලාවේ ප්‍රතිමුර්තියක් බඳු වූ

සීගිරියේ බිතුසිතුවම් සීගිරිය ලෝක පූජිත තත්ත්වයට පත් කොට ඇත. ක්‍රි.ව.1 සියවසේ සිට 5 වැනි සියවස දක්වා කාලය තුළ සීගිරි පර්වතය පාමුල කටාරම් සහිත ගුහා සංඝයා විසින් පරිහරණය කොට ඇති බවට බ්‍රාහ්මී ශිලා ලිපි සාක්ෂි දරයි. අදටත් සීගිරි ගල පාමුල ඇති ලෙන් තුළ බිතුසිතුවම්වලට සමාන සිතුවම් ඇති අතර ඒවා සංඝයාවහන්සේලා සිතුවම් කරන්නට ඇතැයි කියැවේ.

බිතුසිතුවම් 500ක් සිගිරි ගලෙහි සිතුවම් කර තිබු බැව්  “පන්සිය අඟනන් රිසියෙන් බලා ගිරි කළේ” කුරුටු ගීයට අනුව කියැවේ. නමුත් අද දවසේ එහි ඇත්තේ බිතුසිතුවම් 22 ක් පමණි.

රන්වන් හා නිල්වන් වර්ණයෙන් යුත් කාන්තා රූප 22න් ස්වර්ණවර්ණ පැහැයෙන් අන්තංපුර ස්ත්‍රීන් හා නීලවර්ණයෙන් සේවිකාවන් හඳුන්වා ඇත. මෙම ළඳුන් මල් රැගෙන පිදුරංගල වන්දනා කරන්නට යන බවක් එච්.සී.පි.බෙල් මහතා පවසයි.

සීගිරි පර්වතය මත නටබුන්ව පවතින මාලිගය හා අනෙකුත් ගොඩනැගිලි ශ්‍රී ලංකාවේ එවකට පැවැති දියුණු ගෘහනිර්මාණ ශිල්පයේ ඉහළම සාක්ෂියයි. සමමිතික ආකාරයෙන් නිම කර ඇති ජල උද්‍යානයත් එහි ජලවහන පද්ධතියත් නූතන වාරි ඉංජිනේරුවන්, විදේශිකයන් හා සංචාරකයින් මවිත කරවයි.  වැසි වැටුනු විට තවමත් හොඳින් ක්‍රියා කරන ජලමල්, එක පැත්තකට දෙක බැගින් නිර්මාණය කර ඇති අතර ගිම්හාන මාලිගා දෙක වටා ඇති දිය අගල්වලින් ඒවාට ජලය සැපයීම විශ්මයජනකය.

මෙම වාරි තාක්ෂණයේ සම්පුර්ණ සැලැස්ම පදනම් වී තිබුනේ සීගිරි වැව මුල් කර ගෙනය. වතුර මල්වලට ජලය සැපයුනේ භූගත ජල කාණු මගිනි. එහි ක්‍රියාකාරිත්වයට පදනම් වුයේ ගුරුත්වය හා පීඩනය යන සරල සංකල්ප දෙක වුවත් ජලය සෙමින් ගලා යන ආකාරයට නිර්මාණය කර ඇති නොගැඹුරු දඟරගත ජල මාර්ගය විශිෂ්ටතම නිර්මාණ කෞශල්‍යයක් පෙන්වයි. එමෙන්ම ඉහළ සිට පහළට ගලා හැලෙන දිය පහරවල් කාණු පද්ධතියක් මගින් ඇළ මාර්ගයට එක් වෙන අතර අදටත් එම කාණු පද්ධතිය හොඳින් ක්‍රියා කරනු දැකීම පුදුමයකි. වතුර මල් වැවට වඩා පහළින් පිහිටි නිසා වතුර සපයා ගැනීමට හැකි වුවත් ඉහළට වතුර ගෙන ගියේ කෙසේද යන්න අදටත් රහසක්ව පවතී.  මතු දිනක කෙරෙන කැණීම්වලින් එය සොයා ගතහොත් අපේ මුතුන් මිත්තන්ගේ වාරි ක්‍රම ගැන සාඩමබරයෙන් ලොවට හඬ ගා කිව හැකිය.

සීගිරිය දුර්ග බලකොටුවකි. ජල දුර්ග, වන දුර්ග හා ගිරි දුර්ගවලින් සමන්විතය.  කාලයක් වනාන්තරයෙන්  වැසී ගිය සීගිරිය 1831 දී මේජර් ෆෝබ්ස් සොයා ගත්ත ද 1853 දී සීගිරියට මුලින්ම නැග්ගේ ඒ.වයි.ඇඩම්ස් හා ජේ.බෙල් යන තරුණ සිවිල් නිලධාරීන් දෙදෙනාය. 1894 දී පුරා විද්‍යාත්මක ගවේෂණ ආරම්භ කළ එච්.සී.පී.බෙල් මහතා සීගිරිය එළිපෙහෙළි කොට කැණීම් හා ගවේෂණ ආරම්භ කිරීමත් සමඟ විවිධ කැණීම් තුළින් සීගිරියේ සැඟවී තිබු නටබුන් තුළින් වැළලී ගිය ප්‍රෞඪ ඉතිහාසයක් මතු කර ගත හැකි විය.

1907 දී ගවේෂකයෙකු වූ ජෝන් ස්ටිල් සීගිරිය දුටුවේ මෙසේය. ” මුළු ගල් පර්වතයම පෙනුනේ විශාල කලාගාරයක් පරිද්දෙනි.  එය සමහර විට මුළු ලෝකයේම විශාලම සිතුවම විය හැක”.

සීගිරි ගල මත ඇති මාලිගා බවට නිගමනය කර ඇති ගොඩනැගිලි හා වැව්, පොකුණුත් ඒ අවට අයස්කාන්ත දසුනත් මවන්නේ අපූරු සෝබාවක්ය.

මුතුන්මිත්තන්ගේ අතිවිශිෂ්ඨ හා විස්මිත නිර්මාණයක් වු සීගිරිය ශ්‍රී ලාංකේය සංස්කෘතිය හා  ඔවුන්ගේ ප්‍රතිභාපූර්ණ නිර්මාණ ශක්තිය ලෝකය හමුවේ තබා ඇති දැවැන්ත නිර්මාණ යයි.  එය ලෝකයේ අටවැනි පුදුමය නොවන්නේ නම් පුදුමයකි.

ඉන්ද්‍රා දයාමණී කොළඹගේ
ඕක්ලන්ඩ්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.