‘ඔබ අපට දුන් සියල්ලට සහ ඔබේ ජනතාව කෙරෙහි ඇති ගැඹුරු ප්‍රේමයට ස්තුතියි.’
රටක බලය තමන් සතු කරගන්නට හෝ නතු කරගත් බලය පවත්වාගෙන යන්නට පොර බදින ලෝකයක ජොසේ මුජිකා සැබෑම නායකයෙකි. ජනතාව උදෙසාම පෙනී සිටි ජනතා මුදල් තම භාවිතයට නොගත් අති දුර්ලභ නායකයෙකි. ඔහු මැයි දහතුන් වැනි දින තම දිවියෙන් සමුගත්තේය.ජොසේ මුජිකා යනු උරුගුවේ රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකි. ඔහු වඩාත් කතාබහට හා ලෝක අවධානයට ලක් වූයේ සිය ධුරය දරන කාලයේ දී ඔහුගේ පරිත්‍යාගශීලීත්වය සහ අත්හැරිම් නිසා ය.
තමාට ජනාධිපති ලෙස ලැබෙන වැටුපට අමතරව ලැබෙන දීමනාවන් රැසක්ම ලබා ගන්නා අපෙ රටේ නායකයන් වෙනුවට තම වැටුපෙන් සියයට අනූවක්ම ජොසේ වැය කළේ සමාජ සුභසාධන කටයුතු සඳහා ය. විශේෂයෙන්ම පියවරුන් අහිමි දරුවන්ට සහ එම මව්වරුන්ගේ පවුල් වෙනුවෙන්ය.
ලැබුණු ජනාධිපති මන්දිරයේ තිබෙන සුව පහසුකම් මදී යයි කන් කෙඳිරි ගාන ලාංකාවේ නායකයින් ට ආදර්ශයක් වු ජොසේ ජනාධිපතිවරයා තමන්ට ලැබුණු උරුගුවේ අගනුවර වන මොන්ටෙවීඩියෝ හි සුවිසල් ජනාධිපති මන්දිරය ප්‍රතික්ෂේප කළේ එහි වාසය කිරීම මහා ධනස්කන්ධයක් වැය කරන නාස්තිකාර ක්‍රියාවක් වන නිසා තමන්ගේම ගොවිපළ නිවාහන කරගත්තේ ය. ඒ වගේම මිලියන ගණනක් වටින අතිසුඛෝපභෝගී වාහනය ප්‍රතික්ෂේප කරමින් ඒ වෙනුවට ඔහුගේම නිල්පැහැති වොක්ස්වැගන් රථය පාවිච්චි කළේය.

‘දේශපාලනඥයින් තම ජනතාවගෙන් බහුතරයක් මෙන් ජීවත් විය යුතු බව මම විශ්වාස කරමි, වරප්‍රසාද ලත් සුළුතරය ජීවත් වන ආකාරයට නොව,’ ජොසේගේ අදහස විය.
එනිසාම වෙන්නැති තම තනතුරේ රාජකාරී නොමැති විට තමන්ගේ ගොවිපළේ වැඩ කටයුතු සියතින්ම කරගත්තේ. පස පෙරළමින්, පැල සිටුවමින්, මල් නෙලමින්, තමන්ම තේ එකක් හදාගනිමින් පමණක් නොව තමන්ගේ නිවසට එන අමුත්තන්ට ද ඔහුගේ අතින්ම සැකසූ තේ එකක් පිළිගන්වන්නට ඇත්තේ.
2010 වර්ෂයේ දී ඔහු ඉහළ ජනතා ප්‍රසාදයක් දිනා ගනිමින් උරුගුවේ ජනාධිපති විය. දෙවැනි වරටත් 2015 දි ඔහුට ජනාධිපති වන්නට ඉතා පහසු අවස්ථාවක් ලැබුණ ද ඔහු ඒක ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය විශ්මය ජනකයි. ඔහු එය ප්‍රතික්ෂේප කළේ ‘මට දැන් හරි තෙහෙට්ටුයි,’ යැයි පවසමින්. ජනාධිපති තනතුරෙන් සමුගත් ඔහු තම විශ්‍රාම වැටුප පවා එපා කිවුවේ ‘ජනතාවගේ ධනයෙන් ජීවත් වනවාට වඩා මට මල් වවලා ජීවත් වෙන එක නම්බුකාරයි,’ කියමින්.
ජොසේ මුජිකා කියන්නේ දීර්ඝ කාලයක් දිළිඳු ජනතාව වෙනුවෙන් සටන් කළ, කැරලි ගැසූ සටන්කාමීයෙකි. වසර දාහතරකට වඩා සිරබත් කෑ විප්ලවවාදයෙකි. වසර දෙකක් පමණ කාලයක් ළිං පතුලක ඔහු සිරගත කර තිබුණි.1985 දී උරුගුව ප්‍රජාතන්ත්‍රවාදයට නැවත පැමිණි විට ඔහු නිදහස් විය. ඔහු නිදහස් වූ දිනය ඔහුගේ ප්‍රීතිමත්ම මතකය වූ අතර, ඔහු මෙසේ පවසා සිටියේ ය,’ ජනාධිපති වීම ඊට සාපේක්ෂව නොවැදගත් විය.’

එතැන් පටන් ජනතාව වෙනුවෙන් ඔහු දිගටම දේශපාලන ක්‍රියාකාරකම් කරගෙන ගියේය. ඒ ප්‍රතිඵලයක් වශයෙන් 2010 වර්ෂයේ දී ඔහු උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයා වන්නේ.
ඔහුගේ පරිපාලනය තුළ උරුගුවේ ආර්ථිකය සාමාන්‍යයෙන් වාර්ෂිකව 5.4% ක අනුපාතයකින් වර්ධනය වූ අතර දරිද්‍රතාවය අඩු වූ අතර විරැකියාව ද අඩු මට්ටමක පැවතුනි.
ගබ්සාව නීතිගත කිරීම, සමලිංගික විවාහ පිළිගැනීම සහ මරිජුවානා වෙළඳපොළ රාජ්‍ය නියාමනය වැනි එම වසරවල දී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද සමාජ නීති සඳහා උරුගුවේ රාජ්‍ය ගෝලීය අවධානය දිනා ගත්තේය. ඒ වගේම කලාපයේ අනෙකුත් නායකයින් මෙන් නොව, ඔහුට කිසි විටෙකත් දූෂණ චෝදනා එල්ල නොවූ අතර ඔහුගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ කළ බවට චෝදනා එල්ල නොවීය.
ඔහු මග පෙන්වූ උරුගුවේ රාජ්‍ය අද වන විට ලතින් අමෙරිකාවේ ඉහළ ආදායම් ලබන රටක් බවට පත්ව ඇත. දූෂණය අවම ප්‍රජාතන්ත්‍රවාදය සේම සාමය පවත්වාගෙන යමින් විද්‍යුත් පාලනය හෙවත් E-Government ක්‍රමවේදය භාවිත කරන රටක්. ආර්ථික නිදහස සේම ආදායම් බෙදී යාමේ විෂමතාවය ද අඩු රටක්.
උරුගුවේ රාජ්‍යයේ වර්තමාන ජනාධිපති යමන්ඩු ඔර්සි ඔහුගේ පුරෝගාමියාගේ නික්ම යෑම වෙනුවෙන් එක්ස් අවකාශයේ ලියා තැබුවේ ‘ඔබ අපට දුන් සියල්ලට සහ ඔබේ ජනතාව කෙරෙහි ඇති ගැඹුරු ප්‍රේමයට ස්තුතියි.’
දිමුතු විජේසූරිය – වෙලින්ටන්







