මේ සිව්පාවට කන්න දෙයක් නැත ජීවත්වෙන්නට. කන්න දියන් මට කාටත් එකමයි ගින්නක් දැනුනම හිතපල්ලා අපි. මැරෙනවා දවසක දීපල්ලා මට. කන්න යමක් අද’
පිස්සු පියදාස කඩේ ළඟට උදේම ගොස් කාටත් ඇහෙන්න කියවන්නේ එකම සින්දුවකි. එය ගමේ කාටත් දැන් හුරු පුරුදුය. පියදාසට පිස්සු බව බොහෝ අය සිතුවෝය. දිනක් ආණ්ඩුවේ රෝහලට පියදාස රැගෙන ගියේ ඔහුගේ මස්සිනා කෙනෙකි. දොස්තරවරු පියදාස පරීක්ෂාකර බලා ඔහුට මානසික රෝගයක් නැති බවට තහවුරු කළත් ගමේ මිනිස්සු එය පිළිගන්නේ නැත.
‘වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. මේ සිව්පාවට කන්න දෙයක් නැත ජීවත්වෙන්නට. කන්න දියන් මට කාටත් එකමයි ගින්නක් දැනුනම හිතපල්ලා අපි. මැරෙනවා දවසක දීපල්ලා මට. කන්න යමක් අද’
එහෙම සිංදුව කියන පියදාස හැමදාම එකම ගීතිකාව තාලයට කඩේ අවට හූවක් දුරට ඇසෙන හඬින් හැමදාමත් අගේට ගායනා කළේය. ඔහුට ඉන්න හිටින්න, සලකන්න කවුරුවත් නැතත් කමතක, හේනක නැත්නම් අගුපිලක නිදා ගැනීමට ඔහු පුරුදුව සිටියේය. උදේම ඇළට බැස හොඳ හැටි නා ගන්නා පියදාස අමුඩය මිරිකා කරේ දමාගෙන සරම ඇඳ කැහිපට ගහගෙන දුව යන්නේ මහපාරටය. කරන වැඩක් පලක් නැතත් කෑම පාර්සලයක්, බනිස් ගෙඩියක් ලැබුණොත් එයද රැගෙන පල්ලම් බැස ගොස් කොහේ හරි වැටී නැවත බඩගිනි වන තෙක් නිදා ගන්නවා හැර ගමේ මිනිසුන්ට ඔහුගෙන් සිදුවන වෙනත් කරදරයක් නැත.
තම එකම මස්සිනා සයිමන් දරුවන් දෙදෙනෙකු සමග කුඩා පැල්පතක දිවි ගෙවයි. රැකියාවක් නැති සයිමන්ගේ පවුල මියගොස් අවුරුදු ගණනාවකි. කාගේ හෝ කුලියක් මලියක් මිස වෙන කිසිම අදායමක් ඔහුට ද නැති බැවින් දරු දෙදෙනාට කන්න දෙන්න සයිමන්ට ද වත්කමක් නැත. සමහර දිනවල මොවුන් පොල් සමග අලයක්,බතලයක් කෑමෙන් දවස ගෙවා ගන්නා අවස්ථා එමටය. පියදාසගේ මස්සිනා පදිංචි පැලට ඈතින් පිහිටි ඕවිට ඔහුගේ දෙමව්පියන්ට ප්‍රවේණිය අයත්ව තිබූ ඉඩමකි.
සයිමන්ගේ යමක් කමක් ඇති නෑදෑ රාළහාමි කෙනෙකු එම ඉඩම කපා කොටා කුඹුරක් කර ගත්තේ සයිමන්ගේ කැමැත්තට නොවේ. එහි තිබු පොල් ගස් දෙක තුනක් සහ දෙල් ගසක් ඉඩමේ ලඳු මායිමක ඉතිරිව තිබුණු අතර වාරයෙන් වාරයට පොල් ගෙඩි හත අටක් සයිමන් මාස තුන හතරකට පසු කඩා ගත්තේ තම උරුමයට හිලව් වෙන්නය. නමුත් තම බලපුළුවන් කාර කමටම රාළහාමි විසින් ඉඩම වටා වැටක් බැඳ කඩුල්ලක් දැම්මේ ඉඩමේ උරුමය තමන්ටම බව පෙන්වීමට විය යුතුය. දින කීපයක්ම ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව නිසා සයිමන්ට කුලියක් මලියක් තබා හාල් ඇටයක්වත් ගෙදර තිබුණේ නැත. දරුවන්ට කැඳ උගුරක්වත් හදා දෙන්නට ඔහුට බැරිය. ඉල්ල ගන්න අතපාන්නට ද සීමාවක් තිබේ. සයිමන් අල්ලපු වත්තේ වැස්සට වැටී තිබුණු දෙල් ගැට දෙකක් තම්බා ගත්තේ පොඩි උන්ට පොල් ඩිංගක් එක්ක කන්න දෙන්නය.
‘පොල් ගෙඩියක් කඩා ගන්න ඕවිට පැත්තටවත් යන්න ඕන. කාගෙන් අහන්නද පරම්පරාවේ අයිතියට ? ළමයි දෙන්නගෙ බඩගින්නට පොල් ගෙඩියක් කඩා ගන්නවා.’ සයිමන් කුඹුර දිගේ වැට පැන පොල් ගස් දෙසට ගියේය. ‘සයිමන් අයියා කොහෙද උඹ යන්නේ?’ පැළේ මැස්ස උඩ නිදා ගෙන සිටි පිස්සු පියදාස ඇසුවේය.
‘අපේ පොල් ගහෙන් පොල් ගෙඩියක් කඩා ගන්න කියලා.’ සයිමන් පොල්ගසේ කරටිය දෙස බලමින්ම කීවේය.
‘යන්න එපා! යන්න එපා! රාළහාමි උඹ පොල්කඩනවට විරුද්ධයි. මම ඊයේ බලානගෙන පොල් ගහේ ඉදිකටු ගහනවා. ඒවා ඇනිල උඹ මැරෙයි.’ පියදාස රහසින් කීවේය.
‘මම කියල දරුවන්ගේ බඩට අල කෑල්ලක්, දෙල්, පොලොස් කෑල්ලක් හරි ලුණුයි පොලුයි එක්ක කාලා හිටියා. ඒකත් ඉවරයි. මං ඉතිං කාට කියන්නද මේ අවනඩුව?’ දිග සුසුමක් හෙළමින් සයිමන් එතැනම වාඩි ගත්තේය.
‘තිරිසන් මිනිස්සු ‘ කියමින් සයිමන් වෙත ළංවූ පිස්සු පියදාස ඔහුව ගෙදරට රැගෙන ආවේය.
‘කමක් නෑ… දෙල් කෑල්ල ලුණු ටිකක් ඉහලා දරුවන්ට දිය හැකි බාං… ඒත් බලපං ඇයි මේ තිරිසන් මිනිහා අපි වගේ අන්ත අසරණ පණනල ගැටගහ ගන්න බැරි මේ වගේ දරුපැටියන්ගෙ පොල් ගහත් උදුර ගත්තෙ? හරි ඒකත් කමක් නෑ කියමු. මට ඉදිකටු අන්නලා එකතැන් වුණානම්… ‘ කියමින් සයිමන් කඳුළු පිරෙන දෑසින් තම ඇකිළුණු බඩ පොත්ත අල්ලා ගෙනම දෙස් දෙවොල් දුන්නේය. පියදාස තැනින් තැන හිල් තිබුණු වහලේ දිරච්ච පොල් අතු දෙස බලා සිටියා මිස එයට පිළිතුරක් දුන්නේ නැත. තම දෑස් ඈත එපිට පහල යාය දෙස නැවත බැලුවේය. අහම්බෙන් අල්ලපු වත්තේ තිබුණු කුණුවී බිම වැටුණු කොස් තැරිය පියදාසගේ දෑසට පෙණුනේය. එය ඔහු අහුලාගෙන එක පිම්මට ඕවිට දෙසට දිව්වේය.
‘රාළහාමි ඕවිටේ වැටිලා. අන්න මැස්සක අරන් එනවා. මගේ අම්මේ එහෙම කෙඳිරියක්. විලාප තියනවා ලොවක් නැතිවෙන්න.’ රට පුරා ඕප දූප හොයන මැගිලියා කඩේ ළඟ සිටි හැමෝටම ඇහෙන්න අලුත්ම නිව්ස් එක හැන්දෑ යාමයේ බෙදා හැරියාය.
රාළහාමි මහ ඉස්පිරිතාලෙට කඩිනමින් ගෙන ගියත් ඉක්මනින් සනීප වූයේ නැත. ඔහුගේ කකුල් දෙකේම ඉදිකටු හත අටක්ම ඇනී කැඩී ගොස් තිබුණි. ඉදිකටු තදින් මස්වල බාදා අල්ලා ගන්නා බැවින් ශල්‍ය කර්ම කීපයක්ම සිදු කිරීමට සිදුවී තිබිණ. රාළහාමිට මාස ගණනක් යන තෙක් පය බිම තැබිය නොහැකි වුයේ දරුණු ලෙස අසාධ්‍ය වු තුවාල දෙකකිනි. එය ඔඩුදුවන තත්වයට පත්වීම නිසා එක කකුලක් කපන්නට සිදු වුවද බොරු කකුලකින් ඔහු ගෙදර කටයුතු කර ගන්නට තරම් සුවය ලැබීය.
රාළහාමිගේ කකුලේ ඉදිකටු එදා ඇණුනේ උදෑසන ඕවිටට ගොස් කඩුල්ල පනින විටය. එක කකුලක ඉදිකටු කීපයක් එකවරම ඇනුණේය. වේදනාවත් සමග එම කකුල උඩ එසවනවිට අනික් කකුල බිමට පතිත වීය. ඉදිකටු කීපයක්ම එම කකුලේ යටි පතුල් යටටම ඇනී තිබුණේ එවිටය. රාළහාමිගේ ගෝලයා රංබණ්ඩා ප්‍රවේසමින් පසු දින උදේ කඩුල්ල ළඟ බලනවිට කොස් ඇටවල ගැසූ තවත් ඉදි කටු රැසක්ම අහුලා ගෙන රළහාමිට දුන්නේය.
‘මම පොල් ගස්වල ගහපු විෂ පොවපු ඉදිකටු ඔක්කොම ගලවලා තමයි මේ කොස් ඇටවල ගහල ආපහු කඩුල්ල ළඟ වලදාල තියෙන්නෙ? රාළහාමි දෑස පියා ගනිමින් කල්පනාවට වැටුනේය. පිස්සු පියදාස හුරුපුරුදු පිස්සු ගීතය තාලයට කඩය ළඟ කියවන හඬ රාළහාමිගේ කන්වලට උල් අනින්නාක් මෙන් වූයේය.
‘වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. මේ සිව්පාවට කන්න දෙයක් නැත ජීවත්වෙන්නට. කන්න දියන් මට කාටත් එකමයි ගින්නක් දැණුනම හිතපල්ලා අපි. මැරෙනවා දවසක දීපල්ලා මට. කන්න දෙයක් අද’
දයා ප්‍රතාපසිංහ – ඕක්ලන්ඩ්







