fbpx
15.8 C
New Zealand
Thursday, August 13, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

සමාධි : ආනපානසති සමාධී භාවනාවට පෙර දැනගතයුතු දේ මොනවාද? | නිමල් වන්නිගම | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

‘ආනපානසතිසමාධි භික්කවේ ඒකධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨාණෙ පරිපූරෙන්ති, චත්තාරෝ සති පට්ඨානා පරිපූරෙන්ති සත්ත බොජ්ජංගේ පරිපූරෙන්ති, දින්නංපලානං අධිගතාහෝති පංඤාවිමුක්තිං පරිපූරෙන්ති.’

පසුගිය කලාපයේ චිත්තයේ විඤ්ඤාණ ස්වභාවය හෙවත් විඤ්ඤාණ චිත්ත ගැන කළ විස්තරය ප්‍රමාණවත් යයි සිතමි. බුද්ධාගම ගැන දැනුමක් තිබෙන අප සමාජයේ  බොහෝදෙනා දැනුවත් වී සිටින්නේ  විඤ්ඤාණය යනු අප තුළ ජීවත්වන තුරාවට එක දිගටම නොකැඩී පවතින තත්වයක් බවත් මියගිය සත්වයෙකුගේ විඤ්ඤාණය ඉවත් වී ගොස් තවත් උපතක් සඳහා වෙනත් තැනකට ගොස්, මරණාසන්න අවසන් ගතිනිමිත්ත  කම්ම නිමිත්තට අනුව ඊට අනුකූල  අලුත් ශරීර කූඩුවක් සාදා ගන්නේය යන අදහසක් ලෙසටයි.

නමුත් විඤ්ඤාණ යනු මින් පෙර ලිපියෙන් කිවූ පරිදි සයදොරින් ලබන අරමුණුවලට පටිච්ච වී හෙවත් ලෝබ, ද්වේශ, මෝහයෙන් කැමැත්තෙන්ම බැඳීම නිසාම උපදින චිත්තය එම ලෝබ, ද්වේෂ,මෝහ නිසාවෙන් මත්වෙමින්,  විෂම වෙමින් ඇවිලී ගොස්, පටිච්චසමුප්පාද චක්‍රයක් එම විඤ්ඤාන චිත්ත ස්වභාවයයට අනුව ක්‍රියාත්මක වී ඊට අනුකූල බව හෙවත් බීජ තත්වයක් ඇති කරමින් විඤ්ඤාණ බීජ හෙවත් කම්ම බීජයන් නිපදවා ඒ වහාම නැතිවී යන චිත්ත ස්වභාවයකි. ඊළඟට ලැබෙන අරමුණක් සඳහා මේ අයුරින්ම උපදින විඤ්ඤාණය තවත් අලුත්ම ඒ ආකාරයට ලෝබ,ද්වේෂ,මෝහයෙන් කිලුටු වූ වෙනත් චිත්තයකි.

එකී විඤ්ඤාණයෙන් ද තවත් පටිච්චසමුප්පාද චක්‍රයක් ක්‍රියාත්මක වෙමින් හදන විඤ්ඤාණ බීජය තවත් එකකි. මේ ආකාරයෙන් පුන පුනා බව හදන ක්‍රියාවලිය නිසා එම විඤ්ඤාණ බීජ  සත්වයා ජීවත්වන කාලය පුරාවටම ගොඩ ගැසී එකතුවේ. එසේ එම බීජ එකතුවන්නේ සත්වයාගේ මනෝමය කාය යන ක්‍රියාකාරී ශක්ති ස්වභාවය තුළයි. බොහෝ දෙනා මනෝමය කාය යනු යම් ආකාරයක සතර මහාභූත වලින් සමන්විත රූපීය ස්වභාවයක් ලෙස සැලකුවද මනෝමය කාය යනු සිංහල බසින් අප හඳුන්වන කයක් වැනි දෙයක් නොවේ. මාගධී බසින් කාය යනු යම් ක්‍රියාකාරී ශක්තියකි. එහි රූපීය සතර මහාභූත ධාතු කොටස් නැත. එය නාම කායක් හෙවත් ක්‍රියාකාරී ශක්තියක් ලෙස හැඳින්වීම නිවැරදි විස්තර කිරීමකි.  මෙසේ එකින් එක බීජය බැගින්  බිහිවීම අනුසය උපදීම ලෙස දහමේ කියවෙන අතර එම බීජයක් මනෝමය කායේ තැන්පත් වී එකතුවූ පසු එය ආසය ලෙස හඳුන්වනු ලබයි. මෙසේ එකින් එක අනුසය ලෙසට හටගෙන  ආසය ලෙසට එකින් එක එකතු වී තැන්පත් වූ බීජ ගොඩකට ආසය යන්නේ බහුවචනය වන ආසව ලෙස හඳුන්වනු ලබයි.

ගති, කම්මබීජ, විඤ්ඤාන බීජ  යනුවෙන් හඳුන්වන්නේ ද මෙම ආසව තත්වයයි. මේ අනුව පෘතග්ජන සත්වයාගේ මනෝමය කාය හෙවත් මනෝමය ක්‍රියාකාරීශක්තිය ගති පොදියකින් පිරී තිබේ. මරණයෙන් පසු ශරීරයෙන් ඉවත්වන්නේ විඤ්ඤාණයක් නොව  මෙකී ආසව පොදියකින් සමන්විත මනෝමය කාය හෙවත් නාම කායයි. එහි තිබෙනේ විඤ්ඤාණ බීජයි. විඤ්ඤාණයක් නොවේ.

විඤ්ඤාණයන් යනු ජීවත්වන කාලය පුරාවටම ඉපැදෙමින් තම කාර්යය ඉටුකර නැති වී යන කිලුටු වූ මායාකාරී දැක්මකින් හෙබි චිත්තයන්වේ.

මෙකී ගති, මනෝමයකාය තුළ පවතින තාක් කල් සත්වයා ජීවත්වන කාලය  පුරාවටම  පටිච්චසමුප්පාද ක්‍රියාව ඔස්සේ පුන පුනා බව හදමින් ඒවා ආසව ලෙසට මනෝමය කාය තුළ ගොඩ ගසා ගනී. මෙම ආසව නිසා සත්වයා සංසාර චක්‍රයේ දිගටම විවිධාකාරයේ ගතිවලට අනුකූල ශරීර කූඩු සාදමින් මනෝමය කාය දිග ගමනක නිරතවේ.

කෙසේ නමුත් මෙසේ එකතුවන ආසව පොදිය තුළ තිබෙන ඒ බීජ නැවත නැවත පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තුළින් පුන පුනා භව හදමින් අළුත් කිරීමක් නොකළොත්  මනෝමයකාය තුළ එක් රැස්වෙන එම බීජවලින් කොටසක් විපරිණාම ධම්මතාවයට අනුව විපරිණාමයට බඳුන් වී නැතිවී යයි. අතීතයේ කම්මපථයක් සම්පූර්ණ නොකෙරෙමින් සිදු කෙරුණු පාප කම්ම නිසා ආසව පොදියේ තැන්පත් වී තිබෙන බොහෝ බීජ නිසි පරිදි කාලයක් තුළ කමාකර ගැනීමෙන් අහෝසි කරගත් හැකිබව දහමේ කියවේ. පාමොක් දෙසීම හෙවත් පාතිමෝක්‍ය සංවර සීලයේ පිහිටීම ලෙස දහමේ කියවෙන්නේ එයයි.

කෙසේ නමුත් කම්මපථයක් සම්පූර්ණ කරමින් සාදාගත් ආසව පොදියේ ඇති කම්මබීජ අදාළ කම්මයට අනුකූල විපාක දෙමින් අවසන්වන තෙක් පවතී.  මෙහිදී දැනගත යුත්තේ පුණ්‍ය කම්ම ද කම්ම බීජ සාදන තත්වයක් දක්වා පින්කම් උපාදානය කරමින් මෙනෙහි කරමින් ඒ ඔස්සේම සංචේතනා පවත්වමින් රෝදගසමින්  අභිසංකාර ලෙසට වර්ධනය විය හැකි අතර එමගින් ද ගතිපොදියේ සුගති ලෙසට ගති එක් රැස්වේ. එමගින්ද සංසාර චක්‍රය සුගති ලෝක තුළ හෝ ගමන් කෙරේ. පාප කර්ම තුළින් පටිච්ච සමුප්පන්නව හටගන්නේ කලින් කී ගති පොදියේ දුගති කොටසයි.

ඉහත කී ආකාරයට අළුතින් කම්ම බීජ නොසාදා සිටීමෙන්, කමාකර ගැනීමෙන් සහ විපාක දීමට නියමිත කම්ම බීජ ඒ අදාළ විපාක දෙමින් මෙම ජීවිත කාලය තුළ දී අවසන් වුවහොත් මනෝමය කාය ආසවලින් හිස්වේ. දහමේ සඳහන් සියලුම ගති එනම් සුගති සහ දුගති යන දෙකෙන්ම සහමුලින්ම නිදහස්වීම ‘නගති’ තත්වය හෙවත් අරහතුන්ගේ මනෝමය කායේ ස්වභාවයයි. එහි නැවත විඤ්ඤාණ චිත්ත ඉපැදීමක් සඳහා කිසිදු ගතියක් නොමැත. එම තත්වය පරිපූර්ණ පඤ්ඤා උදපාදි තත්වය යනුවෙන්ද නිබ්බාන තත්වය ලෙසද දහමේ සඳහන්වේ.

මෙම තත්වය උදාකරගත හැකි ඒකායන මග සතර සතිපට්ඨානය පූර්ණකර ගැනීම ලෙසද එසේ පූර්ණය කර ගැනීමට භාවිතා කළයුතු එකම ධම්මය ආනපානසති සමාධි භාවිතය බව ත්‍රිපිටකයේ මෙසේ සඳන්වේ.

‘ආනපානසතිසමාධි භික්කවේ ඒකධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨාණෙ පරිපූරෙන්ති, චත්තාරෝ සති පට්ඨානා පරිපූරෙන්ති සත්ත බොජ්ජංගේ පරිපූරෙන්ති, දින්නංපලානං අධිගතාහෝති පංඤාවිමුක්තිං පරිපූරෙන්ති.’

මේ ආකාරයෙන් අරහත් ඵලය දක්වාම භාවිතා කළයුතු එකම දහම ආනපානසතිසමාධි භාවනා භාවිතය බව මෙම ත්‍රිපිටක සූත්‍ර කොටසින් පෙන්වාදෙනු ලබයි.

අද සමාජයේ ආන-පාන භාවනාව ලෙසට හුස්ම රැල්ලට සිත යොමු කරමින් සිත ඒකාග්‍රතාවයකට පත්කරමින් ලොවපුරා විශාල පිරිසක් කරන එකී භාවනා භාවිතයෙන්, ඉහත දීර්ඝ ලෙසට විස්තර කෙරුන පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ඔස්සේ සයදොරින් ලැබෙන ආරම්මණවලට පටිච්ච වීමක්  හදාගන්නා  මනෝමය කායේ තැන්පත්වන ආසව ගොඩ හෙවත් කම්ම බීජ විඤ්ඤාණබීජ ගොන්න එකතුවීම නැවතිය හැකිද?  එසේත් නැතිනම් අරමුණුවලට පටිච්චවීම නැවතීම සඳහා බුදුන් වහන්සේ අණුදැන වදාළ, පුන පුනා හදන බව උදුරා අස්කිරීම හෙවත් බව උද්ධ කිරීම පිණිස උන්වහන්සේ අණුදැන වදාළ එකම ධම්මය වන ආනපාන සතිසමාධී භාවනා යනු කුමක්ද යන්න ඊළඟ ලිපියෙන්  විස්තර කිරීමට අදහස් කරමි.

නිමල් වන්නිගම – ඕක්ලන්ඩ්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.