fbpx
12.1 C
New Zealand
Wednesday, May 15, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ගීතයට අරුතක් – ‘දෙතොළග සිනහා’

Must read

” ඔබට කවර හෝ දිනක දැනී ඇත්ද ‘දෙතොළග සිනහා’  ගීතය  කවියක් බව. එසේ නොදැනුනා නම් එය පුදුමයට කරුණක් නොවේ. මන්ද වික්ටර් රත්නායකයන්ගේ මධුර  නාද රටා අතරේ කවිය සැගවී ගොස් ඇති නිසා. ඩබ්ලිව්. එම්. ටී. බණ්ඩාර නම් කවියා අතින් ලියැවුණු  මෙම කවිය ගීතයක් වූ අපූරුවත් එහි පදරුත් එකිනෙක ලිහන්නත්  ප්‍රියානන්ද විජේසුන්දරයන් ශ්‍රි ලංකන්ස් සමග දොඩමලු වුණේ මෙලෙසයි. “


 

දෙතොළග සිනහා ආදර කැල්මෙන් නැහැවේ
පෙම්රස අනා අමුණයි සුන්දරතාවේ
නුවනඟ බැලුම් නිහඬව ගැයු ගී රාවේ
මධුරස පිරේ සවනත මීවිත යාවේ 

දේදුනු දෙබැමි නැලවෙන සිත සුව යහනේ
මිහිරක් දැනේ හදවත අඬසඳ පානේ // 

දෙතොළග සිනහා ආදර කැල්මෙන් නැහැවේ
පෙම්රස අනා අමුණයි සුන්දරතාවේ 

ලොව තුළ සදා මිය යන මල් පිපි සෙවනේ
ඔබ මට මදාරා මලෙකිය පිය ලඳුනේ // 

 

වික්ටර් රත්නායකයන් ගුවන් විදුලියට සම්බන්ධ වන්නේ හැටේ දශකයේ අග භාගයේ දී. මේ කාලය ගුවන් විදුලිය තුළ ද විවිධ වූ වෙනස්කම් රාශියක් සිදු වුණු යුගයක්. වික්ටර් රත්නායකයන් ද  සංගීතය  පිළිබඳ නොයෙකුත් අත්හදා බැලීම් කළ අයෙක්. අපට නොසිතන උපකරණ යොදාගෙන විවිධ වු නාද  ඔහු ගීත සඳහා යොදා ගත්තා. ඊට උදාහරණයක් තමා ‘තොටුපල අයිනේ’ ගීතයේ එන වතුර ශබ්දය. මෙහි පළමු පටිගත කිරීමේදී එම ශබ්දය   ලබා ගැනීම සඳහා යොදා ගත්තේ වතුර පිරවූ බෝතලයකට පැපොල් බටයකින් පිඹීමෙන්. මෙවැනි අවස්ථා එමට තියෙනවා.  

අපේ ගීත සාහිත්‍යයේ තියනවා ගීත වුණු කවි. සමුද්‍රඝෝෂ විරිතෙන් ලියැවුණු කවි ගීත බවට පත් වුණු අවස්ථා විදිහට අමරදේවයන් ගායනා කරන ‘පිලේ පැදුර’, නන්දා මාලනියන් ගායනා කරන ‘සුදුහාමිනේ’,  සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ‘මල්ලියේ නරක මිතුරන්’ යන ගීත දක්වන්න පුළුවන්. කවිය ගීත බවට පත්  වු බොහෝ ගීත හොඳින් ශ්‍රවණය කළොත් ඔබටත් සමහරවිට දැනේවි  කවිය මතු වෙනවා. හැබැයි ‘දෙතොළග සිනහා’ ගීතයේ කොතනකවත් කවිය ඉස්මතු වෙන්නේ නෑ. එයත් විශේෂ කාරණයක්.

හින්දු භක්තිකයෝ දෙවියන් වර්ණනා කරමින් භජන් ගායනා කරනවා. මේ ගීතයත් මා දකින්නේ භජන් එකක් විදියට. තමුන්ගේ පෙම්වතිය, බිරිඳ හෝ පෙම්වතිය වෙන්න ඉන්න කෙනාව වර්ණනා කරනවා. ඒ නිසා මේ ගීතයත් එක්තරා ආකාරයක භජන් එකක්.

‘දෙතොළග සිනහා ආදර කැල්මෙන් නැහැවේ’

‘දෙතොළග සිනහා’ කියන්නේ දෙතොල් අගින් එන සිනහවට. මේ සිනාව නපුරුකම පෙන්වන සිනාවක් වෙන්නත් පුළුවන් නැත්නම් ආදරය පෙන්වන සිනහවක් වෙන්නත් පුළුවන්. ඒත් මේ සිනහව නම් ආදරය පිරුණු සිනාවක්. ඇගේ සිනහව ආදරය නැමැති ආලෝකයෙන් පිරිලා.

‘පෙම් රස අනා අමුණයි සුන්දරතාවේ’

‘අනා’ කිව්වම ඒ වචනය ගීතයට නොගැළපෙන එකක් වගේ දැනෙනවා. හරියට සිමෙන්ති අනනවා, බදාම අනනවා, බත් අනනවා වගේ. මේ හැම එකක්ම අනන්නේ නියම ප්‍රමිතියට ගන්න. ඉතින් පෙම්  රස අන්නේත් එහි ඇති රසය, සුන්දරතාවය මතුකර ගන්න. පෙම් රස අනා කියන වචනය ග්‍රාම්‍ය වචනයක් විදියට හිතුනත් ගීතයේ රසයට මෙයින් කිසිම හානියක් වෙලා නෑ. ගීතයකට පද යොදා ගන්නා ආකාරයෙන් එහි ඇති ග්‍රාම්‍ය බව නැති කරගන්න පුළුවන්. 

‘නුවනග බැලුම් නිහඬව ගැයු ගී රාවේ’

කලින් කිව්වා වගේ ඇස් කොනින්  බලන මේ බැල්මත් නපුරු බැල්මක් වෙන්නත් පුළුවන්. ආදර බැල්මක් වෙන්නත් පුළුවන්. ඇය නුවන් අගින් බලන බැල්ම මට හරියට ගීතයක් වගේ. බලන්න මේ වචන තුළින් තම ආදරවන්තිය හෝ බිරිඳ වර්ණනා කිරීමක් නොවේද කරන්නේ කියලා. මේ වගේ දේවල් ආදරේ කරන දෙන්නගේ පළමු හමුවීමේ හෝ නැත්නම් හමුවීම්වල දී සිදුවන දේවල්. දැන් වගේ ටෙලිෆෝන් ආදර කතා නෙවෙයි ඒ කාලෙ තිබුණේ. ඒ කාලේ ආදරය කළේ සිරුරින් දැකලා, කතාබහ කරලා. අද කාලේ තාක්ෂණයත් එක්ක පෙම්වතුන් පවා වෙනස් වෙලා තියෙනවා. කෙටි වචනවලින් පණිවිඩ හුවමාරු කර ගනිමින් දෙදෙනා තොරතුරු විමසා ගන්නවා. අපේ තරුණ කාලේ පෙම් හසුනක කවියක් හෝ ගීතයක් තියෙනවා. පටන් ගැන්මේ දී හෝ ලියුමේ අවසානයේ දී හෝ ‘සසර සැරි සරණ තුරු ඔබ මගේ ඔබ මගේ’ කියලා හරි ලියලා  ලියුම අවසන් කරනවා. දැන් එහෙම කරන්නේ නෑනේ. ප්‍රේමයත් තාක්ෂණය සමග දියුණු වෙලා. ආදර හසුනක් ලියනවා තරම් සුන්දරතාවයක් අද නම් මම දකින්නෙ නෑ. මිල්ටන් පෙරේරා මහතා ගායනා කරන ‘දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි සැප දුක් සොයා බලන්න’ ගීතයෙන් ඉගියක් දෙනවා දුරකතනයට පරිවර්තනය වුණු කාලය ගැන.

‘මධුරස පිරේ සවනත මී විත යාවේ’

මගේ සවන් උද්දාමයෙන් පිනා යනවා ඇයගේ වචන සමූහය ඇහෙන විට.

‘දේදුනු දෙබැමින් නැළවෙන සිත සුව යහනේ මිහිරක් දැනේ හදවත අඬසඳ පානේ’ 

මේ පද පේලියෙන් ඇගේ ඇස් දෙක වර්ණනා කරනවා. ඔබගේ දේදුන්නක් වගේ ලස්සන ඇස් දකින විට මගේ සිතට සහනයක් දැනෙනවා. හැන්දෑවට අඬසඳ දිහා බලාගෙන විඳින සුවය වගේ මිහිරක් හදවතට දැනෙනවා.

‘ලෝ තුළ සදා මිය යන මල් පිපි සෙවනේ ඔබ මට මදාරා මලකිය පිය ළඳුනේ’

මේ ගීතයේ අනිත්‍යත් මතක් කරනවා. පිපිනු මල් සියල්ල පරවෙලා යනවා. ඒ නිසා තම ආදරවන්තිය ඔහු මලකට උපමා කරන්නේ නැහැ. කිසිදා පරනොවන දිව්‍ය ලෝකයේ තියෙන මදාරා මලකටයි ඇය සමාන කරන්නේ. ඒ කියන්නේ ඔබ මගේ හිතෙන් කවදාවත් මිය යන්නේ නෑ.

මේ ගීතයේ සංගීතය ගැනත් කතා කළ යුතුයි. මෙයට සංගීතය සපයමින් ගායනා කරන්නේ වික්ටර් රත්නායකයන්මයි. වික්ටර් රත්නායකයන් අතිදක්ෂ වයලීන් වාදකයෙක්. පසුකාලයක දි වයලීනය පසෙක තබා ඔහු ගීත ගායනයට යොමු වුණා. ඔහු වයලීයන වාදකයෙකු වීමත් මේ ගීතයට මිහිරක් ඇති කරන්නට පිටුවහලක් වෙන්න ඇති කියලා මට හිතෙනවා. වික්ටර් රත්නායකයන් සංගීතය සැපයූ බොහෝ ගීතවලට ‘යෙමන් කල්‍යාණ්’ කියන රාගය යොදාගෙන තියෙනවා. නමුත් මේ ගීතයට කිසිදු රාගයක් උපයෝගී කරගෙන නෑ. මේ ගීතය ඉතා සරල ගීතයක්. ගීතය ජනප්‍රිය වීමටත් මෙය හේතුවක් වෙන්න ඇති.

අපේකම රැඳී තවත්  මනෝහර ගීතයක් සමගින් ලබන කලාපයේ දීත් හමුවෙමු. මේ ගීතය බැඳුණු තවත් රසවත් මතකයන් වගේම ගුවන් විදුලිය පිළිබඳවත් ප්‍රියානන්ද විජේසුන්දරයන්  සමග කළ කතාබහ ඉදිරියේදි  ශ්‍රි ලංකන්ස් යුටියුබ් නාලිකා හරහා ඔබට නැරඹීය හැකිය. පිවිසෙන්න,
https://www.youtube.com/c/SriLankaNZ

පිළිසඳර ප්‍රියානන්ද විජේසුන්දර
සැකසුම දිමුතු විජේසූරිය

Discussion with Priyananda Wijesundara
Edited By Dimuthu Wijesuriya

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.