~~ පිළිසඳරක් with Peter D’Almeida ~~
සමාජ ක්‍රියාකාරයෙකු, කලා කරුවෙකු හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන පීටර් ඩි අල්මේදා මහතා නිදහස් චින්තකයෙකු ලෙස මෙහිදී වඩා හොඳ ශ්‍රී ලංකාවක් වෙනුවෙන් වටිනා ප්‍රායෝගික අදහස් කීපයක් ඉදිරිපත් කරයි.

දේශපාලන, සමාජ වෙනස්කම් රාශියක් වන යුගයක, සමාජ ක්‍රියාකාරිකයෙක්, කලාකාරුවෙක්, තොරතුරු තාක්ෂණ ක්ෂෙත්‍රයේ ව්‍යවවසායකයෙක් වගේම ඒ අංශයේ වෘත්තීයවේදියෙක්,අද අපිත් එක්ක පිළිසඳරට එකතුවෙනවා. ඒ පීටර් ඩී. අල්මේදා මහතායි. අපි ඔබ ශ්‍රීලංකන්ස් වෙනුවෙන් ස්තූති පූර්වකව සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්.
මුලින්ම අපට කියන්න පුළුවන්ද අල්මේදා මහතා මේ දිනවල යෙදී ඉන්නේ මොන වගෙ කාර්යයකද කියලා?
මේ දවස්වල , ‘ජන අරගලය කලා කරුවෝ’, ‘ #සේව් ශ්‍රී ලංකා. අයි.ටී.ප්‍රොෆෙෂනල් ගෘප්’ කියන කාංඩ දෙකත් එක්ක අරගලයට සම්බන්ධවෙලා ඉන්නේ. මේක පාර්ලිමේන්තුවත් විධායක ජනාධිපති ක්‍රමයත් කඩා වැටිලා, මිනිස්සුන් තම පරමාධිපත්‍ය මහ මග ප්‍රදර්ශනය කරන ඓතිහාසික අවස්ථාවක්. විප්ලවයක්. පසුගිය ජූලි 9 එහි උච්ඡ අවස්ථාව අපි දැක්කා.
අරගලයට අමතරව පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න කියන ඉල්ලීම ගැනත් කටයුතු කරනවා. අපි එදා කරපු අධ්‍යාපන ක්‍රමය 2035 අධ්‍යාපනය නිම කරන්න අද ඉස්කෝලෙ යන ළමයින්ට හරි යන්නෙ නෑ. කටපාඩම් කළ යුගය ඉවරයි. කටපාඩම් කර උත්තර ලියලා හරි යන්නෙ නෑ. මා ඉගෙන ගත්ත කොටහේනේ ශාන්ත බෙනඩික් විද්‍යාලයට සම්බන්ධ වෙලා මේ කාරණේ ගැන මම සෑහෙන වැඩ ටිකක් කරනවා. අනෙක් ආයතනවලටත් විශ්වවිද්‍යාල ළමයින්ටත් මේ ගැන කතා කරනවා.
අල්මේදා මහත්තයගේ අධ්‍යාපනයත් පුද්ගලික තොරතුරුත් ටිකක් කියන්න පුළුවන්ද?
දරුවන් 10 ක් සහිත ලොකු කතෝලික පවුලක ඉපදුණ මගේ වයස හතරෙදි තාත්ත නැති වුණා. තාත්තගේ හදිසි වියෝවෙන් පස්සෙ මගෙ ජීවිතේ විශාල වෙනසකට යොමු වුණා. අඩු මාපිය පාලනයත් එක්ක නිදහස්ව හිතන්න, ක්‍රියා කරන්න පෙළඹුණා. මගේ පාසල වුණ කොටහේනේ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ක්‍රියාකරී ශිෂ්‍යයෙක් වුණා. 1976 පේරාදෙණියෙ වීරසිරි ශිෂ්‍යයාගෙ මරණය වගෙ අවස්ථාවල විනයානුකුලව, විරෝධතා කළා. අපේ සමාජ විඥානය ඇති වුණේ එහෙමයි.
අවුරුදු පහළොව වෙන කොට බාලතම්පෝ වගෙ මාක්ස්වාදියෙකුගෙ, මානව හිතවාදියෙකුගෙ ඇසුරට වැටුණා. දර්ශනය, සාහිත්‍යය වගෙ ඒව අධ්‍යයනය කළා. මගේ ජීවිත මාර්ගය හැදුණේ එතනින් තමයි.
කලා හා ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණ හැටිත් ඒවයෙන් ලැබුණ අද්දැකීම් කොහොමද? ඒවා ජිවිතයට වටිනාකමක් විදිහට එකතු වුණේ කොහොමද?
කුඩා කාලයේ විනෝදයට සිංදු කිව්වා. රඟපෑවා. ඉඳලා හිටලා පල්ලියේ ස්වාමි හැටියට රඟපෑවා. පවුලේ අයත් ඒවට සම්බන්ධ වුණා. විශාල පවුලක් නිසා අම්මටත් අපි ගැන ලොකු කාලයක් වැය කරන්න බැරි වුණා. නිදහසේ හැදුණ නිසා අත්හදාබැලීම්වලට ඉඩකඩ තිබුණා. නිර්මාණශිලිත්වයට ඉඩකඩ ඇති වුණා. ෂේක්ස්පියර්ගේ නාට්‍යයවල රඟ පෑවා. වෙලාව මදි නිසා මෙවා ටිකින් ටික අතහැරියත් ලයනල් වෙන්ඩ්ට් එකේ ඉංග්‍රිසි නාට්‍ය කළා. පස්සෙ ධම්ම ජාගොඩගේ ‘මිහිකතගේ දරුවෝ’ නාට්‍යයේ කරපු රඟපෑම හොඳ සාර්ථක පියවරක් වුණා. ‘ඉර මැදියම’, ‘කඩුල්ල’, ‘ගිරය’, ‘කූඹියෝ’ වගෙ ඒවයෙ රඟ පෑවා. රංගනයත් කතාන්දර කිමත් එකට යන නිසා මට කතාන්දර කීමත් ප්‍රගුණ වුණා. ඒ හැකියාව මගේ වෘත්තියටත් ප්‍රයෝජනවත් වුණා.
සමාජ ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය ගැන කතා කරන කොට ස්වෙච්ඡා සංවිධාන වගෙ ඒව එකතු කරගෙන සමාජ ව්‍යාපාර, ගෝඨාගම වගෙ විරෝධතා ව්‍යාපාර පටන් ගත්තෙ කොහොමද? ඒ සඳහා ගත්ත පියවරවල් මොනවද?
අපේ සමාජ ක්‍රියාකාරිත්වය ඡන්දය දී බලාපොරොත්තු තබා ගෙන ඉඳීම පමණයි. ජනතා ව්‍යාපාර කියන්නෙ අපේ ප්‍රශ්න ගැන අපිම කෙලින්ම මැදිහත් විම. උදාකරණයක් විදිහට එප්පාවල ප්‍රොස්පේට් නිධිය විකුණනවට විරුද්ධව, ගමත් එක්ක එක්කාසු වෙලා කළ ජනතා විරෝධතාවය. ආණ්ඩුව පසු බැස්සා. ඒත් මේවා දිගමට ගෙනියන්න අමාරුයි. ප්‍රශ්නය විසඳුනාම ව්‍යාපාරය ඉවරයි. ඒ නිසා පවතින ප්‍රශ්න මිනිස්සුන්ට බලපාන විදිහට ඒ අයගෙ පැත්තෙන් බලලා විරෝධතාවයන් සංවිධානය කරලා ගෙනියන්න ඕනෑ.
මේ අරගලයට උතුරු නැගෙනහිර දායකත්වය මදි. ඒ අය කියන්නෙ, ‘අපි අවුරුදු තිහක් විතර ඔය අය අද විඳින ප්‍රශ්නත් එක්ක ජීවත් වුණා. ලයිට් නෑ. වතුර නෑ. ලාම්පු තෙල් ටික නෑ. කෝච්චි නෑ. මූලික නිදහස තිබුණේ නෑ. ඒත් ඔය අය අපිත් එක්ක එක්කාසු වුණේ නෑ,’ ඉතිං ව්‍යවස්ථාව වෙනස් කරනවා වගෙ දෙයක් නම් ඒ කාගේත් අදහස් ගන්න ඕනෑ.
එතකොට ගමට, ගොවියට, කලාකාරයට තියෙන්නේ ව්‍යවස්ථාව වෙනස් කිරීමේ ප්‍රශ්නය නෙවෙයි. වතුර, ඉඩම්, පොහොර, බෙහෙත්. අධ්‍යාපනය ගත්තොත්, ළමයින්ට ශිෂ්‍යත්ව පාස් කරල කොළඹ එන්න වෙලා තියනවා. ඒවයේදී ගොඩාක් ආර්ථික, සමාජ ප්‍රශ්න ඇතිවෙනවා. විසඳුම ඒ ඒ පළාත්වල සියලු පහසුකම් ඇතිව අධ්‍යාපන ආයතන ඇති කළ යුතුයි. මුලින් විරෝධතාවය. ඊට පස්සෙ විසඳුම්. අපේ දායකත්වය එහෙමයි.
තොරතුරු තාක්ෂණය ගැන විශේෂ පුද්ගලයෙක් විදිහට ඒ ක්ෂේත්‍රයේ බුද්ධි ගලනය ගැන මොනවගේ ද කල්පනා කරන්නෙ? ඒක කොච්චර දුරට අපේ රටට ප්‍රශ්නයක්ද? අපේ රටේ මේ ක්ෂේත්‍රයේ ඉන්න පුද්ගලයෙකුට අද ලබාගත හැකි ඉහළම දේ මොකක්ද?
මොරටුව විශ්වවිද්‍යාලයෙ මේවා ඉගෙන ගන්න අයගෙන් තුනෙන් දෙකක් රටෙන් පිට වෙනවා. මෙහේ තොරතුරු තාක්ෂණයට ඉතා දක්ෂ අය ඉන්නවා. වෙන්න මොකක්ද? මෙහෙ අපි ව්‍යාපෘතියක් පටන් ගත්තොත් ව්‍යපෘති අධ්‍යයනයේ ඉඳලා ඔක්කෝම කරන්නෙ පිටරට කොම්පැනියක්. ඒ අය තමන්ගෙ තාක්ෂණය ගේනවා. අපි ගෙවනවා.
දෙවෙනි කාරණය අපි තාක්ෂණය යොදා ගන්නෙ නෑ. දත්ත භාවිතයක්, විශ්ලේෂණයක් කරන්නෙ නෑ. ව්‍යාපෘතියක දි ප්‍රථිපල සියයට මෙච්චර ගානක් එන්න ඕනැ කියනවා. දත්ත ආශ්‍රයෙන් නොවෙයි. ආණ්ඩුව පහුගිය කාලේ විශාල බදු අඩු කිරීමක් කළා එක ව්‍යාපාරයකට. ඒක කළේ දත්ත බලලා නෙවෙයි. ඊට පස්සෙ ඒක ආපස්සට හැදුවා. ඒක කළෙත් දත්ත බලලා නෙවෙයි.
අමෙරිකාවෙ ඩබ්ලිව් එස්. වීරරත්න වගෙ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විශාල ආයතන තියනවා. ඒ අය මෙහෙත් රාශියකට රස්සා දීලත් තියනවා. ඒ වගෙ අය එනවා නම්, ආයෝජකයන්ට යම් සහතිකයක් රජයෙන් ලබා දීලා ආධාර කරන්න ඕනෑ. එස්ටෝනියාව වගෙ රටවල කරන්නෙ එහෙමයි.
තුන්වැනි කාරණේ පිටරටවල හොඳ රැකියා අවස්ථා තියනවා. මෙහේ ආකර්ශනය මදිවන කොට වෘත්තීයවේදීන් යන්න යනවා.
තොරතුරු තාක්ෂණය කියන්නෙ විශාල අපනයන ක්ෂේත්‍රයක්. මේවා හදා ගත්තොත් විශාල රැකියා උත්පාදනයකුත් රටට විදේශ විනිමය ගලා ඒමකුත් ඇති කරගන්න පුළුවන්.
විදේශ රටවල ඉන්න ශ්‍රි ලාංකිකයන්ට, විශේෂයෙන් තොරතුරු තාක්ෂණයේ යෙදිලා ඉන්න අයට, මේ පසුබිම මැද, අපේ රට වෙනුවෙන් මොන වගෙ දායකත්වයක් දෙන්න පුළුවන් ද?
අපේ රටේ ජනගහණයෙන් 50% ඉන්නෙ දරිද්‍රතාවයෙන්. මිනිස්සුන් විදිහට ඒ ගැන යමක් කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනැ. යම් සුබසාධන කාර්‍යයක් කරන්න පුළුවන්. ඉතිං ඔය ප්‍රජා මුළුතැන් ගෙවල් වගෙ ව්‍යාපෘතීන් පටන් ගන්න, ඒවට අතහිත දෙන්න පුළුවන්. දෙවැන්න ඒ අයට අපේ රටේ යම් ආයෝජනයක් කරන්න පුළුවන්. ටික දෙනෙකුට හෝ ආදායම් මාර්ගයක් ලැබෙන විදිහට තමන්ගේ ආයතනයේ ශාඛාවක් ලංකාවේ පටන්ගන්න පුළුවන්. ඒ තාක්ෂණික දැනුම අපේ රටට ගෙන එන්න පුළුවන්. ඒක දැනුම හුවමාරු කිරීමකුත් වෙනවා. ලංකාවේ සිටින දැනුම ඇති අයට ඒ රටවල රැකියා අවස්ථා ලබා දීම තවත් ක්‍රමයක්.
හොඳයි අවසාන වශයෙන්,රංගන ශිල්පියෙක්, තාක්ෂණ ක්ෂෙත්‍රයේ වෘත්තීකයෙක් හා ව්‍යවසායකයෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක් විදිහට මෙරට හා පිටරට සිටින ශ්‍රී ලාංකිකයන්ට, ලෝක ප්‍රජාවට මේ අර්බුදකාරී තත්ත්වය මැද දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද?
දූෂණය, පවුල් හා හිතමිතුරන්ට අවස්ථාව දෙන පාලනය වගෙ දේවල් නිසා ලංකාව ඉතා අවසාවන්ත තත්ත්වයකට ඇද දාලා තියනවා.
බලන්න ජනවරමක් නැති කට්ටියක් එක්කාසු වෙලා ජනවරමක් නැති පාලකයෙක් තෝර ගන්නවා. ඒ නිසා ඉස්සෙල්ලාම ජනාධිපති ක්‍රමය අවලංගු කර හොඳ පාලනයක් ඇති කරන්න ඕනෑ. පාලනයට බලපෑම් කරන්න පුළුවන් විවිධ ක්ෂේත්‍රවල දක්ෂතා ඇති අයගෙන් හැදුණ උපදේශක මණ්ඩලයක් හැදෙන්න ඕනෑ. දෙවෙනිව, ඇති අසීමිත ණය බර ප්‍රතිව්‍යුහගත කරන කොට මුළු බරම මිනිසුන්ට පටවන්නෙ නැතිව, ඒවට මුල් වුණ අයත් ඒවයෙ වගකීමක් ගන්න ඕනෑ. අවසාන වශයෙන් අසීමිත ජීවන බරකට කරදීල ඉන්න මිනිසුන්ට යම් සහනයක් ලබාදෙන්න ඕනැ.
දේශපාලන බලය ගන්න අපේ බලාපොරොත්තුවක් නෑ. අපි මූලික වශයෙන් අවාධනය යොමු කරලා තියෙන්නෙ මේ කාරණා තුනටයි.
වැඩ රාජකාරි ගොඩාක් මැද අපිත් එක්ක අදහස් හුවමාරු කර ගනිමින් කාලය මිඩංගු කළාට පීටර් ඩී අල්මේදා මහතාට ගොඩාක් ස්තුතියි.
*** *** ***
Interviewed by Osanda Yohan