අපි කතා කරන්නට පටන් ගතිමු,
එකිනෙකා දෙස බලා, ඉන්පසු ඉවත බලා ගතිමු.
මගෙ දෑසේ කඳුළු නැගෙමින් තිබුණි.
එහෙත් මට වැළපෙන්නට නොහැකි වීය.
මට ඔබේ අත ගන්නට උවමනා වුව
මගේ අත වෙවුලන්නට වීය.
ඔබ දින ගණන් කරමින් සිටියෙහිය
අප නැවත මුණ ගැහෙන්නට පෙර.
ඒත් දෙදෙනාගේම හදවතට දැනුණි
අප සදහින් සදහටම වෙන්වුණ බව.
කුඩා ඔරලෝසුවේ ටික් ටිකිය නිහඩ කාමරය පිරවීය.
‘අහන්න’ මම කීවෙමි. ‘මේ මහා ඝෝෂාවක්,
හරියට රෑ තනි පාරක අශ්වයෙක් පැන පැන යනවා වගේ,
මහ රෑ අශ්වයෙක් පහුකර යනවා වගේ.’
ඔබ ඔබගේ දෑතින් මගේ මුව වැසුවෙහිය.
ඒත් ඔරලෝසුවේ හඩ මගේ හදවත ගැස්ම තීව්‍ර කළේය.
ඔබ කීවෙහිය,‘මට යන්නට බැහැ මම මුළු කාලයම මෙහි,’ කියා.
ඊළගට ඔබ ගියෙහිය.
ලෝකය වෙනස් විය.ඔරලෝසුවේ හඬ තුනී ගියේය.
වියැකී ගියේය, කුඩා වී ගියේය.
මම අඳුරට මිමිණුවෙමි, ‘එය නතර වුවහොත් මා මියැදේවි.’
- මේ මුල් කවියේ යෙදූ වාක්‍යවල අනුපිළිවෙල, කෙටි බව, විරාම ලක්ෂණ එයාකාරයෙන්ම තබා ගනිමින් කළ පරිවර්තනයකි.
- කෙටි වැකි අවස්ථානුකූලව සිතෙහි කැළඹීම පෙන්නුම් කරයි.
- ඔරලෝසුවේ නාදය සංකේතයක් ලෙස සම්බන්ධ කරගෙන ඇත. ‘එය නතර වුවහොත් මා මියැදේවි,’ කිවිඳිය කියයි.
- කියන දෙයට වඩා ප්‍රතිවිරුද්ධ දෙයක් නිරූපණය කිරීම ‘උත්ප්‍රාසයය’. ‘හමුවීම’ නමින් නම්වන කවි පෙළෙන් කියැවෙන්නේ වෙන්වීමකි.
-ශ්‍රී ලංකන්ස්