මෙලෝ හසරක දුකක් තුන් හිතට නොම දැනුන
හේතුවක් නැතුවමත් හඬ නගා සිනාසුන
කාලයක් විය අපට හිත හිතා සැනසෙන්න
මල් පිරුණු මාවතක ඇවිද ගිය දවස් ගැන
සුදු ගවුම ගලවලා දමා පුටු පැත්තකට
පොත් ගොන්න විසුරුවා කාමරේ මේසයට
ගිල දමා බත් පතම එකම එක හුස්මකට
සිහිය නැතුවම දිව්වෙ වෙල පහල සෙල්ලමට
කෙලි සෙල්ලමෙන් ගෙවුණු සුන්දරම ළමාවිය
අලුත් අවුරුදු, වෙසක්, පොසොන්, නත්තල් ද විය
දිනෙන් සති වසර ලෙස පෙරලිලා ගත වීය
ළමා කාලය යලිත් ඉල්ලලා ගනු බැරිය
යොවුන් වියෙ හැඟුම් පිරි දඩබ්ඩර වූ හිතට
දැනුනෙ ආදරය මහමෙරක් විලසකට
මාළිගා බිඳ වැටුනෙ මහා සුළි සුළඟකට
තුරුණු විය ගත වුණේ නොසිතු නොපැතූ ලෙසට
විෂ පිරුණු කඨොර මඟ රිදුනු පා ඇද්දු වෙමි
මුරුගසන් මහ වැස්සෙ තෙමී හෙම්බත් වුණෙමි
කෙටි දුරයි තව ඇත්තෙ නිදහසේ හිතන්නෙමි
හෙටත් අරුනළු නැගෙයි නිවන් මඟ සොයන්නෙමි.
By Indra Dayamani Colombage – Auckland