ඈත එපිට ගම්මානෙක — හේනක් කුඹුරක් කරගෙන
යල මහ දෙක — වැඩ කරගෙන — යුවලක් හිටියා
ගොවිතැන් වැඩ විතරක් මයි — ගමයා දන්නේ
දහමට ලැදි ගම මහගේ — පෝයදාට සිල් ගන්නව
සුදු ඇඳුමෙන් සැරසීගෙන — පන්සල් යනවා
රෑ බෝවීගෙන එනකොට — සිල් පා වාරණය කරලා
ගෙදරට එනවා
මේ යෝදිට පුළුවන් නං – – මට බැරි ඇයි සිල් ගන්නට
ගමයා හිතුවා
ඇ යෝදියේ කියාපන්කෝ — කොහොමද උඹ සිල් ගන්නේ
මට ආසයි සිල් ගන්නට –ගමයා කිවවා
ඒ ක බොහොම ලේසි දෙයක්
පාන්දරින් නැගිටිනවා — දත කට මැද සැරසෙනවා
සුදු ඇඳුමෙන් සැරසෙනවා — බුලත් මඩිය අරගන්නව
පැදුරක් අකුලාගන්නව — පන්සල් යනවා
හාමුදුරුවෝ ඉදිරියෙන්ම — පැදුර එලා බිම ඉඳගෙන
හාමුදුරුවෝ කියන දෙයම — තමනුත් කියනව හෙමිහිට
අපොයි ඒක හරි ලේසියි — මන් දැනගත්තේ දැන් නොවැ
ගම මහගේ කී ලෙසටම — ගමය සැරසුණා
පසළොස්වක පෝයදාට — සිල් රෙදි ඇඳගත් ගමයා
පන්සලට ගියා
හාමුදුරුවෝ ඉදිරියෙන්ම — පැදුර එලා ඉඳගත්තා
මොකදැ අද මේ පැත්තේ — හාමුදුරුවෝ ඇසුවා
ගමරාලත් ඒ වදන්ම — එලෙසම කිවා
පිස්සු හැදිලා වගෙයි උඹට — කියනකොටම ගමරාලත්
ඒකම කීවා
පිස්සුද මේ ගමරාලට — ඔය කවුරුත් මෙහෙ වරෙල්ල
මේ පිස්සා එලවපල්ලා — කවුරුත් දුවගෙන ආවා
පොලු මුගුරුත් ගෙන ආවා — ගමරාලට තඩි බැවා
බයේ වෙවුලමින් ගමයා — හතර හන්දි අල්ලාගෙන
ගෙදර දුව ගියා
මැණිකේ වික්‍රමසිංහ – ඕක්ලන්ඩ්






