සුදට සුදේ පුලුන් උඩින් අහසෙ ඇඳෙන රූ සිත්තම්
තණ පලසක දිගාවෙලා – පාවී යන වළාකුලක
ඩිංගිත්තක් රැඳී ඉන්න ඉඩ දෙන්නකො අම්මේ තාත්තේ
පහළ ගලන ඇළෙන් දොළෙන් දෙපතුල් මගෙ තෙමා ගන්න
ඉර පානෙන් දිලිසි දිලිසි ගීත ගයන දිය බුබුලට
ඈස් පියාන සවන් දෙන්න – ඉඩ දෙන්නකො අම්මේ තාත්තේ
එක පොදියට ගොයම් කරල් ලන්ඳ දිගේ නියර දිගේ
තාලයකට රැඟුම් රඟයි – මොහොතක් මට එය විඳින්න
ඉඩ දෙන්නකො අම්මේ තාත්තේ
පාසල නිම වූ විගසින් ටියුෂන් පන්තියට වෙලා
ඉර පානත් බැස ගියාම
කවදද මගෙ පුංචි කාලෙ විඳින්න වෙන්නේ
රොබෝ කෙනෙක් වෙන්නට බෑ අම්මේ තාත්තේ
සන්ධ්‍යා විජේසුන්දර – ඕක්ලන්ඩ්